සැබෑ ජීවිතයේ සුපිරි වීරයෝ | දිනමිණ

සැබෑ ජීවිතයේ සුපිරි වීරයෝ

චිත්‍ර කතාවල එන සුපිරි වීරයන්ගේ වීරකම් අතිශයෝක්තියකි. ඔවුහු සිය ලෝකවලදී තම අනන්‍යතාවය සඟවා ගනිති. නමුත් ඔවුන්ට අනන්‍ය වූ ඇඳුම් කට්ටලයකි. මේ අතිශයෝක්තියටත් අනන්‍යතාවයටත් ලොව පුරා මිනිස්සු පෙම් බඳිති. ඒ අතරතුර තමන් වීරයන් බව අමතක කරති.

ජීවිතය සුන්දර යැයි කියන ආලවට්ටම් කතා අතරේ අප අවබෝධ කරගත යුතු දෙයක් නම් එය ආරම්භයේදී ඒ තරම් සුන්දර නොවන බව ය. ජීවිතය යනු විශාල පතොක් ගසක් මත බල්ටි ගසන තරමේ කට්ටකි. පිනකින් මනුසත් බව අප ලැබගන්නේ මේ කටු මතින් නැගිට මිනිසාට වීරයෙකු වීමේ අවස්ථාව ලබා දීමට ය.

චිත්‍ර කතාවල නපුරන්ට එදිරිව සටන් කරන වීරයෝ ය. සැබෑ ජීවිතයේ උදෑසන අවදි වූ තැන් පටන් පෙනෙන සහ නොපෙනෙන බලවේග සමඟ ගැටෙන වීරයෝ ය. ලෝකය යහපත් තැනක් කිරීමට ලෝගුවක් පැළඳ අහසින් පියාඹන චරිතයකි. ඊට සමාන්තර ලොවක වෙහෙසකර දිනයක් අවසානයේ නිවෙස් කරා යාමට කෝච්චියක එල්ලෙන, මිනිසුන් අතර ම තෙරපෙන, ජීවන රටාව සමඟ සටන් කරන චරිත ය.

නපුරන්ට එරෙහිව නැගී සිටින මනඃකල්පිත චරිතයකට ප්‍රමාණය ඉක්මවන ප්‍රසාදයකි. තම සඟයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ අවදි කරන්නෝ කසඩයෝ වෙති. ජීවත් වීමේ අයිතියේ පටන් ආදරය කිරීමට, අධ්‍යාපනය ලැබීමට, කැමති ආගමක් ඇදහීමට යනාදී අයිතිවාසිකම්වලට සතර දිගින් බාධක ය. මෙවැනි ගූඪ ලෝකයක ජීවත්වීම ම සුරුකමකි. නමුත් ප්‍රශ්න උදෙසා හඬ නඟන ප්‍රජාව ඒ අතරින් කැපී පෙනෙන්නෝ වෙති. නමුත් විෂම චක්‍රයකට අනුගත වූ වීරයන් නොවන සමහරුන් පරිභව කිරීම පමණක් කරති.

චිත්‍ර කතාවල මෙන්ම සැබෑ ලෝකයේ ද සිය අනන්‍යතාවය සඟවා ගත් අය බොහෝ ය. එසේ ජීවත්වීම ලෝකයේ පවතින සියලු හොඳ දේ ඔවුනට හිමිවිය යුතු තරමේ වීරකමකි. රහසිගත ජීවිතයක් ගෙවීම බියගුලුකමක් වන්නේ සියලු වරදාන ලත් ජීවිතය සතුටින් ගෙන යා හැකි අයට පමණි. විවේචනයට ලක් වීමේ බියට වඩා ඉන් සිදුවන සිත් වේදනාවලට එදිරිව සිටින්නෝ වීරයෝ වෙති. ඔවුන්ගේ වීරත්වය නම් සිය අනන්‍යතාව වෙනස් නොකර සිටීම ය.

පවතින තරඟකාරී අධ්‍යාපන රටාව වීරයෙකු නිර්මාණය නොකරන මුත් ඒ තුළ පැවැත්ම නිසා වීරයෝ බිහි වෙති. අවුරුදු දහතුනක ගිරා පෝතක ජීවිතය තුළත් එය අවසනත් අලුත් දේවල් සිතීමට තරම් මනසක් ඉතුරු කර ගැනීම වීරත්වයකි.

වීරයෙකු වීමට තරම් ආත්ම ශක්තියක් නැති තැන සිය දිවි තොර කර ගැනීමට සමහරු පෙළඹෙති. සැබෑ ජීවන ප්‍රශ්න ඇති අය කෙසේ හෝ ජීවත් වීමට සටන් කරති. සමහර ප්‍රශ්නවලට පිළිතුරු ඇත්තේ ම නැත. නමුත් පසුගිය කාලයේ ලංකාවේ දිවි නසා ගැනීමේ කතාන්දර දෙස බැලීමේදී ඒ සියල්ල ප්‍රශ්නවලින් පැන දිවීමක් ලෙස දැකිය හැකි ය. පිළිතුරු නැති ප්‍රශ්නවලටද එක ම විසඳුම මරණය යැයි සිතන මානසිකත්වයක් තුළ වීරයෝ බිහි නොවෙති.

වීරයන් බිහි වීමට නම් එයට එදිරි පාර්ශ්වයක් තිබිය යුතු ය. චිත්‍ර කතාවල එන රෞද්‍ර පෙනුමැති, බඩවැල් ඉරා දමන, කලහකාරී නපුරන්ට වඩා අතිශය තැන්පත් නපුරු බලවේග වීරයන් වටා සැරිසරයි. ඒවාට හසු නොවී ජීවත් වීමට නම් සුවිශේෂ වීරකමක් අත්‍යවශ්‍යය ය.

චිත්‍රපට ජවනිකාවක් අපට බලා රසවිඳිය හැකිය. නමුත් ජීවිතයේ අපට මුහුණ දීමට සිදුවන නොයෙක් රසවිඳිය හැකි මට්ටමට පත් කරගැනීම අප සතු හැකියාවකි. නටුවක ඇති කටු තරණය කළහොත් රෝස පෙත්තක සුමුදු පහස ලැබිය හැකිය. මිනිසත්බව ලැබ එහි ඇති වටිනාකම් රැක ගැනීමට සටන් කළහොත් වීරයෙකු විය හැකිය.

තිසරණී විජයබණ්ඩාර
@Thizuu

නව අදහස දක්වන්න