ගිනි පොලියෙන් රට මුදන අයවැයක් | දිනමිණ

ගිනි පොලියෙන් රට මුදන අයවැයක්

රක්ෂණ ශ්‍රියන්ත

ධනවතුන් ධනවතුන්ම කිරීම රජයක මූලික අරමුණ නොවන බව ජනපති කියයි

පෞද්ගලික මූල්‍ය ආයතනවලින් ණය ගෙන දැඩි ලෙස පීඩාවට පත් ජනතාව ඉන් මුදා ගැනීම සඳහා 2018 වර්ෂය සඳහා වූ අය-වැය තුළින් දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් සකසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ධනවතුන් තවදුරටත් ධනවතුන් කිරීමට සම්පත් ලබාදීමේ ප්‍රතිපත්තියෙන් බැහැරව ආර්ථික අමාරුකම් තිබෙන ජනතාව ඉන් මුදා ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය යහපත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ වරප්‍රසාද ලබාදීම රජයක මූලික වගකීමක් බව ද ජනාධිපතිවරයා පැවැසීය.

කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේ දී ඊයේ (20) දිළිඳුකම පිටුදැකීමේ ‘ග්‍රාමශක්‌ති’ ජනතා ව්‍යාපාරය ජනගත කිරීමේ ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

ජනපති දැක්ම අනුව 2030 වසර වන විට රටේ පවතින දිළිඳුකම පිටු දකිමින් අප රට කලාපයේ සුවිශේෂී ස්ථානයක රඳවමින් සවිමත් ආර්ථිකයක් ගෞරවාන්විත සමාජයක් සහ යහපත් දේශයක් කරා රැගෙන යන ග්‍රාමීය ප්‍රජාව මූලික කරගත් දැවැන්ත සංවර්ධන වැඩසහටන ග්‍රාමශක්ති වේ.

පළමු අදියරේ දී ශ්‍රී ලංකාව පුරා තෝරාගත් ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාස 5000ක් ආවරණය කරමින් දිරිමත්ව, සවිමත්ව, විධිමත්ව සංවිධානය වී දිළිඳුකමින් මිදී දියුණුවේ මාවතට පිළිපන් ජනතා සමාගම් බිහිකර ඒවාට වෙළෙඳ පොළ ජය ගැනීමේ අවස්ථාව සලසා දීම ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා සිදුකෙරේ.

වැඩි කාන්තා සහ තරුණ දායකත්වයක් ලබා ගනිමින් වෙළෙඳ පොළ අවස්ථා පිළිබඳ සංවේදීව ගමේ සංවර්ධන සැලැස්ම සම්පාදනය කිරීමේ ශක්තිය ලබාදෙමින් එම සැලසුම් ප්‍රාදේශීය සහ පළාත් සංවර්ධන සැලසුම් සමඟ ඒකබද්ධ කිරීම මෙහි අරමුණයි.

ශක්තිමත් ජනතා සමාගමක් ග්‍රාමීය මට්ටමින් බිහිවීම, සියලු ජනතාවගේ සහභාගීත්වයෙන් ගොඩනැ‍ඟෙන ග්‍රාමීය සංවර්ධන සැලැස්මක් නිර්මාණය වීම, ඒක පුද්ගල ආයෝජනය රු. 8000 ලෙස ගණනය කළ රාජ්‍ය ආයෝජනයක් ගමට ලැබීම, යැපුම් මානසිකත්වයකින් මිදී ව්‍යවසායකත්වය වෙත එළැඹීමට විශේෂ පුහුණුව සහ ග්‍රාමීය ප්‍රාග්ධනය ශක්තිමත් කෙරෙන ඉතුරුම් ක්‍රමයක් මෙහි ප්‍රමුඛ ප්‍රතිලාභ වේ.

දිරිමත්ව, සවිමත්ව, විධිමත්ව සංවිධානය වී දිළිඳුකමින් මිදී දියු‍ණුවේ මාවතට පිළිපන් ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කිරීම සඳහා ගම් පහළොස්දහසක් සුඛිත කිරීම ග්‍රාමශක්ති දැක්මයි.

ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධන පදනම මගින් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවා තිබෙන කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ව්‍යවසායකත්ව තරුණ තරුණියන්ට ණය පහසුකම් ලබාදීම ද සිදු කෙරිණි.

2018 වර්ෂය ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය බවට නම් කරමින් මෙරට කෘෂිකර්මාන්තය සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරනු ලබන කැපවීම ඇගයීමට ලක්කරමින් ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධන පදනම විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමීම ද මෙහි දී සිදු කෙරිණි.

දිස්ත්‍රික්ක 25කට අදාළ මුදල් ප්‍රතිපාදන ලබාදීම ද මෙහි දී ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි. ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය ග්‍රාමශක්ති වැඩසටහනේ තාක්ෂණ සැපයුම්කරු ලෙස අත්වැල් බැඳ ගැනීම වෙනුවෙන් අදාළ ලියවිල්ල ජනාධිපතිවරයාට බාර දුන් අතර, එයාර්ටෙල් සමාගම විසින් ග්‍රාමීය සිසු දරුවන් තාක්ෂණ විෂය කෙරෙහි උනන්දු කරමින් ශිෂ්‍යත්ව ලබාදීම, සූර්ය ගම්මාන වැඩසටහනට අදාළ ලියැවිල්ල භාරදීම ද මෙහි දී සිදුකෙරිණි. එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය පුළුල් ලෙස ඉදිරියට ගෙන යමින් හෙට දවස හොඳ රටක් ගොඩනැ‍ඟීමට හොඳ ආර්ථිකයක් ගොඩනැ‍ඟීමට අප සියල්ල එක්ව කටයුතු කරමු යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙවැනි ක්ෂේත්‍රයන් චක්‍රලේඛ තුළින් නියෝග තුළින් කරන්නා වූ මඟ පෙන්වීම්වලට ප්‍රධාන වශයෙන් දෙවැනි තැන දෙමින් ප්‍රමුඛත්වය මුල්තැන දිය යුත්තේ හෘද සාක්ෂියට එකඟව රට සහ ජනතාව වෙනුවෙන් අපේ යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශපාලන වශයෙන් එකිනෙකාට ඇඟිල්ල දිගු නොකර, දිළිඳුකම පිටුදැකීම සඳහා පසුගිය දශක කිහිපය පුරා සෑම රජයක්ම ගෙනගිය වැඩසටහන් අත්දැකීම් කර ගනිමින් ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කැපවීම සියලු දෙනාගේ වගකීම බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනතාව දුගී බවින් නිදහස් කර ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය සහ රටේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට කාලීන මෙන්ම යුගයේ අවශ්‍යතාවක් ඉටු කිරීමක් වන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සමඟ රටට ආදරය කරන සියලු පුරවැසියන් අත්වැල් බැඳගනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහි දී විශ්වාසය පළ කළේය. මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ඇමැතිවරුන් ඇතුළු පළාත් මැති ඇමැතිවරුන් ද, ජනාධිපති ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් මේ උත්සවයට එක්ව සිටියහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...