පුහුදිවුල-මාවතවැව පදිංචිකරුවන්ට විකල්ප ඉඩම් තවමත් නෑ | දිනමිණ

පුහුදිවුල-මාවතවැව පදිංචිකරුවන්ට විකල්ප ඉඩම් තවමත් නෑ

පහළ යාන් ඔය ජලාශයට යටවන පුහුදිවුල හා මාවතවැව ගම්මානවල පදිංචිව සිටින ගොවිපවුල් අසූ එකකට විකල්ප ඉඩම් ලබාදීම විධිමත්ව සිදු නොකිරීමෙන් එම ගම්මානවල ගොවීහු අසරණ වී සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී එම ගම්මානවල ගොවීහු පැවසූහ.

දිසාලේකම් ආර්.එම්. වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පැවැත්විණි.

ඕමාරකඩ පදිංචි එස්. අබේසිංහ මහතා -

අපි පරම්පරා ගණනාවක් තිස්සේ පුහුදිවුල පදිංචි වෙලයි සිටියේ. පහළ යාන් ඔය ජලාශයේ බඳින්න පටන් අරගෙන අවුරුදු හතරක් වෙන්නත් ළඟයි. මේ වනවිට වැවේ වැඩ ඉවරවෙන මට්ටමකයි තිබෙන්නේ. යාන් ඔය හරස් කරන්න විතරයි දැනට ඉතිරි වෙලා තියෙන්නේ. අවුරුදු හතරකට ආසන්න කාලයක් ගත වෙලත් පුහුදිවුල හා මාවත වැවේ පදිංචි පවුල් අසූ එකක් ඕමාරාකඩ හා ඩී 6 පදිංචි කරන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මේ දක්වා බැරිවෙලයි තිබෙන්නේ. අපට ඉඩම් පෙන්නුවට වන සංරක්ෂණයෙන් ඒවා එළි කරන්න ඉඩ දෙන්නේ නෑ. අපට ඉඩම් පෙන්නලා තියෙනවා. ඒවාට යන්න අතුරු පාරවල් හදලා නෑ. අපි ගෙවල් හදාගෙන යනවා. කිසිම පහසුකමක් ලබාදීලා නෑ. වතු ඉඩම් පෙන්නුවට තාම කුඹුරු ඉඩම් පෙන්නලා නෑ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ කරන්නේ සැලසුමක් නැතිව. දැන් මහකන්නයත් පටන් ගන්න කාලය ඇවිත්. අපට එහෙත් ගොවිතැන් නැහැ. මෙහෙත් ගොවිතැන් නැහැ. පහළ යාන් ඔය ජලාශය ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අපේ ප්‍රශ්නය ගැන සොයන්න පැත්ත පළාතකට එන්නේ නැහැ. අපට නිවාසවලට වන්දි මුදල් ගෙව්වට අපේ කුඹුරු වලට තාම පූර්ණ වන්දි ගෙවලා නෑ.

යූ.බී. දසනායක මහතා -

වාරිමාර්ගයේ ඔය කියන විදියට කිසිම දෙයක් ඕමාරකඩ පදිංචිකරුවන්ට සිද්ධ වෙන්නේ නෑ. ඕමාරකඩ සොරොව්ව හදලා ඒ යටතේ අපට විකල්ප ඉඩම් ලබා දෙන්න කියලා අපි වාරිමාර්ගයෙන් ඉල්ලීමක් කළා. මේ වන තෙක් එම ඉල්ලීමට වාරිමාර්ගයේ ඉහළ නිලධාරීන් අවධානය යොමු කරලා නෑ. අද අපි ඕමාරාකඩ කැලේ මැද්දේ අසරණ වෙලා කිසිම පොදු පහසුකමක් නැතිව ජීවත් වෙනවා. අනුරාධපුර මහ දිසාපතිතුමාට හතර වතාවකදී මේ සම්බන්ධව අපි කරුණු කිව්වා. එයින්වත් අපට සහනයක් සැලසිලා නෑ. ඕමාරාකඩ අපි පදිංචි කරනකොට කීවා වටේට අලි වැටක් ගහලා දෙනවා කියලා. මේ වන තෙක් ප්‍රාදේශීය ලේකම්වරයා එම ඉල්ලීම ඉටුකරලා නෑ.

පී. ජයතිස්ස මහතා -

පසුගිය දා මගෙ ගේ අලි කඩලා ගේ තිබුණ වී මිටි 8 ක් අලි කෑවා. අපේ ජීවිත වලටත් වන අලින්ගෙන් කොයි වෙලාවෙත් අනතුරක් වෙයිද කියලා කියන්න බෑ. අපි පදිංචි කෙරුවේ සියලු පහසුකම් ලබාදෙනවා කියලා. අඩුම වශයෙන් අලි වැටවත් ගහලා දෙන්න නිලධාරීන්ට මේ වන තෙක් බැරිවෙලා තියෙනවා. අපේ දරුමල්ලොයි, අපියි නිලධාරීන්ගේ ප්‍රමාදයන් නිසා දුක් විඳිනවා.

අපට ඉඩම් ලබාදීලා තිබෙන්නේ ඕමාරාකඩින්. ඉඩම් ලබාදුන්නට අපට ගෙවල් හදන්න වෙලා තියෙන්නේ ගස් අස්සේ. වන සංරක්ෂණයෙන් ගස් කපන්න අපට ඉඩ දෙන්නේ නෑ. බිලියන ගාණක් වියදම් කරලා ඉදිකරපු පහළ යාන් ඔය ජලාශයේ ගොවීන් පදිංචි කරන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මේ වන තෙක් බැරිවෙලා තියෙනවා. අපි අපේ නිවාස ඉදිකරගෙන ගියත් අවසන් වන්දි මුදල් මේ දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාදීලා නෑ. අද අපි සරණ භාවයට පත් වෙලා තියෙනවා. කියන්න ඕන සියලු නිලධාරීන්ට අපි අපේ දුක කියලා තිබෙනවා. ඒත් අපට විසඳුමක් නෑ. 

අනුරාධපුර සමූහ අශෝක සේනාරත්න සහ අනුරාධපුරඅතිරේක දිස්ත්‍රික් සමූහ

නව අදහස දක්වන්න