අහස් ගව්ව වෙනම වැඩක් | දිනමිණ

අහස් ගව්ව වෙනම වැඩක්

ප්‍රියන්ත කොඩිප්පිලි

ගුවන්විදුලි සංස්ථාවේ සිටි එෆ්.එම් සේවයේ සෑම සෙනසුරාදාවකම සවස 6.30 සිට 7.30 දක්වා විකාශය වන ‘අහස් ගව්ව’ චිත්‍රපට ගීත වැඩසටහන ආරම්භ කර වැඩි කාලයක් නොවේ. ගුවන්විදුලිය වටා එක්රැස්වන ශ්‍රාවකයන්ගේ වෙනසක් ඇති කිරීමේ අදහසින් ආරම්භ කරන ලද වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස ගැනෙන ‘අහස් ගව්ව’ චිත්‍රපට ගීත වැඩසටහන ඉදිරිපත් කරන්නේ මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි ය. ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කරන ප්‍රියන්ත කොඩිප්පිලි සමඟින් මේ පෙළ ගැසෙන්නේ ‘අහස් ගව්ව’ පිළිබඳ ‘රසමංජරිය’ට කරන ලද සාකච්ඡාවකි.

l ‘අහස් ගව්ව’ වැනි චිත්‍රපට ගීත වැඩසටහන කිරිමට ඔබට ආරාධනා ලැබෙන්නේ කෙසේද?

මුලින් ම මට මේ වැඩසටහන ගැන ආරාධනාව පැමිණෙන්නේ ගුවන්විදුලි සංස්ථාවට අලුතෙන් පැමිණි සභාපති සුදර්ශන ගුණවර්ධන මහතාගෙන්. ඔහු මුණ ගැසුණු අවස්ථාවකදි මා හා පැවසුවේ අලුතින් ම ගුවන්විදුලි සංස්ථාවේ සේවාවවල වැඩසටහන් අංශයේ සමස්තයක් විදියට හා නැවුම් මුහුණු වරකින් වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බවයි. ඊට පසුව මුණ ගැසුණු මොහොතක ඔහු මට පැවසුවේ වැඩසටහන්වල යම් වෙනසක් සිදු කළ බවත් ඒවා ශ්‍රවණය කර යම් අදහසක් පවසන ලෙසත්. එහි වැඩසටහන් ශ්‍රවණය කිරීමෙන් මට හැඟී ගියේ යම් සාධනීය වෙනසක් සිදු කිරීමට ඔහු උත්සාහ ගෙන තිබෙන බවයි. ඊටත් පසුව හමු වූ අවස්ථාවක ඔහු පැවසුවේ පසුගිය කාලයේ සෑම ගුවන්විදුලි සේවාවක ම කලාව සම්බන්ධයෙන් කළ වැඩසටහන්වල යම් පසුබෑමක් පැවතුණු බවයි. ඒ සඳහා යමක් කළ හැකිද යන්නත් ඔහු මගෙන් විමසුව කාරණයක්. එවිට මා ඔහුට පැවසුවේ ටික දිනක සිට පෞද්ගලික නාලිකාවක මගේ යහළුවකු සමඟ සාකච්ඡා මට්ටමේ පැවතුණු යම් වැඩසටහනක් පිළිබඳයි. ඒ වැඩසටහන ගැන පැවසුවා පමණයි ඔහු ගුවන්විදුලියේ එවැනි චිත්‍රපට ගීත වැඩසටහනක් ආරම්භ කිරීමට අපට අවසරය ලබා දුන්නා. ඒ අනුවයි ‘අහස් ගව්ව’ චිත්‍රපට ගීත වැඩසටහන ගුවන්විදුලියේ ආරම්භ වන්නේ.

l ‘අහස් ගව්ව’ චිත්‍රපට ගීත වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

‘අහස් ගව්ව’ චිත්‍රපට ගීත වැඩසටහන නිෂ්පාදනය කරන්නේ ගුවන්විදුලි සංස්ථාවේ සිටින නිෂ්පාදකවරයකු වන රුචිර සංගීත්. මෙහි පිටපත හා ඉදිරිපත් කිරීම කරන්නේ මමයි. මෙවැනි පසුබිමක් සහිත මේ වැඩසටහන ආරම්භ කර මේ වනවිට තවම ගත වී ඇත්තේ මාස දෙකක් පමණයි. ඒ කාලය ඇතුළත ලැබෙන ප්‍රතිචාර බොහොම හොඳ මට්ටමකයි පවතින්නේ. ඒ ප්‍රතිචාර අනුව මේ වැඩසටහනේ සිදු කළ නැවුම් වෙනසට ඔවුන් බොහෝ කැමැත්තක් දක්වන බවයි පෙනෙන්නේ.

l චිත්‍රපට ගීත සංරක්ෂණාගාරයක් බඳු වූ ගුවන්විදුලි සංස්ථාවේ ඇති චිත්‍රපට ගීත අතරින් වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා ඔබ තෝරා ගන්නා ගීතවල යම් වර්ග කිරීමක් තිබේද?

‘අහස් ගව්ව’ වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා මා ගීත තෝරා ගන්නේ එක්තරා කාලපරාසයකට හෝ ශිල්පීන්ගේ ප්‍රවීණත්වය හෝ සලකා නොවෙයි. ඒ නිසා මේ වැඩසටහනෙන් අපේ රටේ නිර්මාණය වුණු ඕනෑම චිත්‍රපටයක ඕනෑ ම ගීතයක් ඇසෙන්නට පුළුවන්.

l ඔබ පවසන්නේ වර්ග කිරීම්වලින් තොරව ස්වාධීනව ‘අහස් ගව්ව’ වැඩසටහන ඉදිරිපත් වන බවද?

‘අහස් ගව්ව’ චිත්‍රපට ගීත වැඩසටහනේ තේමාව විදියට නම් කර තිබෙන්නේ ‘රිදී ගීතයේ රසානන්දය’ යනුවෙන්. මේ වැඩසටහන අතර අප විවිධ අත්හදා බැලීම්වලට යනවා. ඒ අනුව පසුගිය එක් වැඩසටහනක් වෙන් කළේ ප්‍රවීණ සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන් වෙනුවෙන්. ඔහුගේ නවවැනි ගුණ සමරුව යෙදී තිබෙන්නේ මේ මාසයේ 24 වැනිදාටයි. ඒ වෙනුවෙනුයි ඔහුගේ නමට විශේෂ ‘අහස් ගව්ව’ වැඩසටහනක් වෙන්කළේ. එහිදි සම්පූර්ණයෙන් ම මා තෝරාගත් ගීත වන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ අපේ රටේ සිනමාවේ කැපී පෙනෙන චිත්‍රපටවල ගීතයි. ඒ අයුරින් ඉදිරියේදී විවිධ තේමා ඔස්සේ මේ වැඩසටහන ගෙන යන්නටත් අප බලාපොරොත්තු වනවා. අපේ රටේ බිහිවුණු ඕනෑ ම චිත්‍රපටයක ගීතයකට ‘අහස් ගව්ව’ වැඩසටහනේ ඉඩක් නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන් ම ගීත තෝරා ගැනීමේදී ගායන ශිල්පියා හෝ සංගීත ශිල්පියාගේ හෝ පදරචකයාගේ හෝ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ මොන චිත්‍රපටයද යන්න කිසිම භේදයකින් තොරවයි ගීත ඉදිරිපත් වන්නේ.

l අපේ රටේ වර්ග කිරීමට ලක් කරන කලාත්මක හා වාණිජ වශයෙන් වත් යම් වර්ග කිරීමක් මේ වැඩසටහන හරහා සිදු නොවනවා කියන විශ්වාසය ශ්‍රාවකයන්ට පවතිනවා?

කලාත්මක චිත්‍රපට හෝ වාණිජ චිත්‍රපට යනාදී වශයෙන් කිසිදු සැලකිල්ලකින් තොරවයි මෙහි ගීත ඉදිරිපත් වන්නේ. විශේෂයෙන් කලාත්මක සිනමා කෘති වගේ ම වානිජ සිනමා කෘති නිසයි අපේ සිනමාව රැකුණේ. ඒ නිසා වැඩසටහන ඇතුළේ ගීත තෝරා ගැනීමේදී සමබර බව රැකීමට මා බොහොම වෙහෙස මහන්සි වනවා.

l එහෙම නැතිව ‘අහස් ගව්ව’ වැඩසටහන ඔබ ඉදිරිපත් වන්නේ චිත්‍රපට ගැන ලියන විචාරකයකු විදියට නොවේද?

චිත්‍රපට ගීත තෝරා ගැනීමේදී නිතරම මගේ අවධානය යොමුවන්නේ අප තෝරා ගන්න ගීතය ඒ චිත්‍රපටයට කොපමණ සාධාරණයක් කර තිබේද යන්න විමසා බැලීමටයි. මමත් සිනමාව ගැන ලියන කෙනෙකු විදියට මට චිත්‍රපට ගැන වෙන ම විවේචනයක් තිබෙන බව සත්‍යයක්. මෙහිදි මගේ පෞද්ගලික කැමැත්ත හෝ විවේචනය නොවෙයි මා සලකන්නේ. එසේ නැතිව මා පුවත්පත්වලට ලියන ආකාරයේ ඉදිරිපත් කිරීමක් නොවෙයි ‘අහස් ගව්ව’ වැඩසටහනේදී සිදු කරන්නේ. ගුවන් විදුලියට ආදරය කරන රසිකයාගේ පැත්තෙන් සිටිමිනුයි ඒ කාර්ය මා කරනු ලබන්නේ. ඒ නිසා මේ වැඩසටහන ගුවන්විදුලිය හා සිනමා එකතු කරන ස්ථානයක්. ඒ සඳහා ම අප පූර්ව ප්‍රචාරක පටයකුත් නිර්මාණය කළා. ‘සිනමාව රේඩියෝවට ජෝඩු කරන සංගීතමය මංගල යෝජනාව’ නමින්. සිනමාව පිළිබඳ ඇල්මක් තිබෙන අය ගුවන්විදුලිය වෙත කැඳවන්නත්, ගුවන්විදුලිය ශ්‍රවණය කරන අය සිනමාව වෙත කැඳවන්නත් මේ ‘අහස් ගව්ව’ වැඩසටහන උදව්වක් වේ යැයි මා සිතනවා.

l මේ වැඩසටහන සඳහා ‘අහස් ගව්ව’ යන නාමය යොදා ගැනීමට විශේෂ හේතුවක් පෙළගැසී තිබෙනවාද?

අහස් ගව්ව කියන්නේ ධර්මසේන පතිරාජගේ චිත්‍රපටයක නමක්. ඒ නම මේ වැඩසටහනට අප තෝරා ගත්තේ ම මෙතෙක් කළ චිත්‍රපට ගීත ඇතුළත්ව කළ ගුවන්විදුලි වැඩසටහන්වලින් වෙනස් වීමට අපට වුවමනා වූ නිසයි. අපේ සිනමාවේ වෙනස් කළ චිත්‍රපටයකුයි ‘අහස් ගව්ව’ කියන්නේ. ඒ නිසා චිත්‍රපට ගීත ගැන කතා කරන වෙනස් වැඩසටහනක් සඳහා මේ නම ගැළපෙන බවයි අප සිතුවේ. අනෙක් කාරණය නම් ධර්මසේන පතිරාජ කියන ප්‍රවීණ සිනමාකරුවාට ගෞරවයක් විදියටත් මේ නම වැඩසටහනට යෙදීමට අප සිතුවා. ඒ වගේ ම ගුවන්විදුලි වැඩසටහනක් නිසා ඒ නම වඩාත් ගැළපෙන බවක් හැඟෙනවා.

l වර්තමානය වනවිට චිත්‍රපට ගීත ඇතුළත්ව නිර්මාණය වුණු වැඩසටහන් රැසක් ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය මඟින් විකාශය වනවා. ඒ වැඩසටහන් අතරින් ‘අහස් ගව්ව’ වෙනස් වන්නේ කුමන ආකාරයෙන්ද?

මුලින් ම පැවසිය යුත්තේ මේ වැඩසටහනට තරගයක් නැහැ. අපිත් සිනමාට කැමැත්තක් දැක්වීමට පටන් ගත්තේ ඇතැම් රූපවාහිනි හා ගුවන්විදුලි වැඩසටහන් හා ගීත සමඟ තිබුණු වැඩසටහන් නරඹලයි. ශ්‍රවණය කරලයි. මේක මගේ ඉදිරිපත් කිරීමක්. මේ වැඩසටහන තවත් කෙනෙකු ඉදිරිපත් කළා නම් වෙනස් වීමට තිබුණා. ඒ නිසා සංසන්දනයක් කිරීමටත්, තරගයක් දීමටත් මගේ අදහසක් නැහැ. මා ඉදිරිපත් කරන අදහස් ටිකක් තිබෙනවා. ඒක මගේ ස්වාධීන අදහස් කිහිපයක්. ඒ සඳහා වෙනත් කෙනෙකුට වෙන ම අදහසක් තිබිය හැකියි.

මේ සඳහා ප්‍රතිචාර දැක්වීමට ශ්‍රාවකයන්ට අප වෙන ම අවස්ථාවක් ලබාදී තිබෙන බවත් සතුටින් ප්‍රකාශ කළ යුතුයි. ඔවුන් පවසන ප්‍රකාශවලින් මගේ ඉදිරිපත් කිරීමට බොහෝදෙනා කැමැත්තක් දක්වන බව පෙනෙනවා. මේ වනවිට වැඩසටහන් දහයක් පමණයි අප ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ වැඩසටහන් දහය ඇතුළේ ලැබුණු ප්‍රතිචාරත් එක්ක සිනමාව හා ගුවන්විදුලිය සමඟ කටයුතු කරන විශාල පිරිසක් ‘අහස් ගව්වට’ කැමැති බවයි අපට හැඟුණේ. ගුවන්විදුලි ශ්‍රාවකයන් වගේ ම සිනමාවට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල අය මේ වැඩසටහන සම්බන්ධයෙන් මාව පුදුම විදියට උනන්දු කරනවා. ඒ අයගේ නම් කියන්න ගියොත් විශාල සංඛ්‍යාවක්. ඒ විදියට මාව දිරිමත් කිරීම හා උනන්දු කළ, දැනුවත් කළ සියලුදෙනාව ම මේ වෙලාවේ මා සිහිපත් කරන්නේ කෘතඥ පූර්වකවයි.

l ඔබ ‘අහස් ගව්ව’ ඉදිරිපත් කරන ආකෘතිය කුමක්ද?

‘අහස් ගව්ව’ කියන්නේ පැයක වැඩසටහනක්. ඒ නිසා කාලය සම්බන්ධව අදහසකුත් අපට තිබිය යුතුයි. මා චිත්‍රපට ගීතයට එකතු කරන අදහස හා මේ පැය කළමනාකරණය කරන්නේ කොහොමද කියන කාරණය ගැන මගේ දැඩි අවධානයක් යොමු වුණා. මේ අනුව ඒ වැඩසටහනට සවන් දෙන ශ්‍රාවකයාටත් සාධාරණයක් ඉටුකළ යුතුයි.

ඒ සියලු කාරණා සැලිකිල්ලට ගනිද්දි අපට වැඩසටහන සඳහා ඉදිරිපත් කළ හැක්කේ ගීත අටක් පමණයි. ඒවා අතරට ගීතයේ සියලු ම තොරතුරු ඇතුළත්. වැඩසටහනේදී ගීතය ඇතුළත් චිත්‍රපටය, ගීතය වටා බැඳුණු වෙනත් තොරතුරු, චිත්‍රපට ගීත පිළිබඳ කියැවුණු අතීත රසකතා, විශේෂයෙන් ම ඒ ගීතයට බැඳුණු එක් ශිල්පියකුට වඩා සම්බන්ධ වුණු ශිල්පියන් කිහිපදෙනෙකු පිළිබඳ විශේෂ කාරණා කිහිපයක් පැවසීමටත් මා අමතක කරන්නේ නැහැ. ඒ වගේ ම අපේ රටේ සිටි ප්‍රවීණ සිනමාකරුවන්, ප්‍රවීණ සංගීතඥයන්, ගායකයන්, ගීපද රචකයන් පිළිබඳ විවිධ කියැවීම් ‘අහස් ගව්ව’ හරහා ඉදිරිපත් වනවා.

l වර්තමානයේදී අප තවම කතා කරන්නේ හැත්තෑවේ දශකයේ චිත්‍රපට ගීත ගැනයි. වර්තමානයේ චිත්‍රපට නිර්මාණය වුණත් ඒ අතීතයේ නිර්මාණය වූ චිත්‍රපට ගීත තරම් අපේ මතකයේ මේ ගීත රැඳෙන්නේ නැහැ. ඒ ඇයි?

ජනප්‍රියත්වයට ඒ කාලයේ නිර්මාණය වුණු චිත්‍රපටවල ගීත රැසක් ඇතුළත් වුණා. මේ ජනප්‍රිය වුණු ගීත නිර්මාණය වුණේ වාණිජ චිත්‍රපට හරහායි. සමහර වාණිජ චිත්‍රපටයක සියල්ල ම වගේ ගීත ජනප්‍රිය වුණු අවස්ථා තිබුණා. ඒත් කලාත්මක ගණයේ චිත්‍රපටවලත් ගීත ජනප්‍රිය නොවුණා නොවෙයි. එහෙත් පසුව දුටු දෙයක් නම් ඊට පසුකාලයේ නිර්මාණය වුණු චිත්‍රපට ගීත ජනප්‍රිය නොවීමයි. එකක් සමස්තයක් විදියට සිනමාව සිනමා ප්‍රේක්ෂක ආකර්ෂණයෙන් ගිලිහීමද කියන කාරණයත් ගැටලුවක්.

කොහොම වුණත් මට ‘අහස් ගව්ව’ වැඩසටහනට ගීත තෝරා ගනිද්දි හැත්තෑව අසූව දශකයේ ගීත තෝරා ගැනීමට අපහසුවක් දැනෙන්නේ නැහැ. ඒ අතරින් මට මෑත කාලයේ ජනප්‍රියත්වයට පත්වුණු චිත්‍රපට ගීත තෝරා ගැනීමේදියි මේ ගැටලුව පැන නැඟෙන්නේ. මොකද මෑත කාලයේ චිත්‍රපට ගීත තෝරා ගනිද්දි එය කළ යුත්තේ බොහොම කල්පනා කිරීමෙන් බවයි පෙනෙන්නේ. ඉන් කියැවෙන්නේ මෑත කාලයේදී ගුණාත්මක බවින් යුතු ගීත බිහි නොවන බව නොවෙයි. එවැනි ගීත නිර්මාණය වනවා.

උදාහරණයක් විදියට ආචාර්ය ප්‍රේමසිරි කේමදායන් සංගීතවත් කළ ගීත වගේ ම චන්ද්‍රම් රත්නම්ගේ ‘අලිමංකඩ’ චිත්‍රපටයට අජිත් කුමාරසිරි ගැයූ ගීතයත් මා වැඩසටහනට ඉදිරිපත් කළා. මෑත කාලයේ නදීක ගුරුගේ, කසුන් කල්හාර වැනි පරම්පරාව නිර්මාණය කළ චිත්‍රපට ගීතත් අපට ඒ සඳහා තෝරා ගත හැකියි. ඒ වගේ ම භාතිය, සන්තුෂ්, උමාරියා, නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව ගැයූ ගීතත් මීට ම ඇතුළත්. අද ලතා වල්පොල, සුජාතා අත්තනායක වැනි ප්‍රවීණයන් ගීත ගැයුවේ නැතිවුණත් වර්තමානය වනවිටත් අලුත් පරම්පරාවක් නිර්මාණය වෙමින් ඉන්නවා. කාලයක් යද්දි ඔවුනුත් ඒ පෙර අයගේ ම තත්ත්වයට පිවිසේවි.

තිලානි ශානිකා විතානාච්චි

නව අදහස දක්වන්න