මුතුරාජවෙල සිට ගුවන් තොටට ඉන්ධන ගෙන යන නළය එළීම කඩිනමින් | දිනමිණ

මුතුරාජවෙල සිට ගුවන් තොටට ඉන්ධන ගෙන යන නළය එළීම කඩිනමින්

මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන ගෙන යන නළය (jQ ඉන්ධන නළය) එළීමේ ව්‍යාපෘතිය ඉදිරි මාස කිහිපයේ කඩිනම් කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

“මීට පෙර මේ ඉන්ධන නළය එළීමට නියමිතව තිබුණේ හැමිල්ටන් ඇළට සමගාමීව නුගෙපේ බෝපිටිය හරහා පමුණුගමටත් එතැනින් මීගමුව කොළඹ මාර්ගයට සමාන්තරව කටුනායක දක්වායි. එය ඉතා දුෂ්කර ව්‍යාපෘතියක් බව පෙනී ගියා. විශේෂයෙන්ම නළ මාර්ගය මාර්ග හරහා වැටීම නිසා එය එළීමේ කටයුතු පහසු වන්නේ නැහැ. ඒ නිසා මේ නළ මාර්ගය එළීමේදී වඩාත් පහසු මාර්ගයක් යොදා ගැනීමට අපේ අවධානය යොමු වුණා. ඒ අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට සමාන්තරව මේ නළ මාර්ගය එළීමේ හැකියාව සොයා බැලීමට ශක්‍යතා අධ්‍යයනක් සිදු කළා. එහි ප්‍රතිඵල සතුටුදායකයි. අධිවේගී මාර්ගයට සමාන්තරව ගුවන් යානා ඉන්ධන නළය එළීමට මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය එකඟ වී තිබෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම අධිවේගී මාර්ගයක තිබෙනවා සේවා ඒකකයක්. ඒ කියන්නේ සර්විස් කොරිඩෝවක්. හැබැයි අපි ඒවා ගැන හිතන්නේ නැතිවයි මේවා හදලා තියෙන්නේ. නමුත් තාම අපිට ඉඩ තිබෙවා එවැන්නක් ඇති කරන්න” යනුවෙන් ද ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ආමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රගති සමාලෝචන මාසික රැස්වීමට සහභාගී වෙමිනි.

එහිදී ගුවන් යානා ඉන්ධන (Jet A - 01) ගෙනයාම සඳහා jQ ඉන්ධන නළය එළීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ ඇමැතිවරයාටග් විශේෂ අවධානය යොමු විය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි.

මෙරට ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ය. කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට දුම්රියෙන් එම පරිශ්‍රයට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය කෙරේ. ඇතැම් අවස්ථාලදී බවුසර් රථ ද ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනයට යොදා ගනී. කෙසේ වුවත් ඉදිරියේ දී දෛනික ඉල්ලුම සැපිරීමට කොළොන්නාවේ සිට පමණක් කෙරෙන මෙහෙයුම් ප්‍රමාණවත් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිරීක්ෂණය වී තිබේ. විශේෂයෙන්ම මේ වන විට ලීටර් මිලියන 1.6ක් වූ දෛනික ගුවන් යානා ඉන්ධන ඉල්ලුම 2020 වර්ෂය වන විට දිනකට ලීටර් මිලියන 2ක දක්වා ද, 2030 වර්ෂය වන විට එය ලීටර් මිලියන 3යි දශම 5ක්වා ද වැඩි වනු ඇතැයි ගණන් බලා ඇත. ඒ අනුව කොලොන්නාවට අමතරව මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයෙන් ද කටුනායක ගුවන් යානා ඉන්ධන සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට අපේක්ෂා කෙරේ. මුතුරාජවෙල සිට කටුනායක දක්වා ඉන්ධන නළයක් එළීමේ ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ ඒ වෙනුවෙනි.

මෙහි මුල් සැලසුමට අනුව එම නළයේ සම්පූර්ණ දිග කිලෝ මීටර් 23.3කි. අධිවේගී මාර්ගයට සමගාමීව එය එළීමට ගත් නව තීරණය මත එහි දිග කිලෝමීටර් 3. 5කින් එහි දිග අඩු වී තිබේ. වංගු ප්‍රමාණය ද එහි සම්පූර්ණයෙන්ම අඩු වී ඇත. මේ හේතුවෙන් මුතුරාජවෙල සිට කටුනායක දක්වා ඉන්ධන පොම්ප කිරීමේදී වසරකට කිලෝවොට් පැය ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක විදුලි බලයද ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මේ වන විට කටුනායක ගුවන් යානා ඉන්ධන පර්යන්තයට JIG අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීම්හිදී හිමි ඇත්තේ Good ස්ථානයයි. මේ නව ව්‍යාපෘතියක් සමඟ ඉදිරියේ දී එකී ශ්‍රේණිගත කිරීම්හි විශිෂ්ටත්වය දක්වා ඉහළට යාමට හැකිවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ඊට අමතරව ප්‍රවාහන වියදම් අඩු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් යානා ඉන්ධන මිල අඩු කර ඉන්දියාව ද ඇතුළත්ව කලාපීය වශයෙන් තරගකාරී ලෙස ගුවන් යානා ඉන්ධන සැපයීමේ අවස්ථාව ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි වනු ඇත‍. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මේ නව තීරණයත් සමඟ මේ ව්‍යාපෘතියෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ රටට ලැබෙන මූල්‍ය වාසියද විශාල වන බවයි.

“ඕනෑම ව්‍යාපෘතියක් සිදු විය යුත්තේ රටට ගැළපෙන විදියටයි. එතැනදී ව්‍යෘතිය නිසා ජනතාව සිදුවන පීඩාව අවම කිරීමට පියවර ගත යුතු සේම එම ව්‍යාපෘතියෙන් දීර්ඝ කාලීනව රටට වැඩි වාසි ලැබීමත් වැදගත් වනවා. මේ ව්‍යාපෘති සඳහා අපි වැය කරන්නේ ජනතාවගේ මුදල්. ඒ මුදල් නිකරුණේ නාස්ති කරන්න බැහැ. වියදම් කරන සෑම මුදලකට ම අපි වගකිව යුතුයි. ගුවන් යානා නළ මාර්ගය එළීමේ ව්‍යාපෘතියේදී අපි සැලකිල්ලට ගත්තේ එම කරුණයි” යනුවෙන් ද ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය. 

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න