මාධ්‍යවේදියා ඇත්ත වෙනුවෙන් පෑන මෙහෙයවිය යුතුයි | දිනමිණ

මාධ්‍යවේදියා ඇත්ත වෙනුවෙන් පෑන මෙහෙයවිය යුතුයි

මාධ්‍යවේදියා සැම විටම නිවැරැදි දේ තෝරා ගැනීමටත් සත්‍යයට ගරු කිරීමටත් යුක්තිසහගත සමාජ සාධාරණත්වය සඳහා සිය පෑන මෙහෙයවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනමාධ්‍යවේදියකු, පුවත්පත් කලාවේදියකු, සාහිත්‍යධරයකු දැනුම තුළින් සිය වගකීම කළමනාකරණය කරමින් පෑන හැසිරවීමේදී වඩාත් නිවැරැදි දේ ඥානාන්විතව සමාජයට දැනුම ලබාදීම වගකීමක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එක් එක් කාල පරිච්ඡේද තුළ දූෂිත, සමාජයට වැරැදි දේ කරන බොහෝ දේශපාලනඥයන්ගේ සාක්කුවලට ඇතැම් මාධ්‍යවේදීන් වැටී තිබෙන බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොතෙක් වැරැදි කළත් වැරැදිකරන කෙනා ගැන කතා නොකිරීම සහ ලියා නොසිටීම මෙන්ම පහරදීමට අවශ්‍ය කෙනා කොතරම් නිවැරැදි වුණත් ඔහුට පහර ගැසීමත් සමාජයේ දක්නට ලැබෙන බවද කීය. තම පෞද්ගලික වාසි සඳහා දූෂිත දේශපාලනඥයන් ආරක්ෂා කර ඔවුන්ට ප්‍රශස්ති ගීත ගායනා කිරීමට ජනමාධ්‍යවේදියා කටයුතු කරන්නේ නම් එය ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මොන තරම් අභාග්‍යයක්දැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතින් බලන කල පුවත්පත් ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වූ ඩී. බී. ධනපාලයන් සිය ක්ෂේත්‍රයේ ආදර්ශයක් දෙමින් ඉතා මධ්‍යස්ථව, අපක්ෂපාතීව, වේගවත්ව සහ සෘජුව පෑන හැසිරවීමට කශේරුකාවක් තිබූ අයකු බවද ජනාධිපතිවරයා කීය.

ප්‍රකට පුවත්පත් කලාවේදියෙතු වු ඩී.බි. ධනපාල මහතා අනුස්මරණය කරමින් සමරු මුද්දරයක් එළි දැක්වීම සඳහා පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලයේදී ඊයේ (19) පැවැති උත්සවයට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය. 

නව අදහස දක්වන්න