සිල් රෙදි නඩුව | දිනමිණ

සිල් රෙදි නඩුව

පණිවුඩය නොසලකා මතුපිටට කථා කිරීම

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය දෙස බැලීමේදී රාජ්‍ය බලය හා දේපළ මැතිවරණවලදී අවභාවිතාව එක්සත් ජාතික පක්ෂ පාලනය තුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලනය තුළත් ඉතා සුලභව දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. එහෙත් 2015 ජනාධිපතිවරණය යනු රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ අවභාවිතය ඉතා බරපතළ ලෙස භාවිත වූ මැතිවරණයකි. කැලැන්ඩරයේ සිට මහන මැෂිම දක්වා වූ බොහෝ ද්‍රව්‍යමය ආධාර ද බොහෝ සුබසාධක ව්‍යාපෘතින් ද මෙම කාලය තුල ක්‍රියාත්මක විය. එමෙන්ම ඉතාම පහළම රාජ්‍ය නිලධාරියාගේ සිට ඉහළම රාජ්‍ය නිලධාරියා දක්වා රාජ්‍ය නිලධාරීන් සැලකිය යුතු පිරිසකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දේශපාලන ක්‍රියාවලියට ඍජුව ම හෝ වක්‍රව දායකවීමට සිදුවිය.

මැතිවරණ කාලය තුළ මෙම බඩු බෙදාදීමේ ක්‍රියාවලියේ ආන්දෝලනාත්මක සහ ලජ්ජා සහගතක්‍රියාවලිය වූයේ සිල්රෙදි බෙදාදීමේ ක්‍රියාවලියයි. මේ පිළිබඳව පැමිණිලි මැතිවරණ දෙපාර්තමේන්තුවට ද (අද කොමිෂම) මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට ද ගලා එන්නට විය. මේ පිළිබඳව PAFFREL, CAFFE, CMEV, TISL ආයතන ඒකාබද්ධව මැතිවරණ කොමිෂම සමඟ සාකච්ඡා කළෙමු. ඉන් නොනවතින TISL ආයතන පුවත්පත් දැන්වීම් මඟින් මෙම නීති විරෝධී සිල්රෙදි ප්‍රතික්ෂේප කරන ලෙස මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටි අතර බොහෝ නායක ස්වාමීන්වහන්සේලා සිල් රෙදි ප්‍රතික්ෂේප කළ අතර භාරගත් පිරිස මැතිවරණ අවසන් වන තෙක් බෙදා හැරීම් අත්හිටු වනු ලැබූහ. ඒ සැබවින්ම ‍මෙය මැතිවරණ දූෂණයක් ලෙස ඔවුන් සැලකූ නිසාවෙනි.

මෙවැනි ක්‍රියාවලින් හරහා මැතිවරණයක නිදහස් හා සාධාරණ භාවය විශාල ලෙස අභියෝගයට ලක්වන බැවින් පැෆරල් සංවිධානය 2015 අප්‍රේල් මාසයේදී මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබීය. (SC ( FR) 76/15) එමඟින් අප සහන තුනක් අපේක්ෂා කළෙමු.

1. ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය බලය හා දේපළ අව භාවිතා කළ ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට නියෝග කිරීම

2. එමඟින් රජයට වූ පාඩුව ගණනය කිරීම සඳහා විගණකාධිපතිවරයාට නියෝග කිරීම.

3. නැවත මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම

නඩු‍වේ අතරමගදී අප ඉල්ලූ සහන ලබාදීමට විගණකාධිපති වරයා සහ නීතිපතිවරයා ක්‍රියාකිරීමට එකඟ වූ බැවින් එනම් අදාළ පාර්ශ්වයන්ට එ‍රෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බව දැන්වීමෙන් අපගේ නඩුව ඉල්ලා අස්කරනු ලැබිණි. ඒ අනුව නීතිපතිවරයා මහාධිකරණයේ ගොනුකළ නඩුවට අදාළව මේ වනවිට ඓතිහාසික නඩු තීන්දුවක් ලැබී තිබේ. මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෑත කාලයේ ලැබූ හොඳම නඩු තීන්දුව බව කිව හැකිය. එහෙත් එම නඩු තීන්දුව මඟින් ලබාදෙන වටිනා පණිවුඩය නොසලකා හැරීම සහ ආගමික සළුවකින් එය වසා දැමීමට සමහර පාර්ශ්වයන් දරන උත්සාහය නිසාවෙන් මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි.

අධිකරණ ක්‍රියාවලිය තුළදී විනිශ්චය මතු කරන වැදගත් කාරණා

1. එවකට රාජ්‍ය නායකයාගේ ලේකම්වරයා ලෙස මැතිවරණය 2015 ජනවාරි මාසයේ පවත්වන බව ලලිත් වීරතුංග මහතා හොඳින් දැනුවත්ව සිටි බව සහ ඒ සද්භාවයෙන් ක්‍රියා කළේ නම් ඔහුට සිල් රෙදි බෙදාදීම මැතිවරණයට පෙරාතුව හෝ මැතිවරණයෙන් පසුව කළහැකිව තිබූ බව.

2. සිල් රෙදි බෙදාහැරීම වැනි ද්‍රව්‍ය බෙදා හැරීම මැතිවරණ කාලය තුළ නොකළ යුතු නොකළ හැකි ක්‍රියා බව ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියෙකු වන ලලිත් වීරතුංග මහතා මනාව දැන සිටිය යුතු බව.

3. ජනාධිපතිවරණය 2014. 11. 10 දින ප්‍රකාශයට පත් වූ අතර 2014 නොවැම්බර් මස 22 වන දින රාජ්‍ය දේපළ භාවිතය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ චක්‍රලේඛ නිකුත් වී තිබූ බව.

4. එම චක්‍රලේඛය තම මේසය මත තබා ගනිමින් 2014 දෙසැම්බර් මස 05 වන දින තමා සභාපතිත්වය දැරූ T. R. C. ආයතනයේ මුදල් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව මිලියන 600ක් ලබා ගැනීම.

5. T. R. C. ආයතනයේ සමාජ සත්කාරක ගිණුමෙන් ඒ වසර සඳහා මිලියන 100පමණක් වෙන් කර තිබෙන තත්ත්වයක් තුළ සහ එම මුදල් අවසන්ව තිබියදී හදිසියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවසරයකින් තොරව ඊට මිලියන 600ක් වෙන්කර ගැනීම.

මේ පිළිබඳව ගරු අධිකරණය පහත ප්‍රශ්න මතුකර තිබිණ

1. ‍මෙසේ එකී මුදල් නීතියට පිටින් යමින් ලබාගෙන මැතිවරණ කොමසාරිස්වරයාගේ චක්‍රලේඛ නොසලකා හදිසියේ සිල් රෙදි බෙදීමට තිබූ අවශ්‍යතාවය කුමක්ද?

2. ලංකාවේ බෞද්ධයින් වැඩිපුර සිල් සමාදන් වනු‍යේ සිල් රෙදි බෙදා හරින ලද ජනවාරියේද? වෙසක් සහ පොසොන් මාසවල ද?

3. සිල් රෙදි නොමැතිවීම නිසා ලංකාවේ බෞද්ධයන්ට සිල් ගැනීමට නොහැකි වූ අවස්ථා වාර්තා වී තිබේද?

4. එවැනි තත්ත්වයක් තුළ ජනවාරි මුල් සතිය තුළම සිල් රෙදි බෙදීමට තිබූ අවශ්‍යතාවය කුමක්ද?

5. T. R. C. ආයතනයේ අරමුදල්වලට කිසිසේත්ම සම්බන්ධයක් නැති අරමුණක් ‍වෙනුවෙන් ‍මේ තරම් හදිසියේ මුදල් ලබා ගැනීමට හේතු කව‍රේද?

6. මේ පිළිබඳ ව සාධාරණ උත්තරයක් ලබාදීමට ලලිත් වීරතුංග මහතා අපොහොසත් වී ඇත.

රාජ්‍ය ප්‍රතිපත්තියක් යටතේ මෙම සිල් රෙදි බෙදනු ලැබුවේද?

‍මෙම සිල් රෙදි ව්‍යාපෘතිය රාජ්‍ය ප්‍රතිපත්තියක් යටතේ කරනු ලැබූ ව්‍යාපෘතියක් බවට ඒත්තු ගැන්වීමට විත්ති පාර්ශ්වය උත්සාහ දරා ඇතත් විනිශ්චයකාරතුමාගේ විශ්ලේෂණය තුළින් පැහැදිලි වන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියක් වුවද මැතිවරණ කොමසාරිස්වරයාගේ චක්‍රලේඛ නොසලකා ඊළඟ වර්ෂයේ මුදල් අනුමත කර ගැනීම තෙක් නොසිට T. R. C. ආයතනයේ C. S. R. ගිණුමෙහි නොතිබු මුදලක් එම ගිණුමට එක දිනයකින් ලබාගෙන, එදිනම ජනාධිපති ලේකම්වරයාගේ ගිණුමට බැර කරගෙන, එදිනම සිල් රෙදි මිලදී ගැනීමට එම රාජ්‍ය ප්‍රතිපත්තියේ තිබූ හදිස්සිය කුමක්ද යන්නයි. මෙම සිල් රෙදි බෙදීම මැතිවරණ කාලයක සිදු නොකළේ නම් ජනාධිපති අරමුදලට මුදල් අනුමත වීමෙන් අනතුරුව එම මුදල් වැය කළේ නම් කිසිවකු ලලිත් වීරතුංග මහතාට එ‍රෙහිව අධිකරණයට නොයනු ඇත.

බහුතරයක් බෞද්ධයන් සිටින ලංකාව තුළ සිල් රෙදි බෙදීම කළ නොහැකිද?

මෙම නඩු තීන්දුවෙන් අනතුරුව, ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී ඇති බෞද්ධයන් බහුතරයක් සිටින රටක උපාසක උපාසිකාවන්ට සිල් රෙද්දක්වත් බෙදිය නොහැකිය යන මතය දේශපාලනඥයන් විසින් පතුරුවා ලීමට උත්සාහ දැරීම දැකිය හැකිවිය. මෙය සම්පූර්ණයෙන්ම නඩු තීන්දුවේ පදනම ‍දේශපාලන වාසි සඳහා බැහැර කිරීමකි. ඕනෑම කෙනකුට හෙට දවසේද අපගේ බෞද්ධ උපාසක උපාසිකාවන්ට තම මුදලින් සිල් රෙදි හෝ ඕනෑම දෙයක් ලබාදිය හැකිය.

මෙහිදී පදනම වූයේ රාජ්‍ය මුදල් නොඑසේනම් ජනතාවගේ මුදල් මිලියන 600 එක් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සඳහා මැතිවරණ නීති නොසලකා මැතිවරණ කාලය තුළ බෙදා හැරීමයි. මෙය බෙදා හැරියේ අපේක්ෂකයාගේ පණිවුඩයක් ද සමඟයි. එපමණක් ද නොව එය බෙදා හැරීමේ කටයුත්තට අදාළ අපේක්ෂකයාගේ පවුලේ උදවිය හා එම දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය නායකයන්ගේ අතින් සිදුවීමයි. රටේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුත්තේ රාජ්‍ය නායකයාගේ පවුලේ උදවියගේ හෝ ප්‍රාදේශීය දේශපාලනඥයාගේ මැදිහත්වීමෙන් ද?

මෙම නඩු තීන්දුව නිසා හදිසි අවස්ථාවල රාජ්‍ය නිලධාරින්ට තීන්දු ගත නොහැකිද? ජනතාවට කඩිනම් සහන සැලසිය නොහැකි ද?

හදිසි ගංවතුර, නායයාම් වැනි අවස්ථාවලදී රාජ්‍ය නිලධාරීන්ට කඩිනමින් තීන්දු ගැනීමට නොහැකිවනු ඇතැයි සමහර කොටස් තර්ක කරමින් සිටිති. එය කිසිසේත්ම සත්‍ය නොවේ. රාජ්‍ය නිලධාරීන්ට නීතිමය රාමුව මූල්‍ය රෙගුලාසිවලට යටත්ව ඕනෑම තීරණයක් ගත හැකිය. එපමණක්ද නොව තමන්ට සාධාරණ යයි හැ‍ඟෙන්නේ නම් එය බාහිර පාර්ශ්වයන්ට ද ඔප්පු කළ හැකි සීමාවේ නම් මූල්‍ය රෙගුලාසි වලින් බැහැරව ද තීන්දු ගතහැකි විය යුතුය. ‍මෙහිදී පදනම වනුයේ සද්භාවය යන කරුණයි.

සිල් රෙදි නඩුවේදී ප්‍රශ්න කෙරෙන ප්‍රධාන කරුණ වන්නේ මුදල් නොමැති තත්ත්වයක් තුළ ඊළඟ වර්ෂයේ ප්‍රතිපාදන ලැබෙන තෙක් නොසිට අදාළ නොවන ආයතනයකින් විධිමත් පටිපාටියෙන් බැහැරව මැතිවරණ කොමසාරිස්ගේ චක්‍රලේඛවලට ද පටහැනිව සිල් රෙදි මිලදී ගැනීමට හා බෙදාහැරීමට තිබූ හදිස්සිය කුමක්ද යන්නයි. එයට සාධාරණ පිළිතුරක් දීමට ලලිත් වීරතුංග මහතා අපොහොසත් වේ.

ඔහු හොරෙකු යයි කිසිවකු කියනු මා අසා නැත. ඔහු කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු ලෙස බොහෝ දෙනා හඳුන්වන පරිසරයක් තුළ ඔහු තමාට කිසිසේත්ම සාධාරණීය කිරීමට නොහැකි කරුණක් සම්බන්ධයෙන් ඔහුගේ සියලු සීමාවන් නොසලකා තම ස්වාමියාගේ ජයග්‍රහණය අරභයා ජනතාවගේ මුදල් මිලියන 600 අවභාවිතා කර ඇත.

මෙම තීන්දුව රාජ්‍ය නිලධාරීන්ට

අභියෝගයක් ද ආශිර්වාදයක්ද?

අවංක කාර්යක්ෂම දූරදර්ශී රාජ්‍ය නිලධාරියෙකුට මෙය කිසිසේත්ම ‍අභියෝගයක් හෝ කම්පනයට හේතුවක් නොවනු ඇත. එමෙන්ම එවැන්නන්ට මෙය අමුතු ආශිර්වාදයක්ද නොවේ. එහෙත් වර්තමානයේ සෑම ක්ෂේත්‍රයකම දේශපාලනිකරණයේ ස්වභාවය අනුව රාජ්‍ය නිලධාරින්ට නීතියට හා මූල්‍ය රෙගුලාසිවලට එරෙහිව දේශපාලනඥයන් සිදුකරන බොහෝ නියෝග ප්‍රතිෂේප කිරීම සඳහා මෙය මෙවලමක් වනු ඇත. මෑත කාලය තුළ රාජ්‍ය නිලධාරින් ගණනාවක් අමාත්‍යවරයාගේ නීති විරෝධී නියෝග ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් ඒ සඳහා කොන්දක් හා පෞරුෂයක් තිබිය යුතුය. දේශපාලනඥයන් ගනු ලබන තීන්දුවල හරි වැරදි පෙන්වාදීමට ලේකම්වරයාට හැකියාව තිබිය යුතුය. එය අදාළ අමාත්‍යංශ ගණන් ගැනීමේ නිලධාරියා ලෙස ඔහුගේ හෝ ඇයගේ හෝ වගකීමද වේ.

කිවයුතු එක දෙයක් ඇත. මෙම නඩුවේ විත්තිකරුවන් ඇතැම්විට අනාගතයේ නඩුවෙන් නිදහස් විය හැක. සමාජ වීරයන් විය හැක. එමෙන්ම නව පාලනයක් යටතේ ඉහළ තනතුරු ද ලැබෙනු ඇත. එහෙත් ඔබට හෘද සාක්ෂියෙන් ගැලවිය නොහැක. සිතා බලන්න ඔබ සිදු කළේ සැබෑ ලෙසම සිල් රෙදි බෙදාදීමක්ද? තම ස්වාමියාගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් දීමක්ද?

මෙම කටයුත්ත බෞද්ධ රටක බෞද්ධයන්ට සිල් රෙදි බෙදීමක් බව කියමින් ආගමික සළුවකින් වසා සමාජයට වෙනත් මතයක් ගෙනයමින් මහා සංඝරත්නය දේශපාලන මඩගොහොරුවට ඇද ගනිමින් මහා සංඝරත්නය පිළිබඳ පොදු සමාජ ගෞරවය කෙළසීමට ක්‍රියාකරන දේශපාලන නායකත්වයන්ගෙන් විමසිය යුතු කරුණක් තිබේ.

ඔබ කළ දේ හරිද? ඔබ කරන දේ හරිද? හදවතට තට්ටුකර විමසන ලෙස කාරුණිකව අයැද සිටිමි.

එමෙන්ම මෙය ද විමසිය යුතුව ඇත.

වර්තමාන රාජ්‍ය නායකයා ද මෙසේ රජයේ මුදල් භාවිත කරමින් එළඹෙන ජනාධිපතිවරණයේදී ජනතාවට සෘජු ලෙස බඩු බෙදාදුනහොත් සෑම පන්සලකටම මූල්‍ය ආධාරයක් කළහොත් හෝ වෙනත් ආධාර ක්‍රමයක් ක්‍රියාත්මක කළහොත් එය අනුමත කරන්නේ ද? එසේ දේශපාලන නායකයන් නොකරාවි යැයි කාට හෝ සහතිකයක් දිය හැකිද?

රෝහණ හෙට්ටිආරච්චි

නව අදහස දක්වන්න