අනුරපුර හිස් ඉඩම් අස්වද්දන්නයි මේ වෑයම | දිනමිණ

අනුරපුර හිස් ඉඩම් අස්වද්දන්නයි මේ වෑයම

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ - නිමල් විජේසිංහ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික වේවා, රජයේ වේවා වගා නොකර නිකරුනේ අත් හැර දමා ඇති සෑම බිම් අඟලකම කිසියම් භෝගයක් වගා කිරීමට සියලු රජයේ නිලධාරීන් ගොවිජනතාව සමඟ අත්වැල් බැඳගත යුතු යැයි අනුරාධපුර දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා අවධාරණය කළේය.

ඉකුත් දා දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු මාසික සැසිවාරය අමතමින් කතා කළ දිසාපතිවරයා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පමණක් නොව, දිස්ත්‍රික්කයේ කෘෂි කර්ම අංශයට සම්බන්ධ නැති සැම රජයේ ආයතනයක්ම එම ආයතන භූමි තුළ ජාතික වගා සංග්‍රාමයට දායක වෙමින් ගෙවතු වගා ආරම්භ කළ යුතු යැයි සදහන් කළේය. රජයේ නිල නිවාසවල හිස් ඉඩම් වහාම භෝග වගාව සඳහා යොදා ගත යුතු යැයි ද, රට තුළ ඉදිරියේ දී කිසියම් හේතුවක් නිසා ආහාර අහේනියක් සිදු වීම වළක්වා ගැනීම සඳහා එකම පිළියම ජාතික වගා සංග්‍රාමයට හද පත්ලෙන්ම දායක වීම යැයි ද වන්නිනායක මහතා රජයේ නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් අමතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කැකිරාවෙන් වප් මගුල් උත්සවය ආරම්භ කොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ආහාර භෝග වගා සංග්‍රාමය ආරම්භ කළා. නියඟය තිබුණත්, නියඟය අභිබවා දැන් දැන්ම ඉදිරියේ මාස් මෝසම් වැසි බලාපොරොත්තුවෙන් ගෙවතු වගාව සඳහා අවශ්‍ය මූලික විධි විධාන යෙදීමට පියවර ගත යුතුයි. මේ සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කර ඇති අතර ගෙවතු වගා සඳහා උපරිම සහය ලබා දීම සදහා ඔවුන් ක්‍රියා කළ යුතු වේ.

මෙම ජාතික වගා සංග්‍රාමය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම සහභාගී විය යුතු අතර, තමාගේ නිල නිවාසය සහිත නුවරවැව ආසන්නයේ ඇති මුළු ගෙවත්තම වගා බිමක් බවට පත් කිරීමේ කටයුතු තමාගේ පෞද්ගලික අවධානය යොමු කොට ආරම්භ කරන බව ද, දැනටමත් ඒ සඳහා අවශ්‍ය බිම් සකස් කිරීමේ කටයුතු සහ පැළ සිටුවීමට මුල පුරා තිබෙන බව ද වන්නිනායක මහතා පෙන්වා දුන්නේ ය.

 

නව අදහස දක්වන්න