ඊළඟ පරම්පරාවේ ශ්‍රවණ කලාව | දිනමිණ

ඊළඟ පරම්පරාවේ ශ්‍රවණ කලාව

ඉයර්ෆෝන් එකකින් කරන්නේ අපි උපාංගයකට සම්බන්ධ කරලා ශබ්දය අහන එක. ඉයර් ෆෝන් භාවිත කරලා ස්මාට්ෆෝන් ලැප්ටොප්, අයිපොඩ්, ආදී විශාල ප්‍රමාණයක උපාංග හරහා අපිට සංගිතය සහ ශබ්දය කනට ලබා ගන්නට පුළුවනි. ජංගම දුරකතනය වැඩි දියුණු වීම පටන් ගත් කාලයේ පටන්ම නොවෙනස් වූ එකම කොටසක් වන්නේ මෙම ඉයර්ෆෝන් සම්බන්ධ කරන මිලිමීටර 3.5 ජැක් එක. එනම් අපි මුල් කාලයේ බේසික් ෆෝන්වල, කැසට් රේඩියෝ එකක, ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් කම්පියුටරයක, අයිපෑඩ් එකක වුණත් මෙම මිලිමීටර 3.5 ජැක් එක සම්මතයක් බවට පත් වී තිබුණා. ඒ වෙනුවට විකල්ප මෑතක සිට පැමිණෙන්නට පටන් අරන් තිබෙනවා. එයින් ඉදිරියෙන්ම තිබෙන්නේ බ්ලූටුත් හරහා උපාංගවලට සම්බන්ධ කරන්නට හැකියාව තිබෙන ඉයර්බඩ්ස්.

කනට රුවන කුඩා ඇබයක් පමණක් ලෙසින් පවතින ඉයර්බඩ්ස් විවිධ ආකාරයේ හැඩතලවලින් පැමිණ තිබෙනවා. මෙම ඉයර්බඩ්ස් කන ඇතුළටම යොමු කළ හැකි නිසා සංගීතයේ බේස් නාදය මැනවින් කනට සපයන්නට සමත්. ඒ වගේම වැසි බර අවස්ථාවක වුවත් ඉයර්බඩ්ස් ගහගෙන සංගීතයක් රස විඳින්න හැකියාව ලැබෙන විදියට බාහිර ජලය, සහ ගැස්සීම්වලට ඔරොත්තු දෙන ආකාරයේ ඉයර්බඩ්ස් සෝනි සමාගම නිෂ්පාදනය කොට තිබෙනවා.

සම්බන්ධ වන ආකාරය

ඉයර්බඩ්ස් කෙලින්ම බ්ලූටූත් හරහා ස්මාට්ෆෝනයට සම්බන්ධ කළ හැකියි. ඇතැම් මාදිලි යම් යම් වැඩි දියුණු කිරීම් ඔස්සේ ස්මාට්ෆෝනයට සම්බන්ධ කරගැනීමකින් තොරවම ගීත අහන්න පහසුව සලසා තිබෙන්නේ ඒ මත වූ කුඩා ප්ලේයර් එකක් මඟින්. බ්ලූටුත් කියන්නේ සන්නිවේදන මාධ්‍යයක්. ඒ හරහා පෙර කල වයර් එකක් මාර්ගයෙන් ඉයර්ෆෝන් සම්බන්ධ කරගන්නා ලද ඕනෑම උපකරණයක් බ්ලූටුත් පහසුව එම උපකරණයට තිබේ නම් ඉයර්බඩ්ස් හරහාද සම්බන්ධ කරගත හැකියි. අද කාලයේ නම් කුඩා අත් ඔරලෝසු පවා ස්මාට් වී ඇති නිසා ඉයර්බඩ්ස් එකක් තිබේනම් යූටියුබ් හෝ අයි ටියුන් වැනි ඔන්ලයින් පද්ධතියකින් ගීතයක් සවන් දෙන්නට හැකියාව ලැබෙනවා.

මූලික ගැටලුව

ඉයර්බඩ්ස් සම්බන්ධ වන්නේ වයර් රහිත ක්‍රමයක සංඥා මඟින්. එවිට ඉයර්බඩ්ස් දෙකට කොහෙන්ද බලය? සාම්ප්‍රදායික මිලිමීටර 3.5 ජැක් එක හරහා පැරණි ඉයර්ෆෝන් සම්බන්ධ වන විට එයට බලය සැපයෙන්නේ එම ජැක් එක හරහාමයි. එහෙත් කන මත පමණක් පළඳින උපාංගයක් වූ විට මෙම බ්ලූටුත් තාක්ෂණයෙන් ෆෝන් එකට සම්බන්ධ වීම සදහාත් එහි ඇති ස්පීකර් ක්‍රියාත්මක වීම සදහාත් අවශ්‍ය බලය ලබාගන්නට වෙනම බැටරි අවශ්‍ය වෙනවා. මෙම බ්ලූටූත් ඉයර්බඩ්ස් සෑම එකක්ම පාහේ යම් කාලයක් ක්‍රියාත්මක කළ පසු ගලවා ඒවායේ බැටරි ආරෝපනය කරගැනීම කළ යුතු වෙනවා. මෙය තරමක හිසරදයක්. එනම් දුර ගමනක් යන්නට බ්ලූටූත් ඉයර්බඩ්ස් දෙක දමා ගත් විට එය ආරෝපනය කරගන්නට වෙනමම ක්‍රමයක් සොයාගන්නට වෙනවා. දැනට ඒ සදහා ඇතැම් සමාගම් විසින් කුඩා බැටරි බෑංක්ස්, කන්නාඩි කොපු වැනි රුවාගෙන චාජ් කිරීමට හැකි කවර ආදිය නිපදවා තිබෙනවා.

විවිධ වැඩ

සැම්සුන් සමාගම නිපදවා ඇති ඉයර්බඩ්ස් මඟින් ශරීරයේ ෆිට්නස් දත්ත. එනම් හෘද ස්පන්ධනය, ඇවිදින පියවර ගනන, අතපය වෙහෙසවා කරන වැඩ ආදිය ගැන දත්ත එක්රැස් කිරීමත් සිදු වෙනවා. ඒ ඉයර්බඩ්ස් පැළදීමේන් පසු තවදුරටත් තවත් උපාංග සම්බන්ධ කොටගෙන සිරුරේ දත්ත මැනගැනීමට අවශ්‍ය වන්නේ නෑ.

ගූගල් සමාගම අලුතින්ම නිපදවූ ඉයර්බඩ්ස් මඟින් ඔබ සවන්දෙන කතාවක් එවෙලේම වෙනත් බසකට පරිවර්තනය කර දීමේ හැකියාව සහිත එකක්. ඒ හරහා වෙනත් භාෂාවලින් තිබෙන දේශන ආදිය ග්‍රහණය කරගන්නට පහසුකම සාමාන්‍ය ජනතාවටද ලැබෙනවා. අප රටේද පාර්ලිමේන්තුව වැනි ස්ථානවල එවැනි කතා පරිවර්තනය කොට ලබා දීමේ පහසුව තිබෙනවා. එහෙත් මෙතැනදී ගූගල් ට්‍රාන්ස්ලේටර් හි හැකියාව වැඩි දියුණු කිරීමෙන් කෙලින්ම ශබ්දය එවෙලේම පරිවර්තනය කොට කනට ලබා දීමට තරම් තාක්ෂණය ඉදිරියට ඇවිත් තිබෙනවා. තවමත් වෙළෙඳපොළට නිකුත් නොවූ මෙම ගූගල් ඉයර්බඩ්ස් තව නොබෝ කලකින්ම එක්සත් රාජධානියේ වෙෙළද පොළට නිකුත් කරන්නට ගූගල් සමාගම කටයුතු කරනවා.

සංගීතය ශ්‍රවණය කිරීමේදී එහි ඇති සියුම් නාද රටාද හසුවන පරිදි නිර්මාණය කරන ලද ඉයර්බඩ්ස් තිබෙනවා. ඒවායින් වඩාත් පැහැදිලි සංගීත අත්දැකීමක් ලබාගන්නට පුළුවන්කම ලැබී තිබෙනවා.

කනට ඇති බලපෑම

කන ඇතුළටම රුවන මෙම උපකරණවලින් කනට ඇති වන බලපෑම නම් තරමක් වැඩියි. මේවායින් කනට ඇති කරන අහිතකර බලපෑම් තවමත් අධ්‍යයන මට්ටමේ තිබෙනවා. තාක්ෂණය වුවද අවැසි තැන්වල භාවිත කරනවා විනා සෑමවිටම එහි ම ගැලී සිටීම සුදුසු නැහැ. අයිෆෝන් එකෙන් ඉයර්ෆෝන් ජැක් එක ඉවත් වෙද්දි තවත් බොහෝ ෆෝන්වල ඉයර්ෆෝන් ජැක් එක අතුරුදහන් වුණා. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වැඩි දියුණු වේවි. එවිට අපිට මිලදී ගන්නට පුළුවන් මිල මට්ටමකින් ඉයර්පොඩ්ස් වෙළෙඳපොළට ඒවි.

තිබෙනවාද නැද්ද කියා පේන්නේ නැති කනට රුවාගෙන යන ඉයර්බඩ්ස්ද අනාගත ලෝකයේ බිහිවෙන්නට වුවත් ඉඩ තිබෙනවා. වයර් එකක් නැතිව කනට ශබ්දය රැගෙන එන අරුම පුදුම ඉයර්බඩ්ස් ඉදිරි කාලයේදී අපිට නිතර දැකිය හැකි උපාංගයක් බවට පත් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා.

අමිල චතුරංග

නව අදහස දක්වන්න