ඝාතකයෙක් නැති මිනීමැරුමක්! | දිනමිණ

ඝාතකයෙක් නැති මිනීමැරුමක්!

ආරුෂිගේ මවුපියන්

නොවිසඳුණු අබිරහස් මිනීමැරුම් ගොන්නට දැන් ආරුෂි තල්වාර් මිනීමැරුම් නඩුවද එකතුව තිබේ. දශකයකට ආසන්න කාලයක් ඉන්දීය මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළත් වරින්වර උණුසුම් සිරස්තල මවමින් විභාගයට ගැනුණු තල්වාර් මිනීමැරුම් නඩුව පසුගියදා නිමාවට පත් විය. ඒ තවත් එක් වැළලී ගිය අබිරහසක් ලෝක මිනීමැරුම් ඉතිහාසයට එක් කරමිනුයි. සිය දහහතර වියැති යොවුන් දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි තල්වාර් යුවළට අලහාබාද් මහාධිකරණය විසින් නිදහස ප්‍රධානය කළේ අන් විකල්පයක් නුවූ බැවිනි. 2015 වසරේදී තල්වාර් දෙපළට ලබාදුන් ජිවිතාන්තය දක්වා වූ සිර දඩුවමින් මහාධිකරණය ඔවුන් මෙලෙස මුදා හැරියේ ‘සැකයේ වාසිය‘ ඔවුන්ට ලබා දෙමිනුයි. ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශයේ ( Central Bureau Investigations ) හිටපු අධ්‍යක්ෂ ‘ඒ. පී. සින්ග්ට‘ අනුව ඒ තල්වාර් යුවළ නිදොස් බව ඔප්පු වූ නිසා නොවේ. ආරුෂිගේ පියා වන ‘රාජේෂ්‘ විසින් ඇය ඝාතනය කළ බවට සැකයක් නැති නමුත්, ඒ බව ඔප්පු කිරීමට සාක්ෂි ප්‍රමාණවත් නොවූ නිසාය. ආරුෂි පමණක් නොව ඇයත් සමඟ මිය ගිය තල්වාර් පවුලේ මෙහෙකරුවා වූ ‘හෙම්රාජ්ගේ‘ මරණයද අබිරහසකි. තල්වාර්-හෙම්රාජ් ද්විත්ව ඝාතනය තරම් මෑත ඉතිහාසයේදී ඉන්දියාවම කැළඹූ අන් මිනීමැරුමක් සිහිපත් කිරීම උගහට ය.

වෘත්තියෙන් දන්ත වෛද්‍යවරුන් වූ රාජේෂ් හා නුපුර් තල්වාර් යුවළගේ එකම දරුවා වූ ආරුෂි, නොයිඩාහි පිහිටි තල්වාර් පවුලේ නිවසේ වූ ඇගේ කාමරයේ මරා දමා සිටියදී හමුවූයේ 2008 මැයි 14දායි. ඇගේ ගෙල සිඳ දමා තිබු අතර, හිසෙහි පිහි ඇනුම් තුවාල කිහිපයක්ද විය. මරණය පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබුණේද තල්වාර් යුවළ විසිනුයි. ආරුෂි ඝාතනයත් සමඟ තල්වාර් නිවසේ මෙහෙකරු වූ ‘හෙම්රාජ්ද‘ අතුරුදන්ව සිටීම නිසා ඝාතනයේ සැකය කෙළින්ම එල්ල වූයේ ඔහුටයි. නමුත් ආරුෂිගේ ඝාතනයෙන් දිනකට පසු හෙම්රාජ්ගේ මළ සිරුර තල්වාර් නිවසේ වහලය මත තිබී සොයා ගැනුණේ තත්ත්වය වඩාත් සංකීර්ණ කරවමිනුයි. ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ නේපාල ජාතික ‘හෙම්රාජ්‘ එලෙස මියගොස් සිටියදී හමුවීම නිසා උත්තර ප්‍රදේශ් පොලීසිය මැදිවූයේ දැඩි අසීරුතාවකටයි. ඝාතනයේ සැකය ඝාතනය සිදු වූ දින රාත්‍රියේ සිටි පුද්ගලයන් වූ තල්වාර් යුවළ වෙත යොමුවූයේ ඉන්පසුවයි. නමුත් ආරුෂි ඝාතනය විමර්ශනය මෙතරම් කතාබහට ලක්වූ සිදුවීමක් වුයේ සෑම පියවරක් පාසාම එය ඉන්දීය පොලිස් ඉතිහාසය මෙන්ම මධ්‍යම විමර්ශන කාර්යාංශයද අපවාදයට ලක්කරමින් සිදුවූවක් නිසායි.

විමර්ශනය භාරව සිටි උත්තර් ප්‍රදේශ් පොලීසිය අතින් මුල සිටම සිදුවූ නොසැලකිලිමත් අත්වැරදීම් විමර්ශනයේ අසාර්ථකත්වයට මුල සිටම හේතු විය. අපරාධ ස්ථානය මුද්‍රා තැබීමට ක්‍රියා නොකිරීම නිසා ඝාතනයට සම්බන්ධ වටිනා සාක්ෂි බොහෝමයක් පොලීසියට අහිමි විය. එපමණක්ද නොව හෙම්රාජ්ගේ සිරුර හමුවූ විට එම ස්ථානයේ සිත්සේ ඕනෑතරම් කරක් ගැසීමට මාධ්‍යවේදින්ට අවසර ලැබී තිබිණි. පොලීසියේ මේ නොහැකියාව හා නොසැලකිලිමත්කම එකල මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්විය. කොටින්ම මාධ්‍ය විසින් තල්වාර් ඝාතනය හදුන්වා තිබුණේ, ඝාතන විමර්ශනයක් සාර්ථකව ඉදිරියට ගෙන යාමට හේතුවන වැදගත් සාක්ෂි අමු අමුවේම විනාශ කෙරුණු අවස්ථාවකට හොඳම නිදර්ශනයක් ලෙසයි. ඒ මදිවාට මාධ්‍ය හමුවකදී එකල ප්‍රධාන පොලිස් පරීක්ෂක විසින් ආරූෂි අත්වැරදීමකින් ‘ෂුති‘ ලෙස හඳුන්වා දී තිබිණි. පොලීසියේ අකාර්යක්ෂමතාව හා නොසැලකිලිමත්කම උලුප්පා දැක්විමට මාධ්‍ය එයද කදිම හේතුවක් කර ගත්තේය. ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය තල්වාර් ඝාතන විමර්ශනය සියතට ගත්තේ ඉන් පසුවයි.

ඒ වන විට සිය දියණිය ඝාතනයට සැක පිට පොලීසිය විසින් රාජේෂ් තල්වාර් අත්අඩංගුවට ගෙන තිබිණි. සිය දියණිය මෙහෙකරු සමඟ අයථා හැසිරීමක යෙදෙනු දැක හටගත් කෝපය පාලනය කරගත නොහැකිව ඇය ඝාතනය කළ බවට රාජේෂ්ට චෝදනා එල්ලව තිබුණි. නමුත් එම චෝදනා කණපිට හරවමින් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ පළමු විමර්ශන කණ්ඩායම ඔහු චෝදනාවන්ගෙන් නිදොස් කළෝය. ඒ ඝාතනයේ සැකය රාජේෂ්ගේ සහායකයකු හා තවත් සේවකයින් දෙදෙනකු වෙත එල්ල කිරීමෙන් අනතුරුවයි. මොවුන් තිදෙනාගෙන් බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබා ගැනීමට පවා බියුරෝව උත්සාහ කළ බවට එකල චෝදනා එල්ලව තිබිණි. නමුත් ඒ කවර ක්‍රමයකින් හෝ මෙම සේවකයින් තිදෙනාට එරෙහි චෝදනා ඔප්පු කළ හැකි වූයේ නැත. නව අධ්‍යක්ෂවරයකු යටතේ තල්වාර් ඝාතන විමර්ශනය, මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් නව කණ්ඩායමකට භාර දෙන ලදී. ඒ 2008 ජුලි මාසයේදීයි. රාජේෂ් තල්වාර් යළි අත්අඩංගුවට ගැනුණි. චෝදනා ලැබූ සේවකයින් නිදහස් කෙරුණු අතර තල්වාර් යුවළට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කෙරිණි. නව විමර්ශන කණ්ඩායමේ තර්කය වූයේ ඝාතනය සිදුවූ රාත්‍රියේදී කිසිඳු පිටස්තරයකු නොයිඩාහි පිහිටි නිවසට ඇතුලු නොවූ බව වුවත්, ඉහළ නිලධාරින් එම සොයාගැනීම්වලින් සෑහීමට පත්වූයේ නැත. එපමණක්ද නොව තල්වාර් යුවළ මිනීමැරුම කර, සාක්ෂි වසන් කිරීමට අපරාධය සිදුවූ ස්ථානය අමුතුවෙන් පිරිසිදුකොට යළි සකස් කොට ඇති බවට තර්කයක් ඉදිරිපත් වූයේද මෙම දෙවන විමර්ශනයේදියි. රාජේෂ් තල්වාර් සතුවූ ගොල්ෆ් පිති කට්ටලයකින් එක් පිත්තක් පහර දීම සඳහා යොදාගත් බවටද තර්කයක් ඉදිරිපත් විය. නමුත් මේ කිසිඳු තර්කයක් ඔප්පු කර ගැනීමට හැකි වූයේ නැත. තල්වාර් ද්විත්ව ඝාතනයේ සුවිශේෂත්වය වන්නේ එයයි. පොලීසියේත්, මධ්‍යම විමර්ශන කාර්යාංශයේ නොසැලකිලිමත් අත්වැරදීම් හා අසාර්ථකවීම් මැද සිදුකෙරුණු විමර්ශනවලදී ඝාතකයාට පහසුවෙන් ගැලවී යා හැකි වාසි සහගත ඉඩකඩ රාශියක්ම තිබිණි. ඉන් එකක් වූයේ ආරුෂි ඝාතනය සිදුවූ ස්ථානයෙන් හෙම්රාජ්ගේ ලේ බිඳකුදු සොයා ගැනීමට නොලැබීමයි. එය තල්වාර් යුවළගේ නීතිඥයින් විත්තිකාර පාර්ශ්වයේ වාසිය වෙනුවෙන් යොදාගත් ප්‍රධානම තර්කයක් විය. දියණිය ඝාතනය කොට එම ස්ථාන පිරිසිදු කොට යළි සකස් කළා නම් ආරුෂිගේ රුධිරය පමණක් ඉතිරිකොට හෙම්රාජ්ගේ ලේ සලකුණු පමණක් ඉවත් කළේ කෙසේද යන්නට ඇත්තේ ගැටලුවකි. තවත් අබිරහසක් වන්නේ මිනීමැරුම සිදුකළ ආයුධයයි. එයද කිසිදිනක සොයාගැනීමට ලැබුණේ නැත.

පශ්චාත් මරණ පරීක්ෂණය අනුව ආරුෂි මියගොස් තිබුණේ මැදියම් රැයත් අළුයම එකත් අතරය. එදින රාත්‍රියේ කිසිවකුත් පිටතින් නිවසට පැමිණ තිබුණේද නැත. කිසිවක් සොරකම් කොට තිබුණේද නැත. ඝාතනය සිදුවීමට පැය දෙකකට පෙර ගනු ලැබු ඡායාරූපවල තල්වාර් පවුලේ සතුට දෝරේ ගලා යමින් තිබිණි. මාපිය දෙපළක් තම එකම දරුවා හා සේවකයා මරා දැමීමට පෙළඹිය හැකි ප්‍රබල හේතුවක් පෙනෙන තෙක් මානයේවත් වූයේ නැත. සිද්ධිය ඇසින් දුටුවකු නොමැති වීම ආරුෂි තල්වාර් ඝාතන නඩුවේ ලොකුම අඩුපාඩුවක් විය. මේ නිසා ඝාතනයේ එකම සැකකරුවන් තල්වාර් යුවළ බවට සැකයක් නැති වුවත්, විමර්ශනය නිමා කිරීම හැර අන් විකල්පයක් මධ්‍යම විමර්ශන කාර්යාංශයට තිබුණේ නැත. වරින්වර සිරගත වෙමින්ද යළි නිදහස් වෙමින්ද සිටි තල්වාර් යුවළට 2013 වසරේදි ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව තිබුණේ කාර්යාංශය ලබා දුන් අවසන් අසම්පුර්ණ වාර්තාව පදනම් කරගෙනයි. තමන් තම දියණිය ඝාතනය කළේ නැත යන මතයේම අවසානය දක්වා එල්බ සිටි තල්වාර් යුවළට අවසානයේදී සැකයේ වාසිය හිමිවිය.

කාරණා මෙසේ නම් මේ යෞවනියගේ මරණයට වගකිව යුත්තේ කවුද? බිහිසුණු චිත්‍රපටයක් බඳු නාටකීය සිදුවීම් රැගත් ආරුෂි ඝාතනය අළලා නිර්මාණය වූ බොලිවුඩ් චිත්‍රපටය හා ලියැවුණු පොත් වාර්තා අතරට පවා එක් විය. ඒ එය එතරම්ම නාටකීය ස්වරූපයක් ගත් යථාර්ථයෙන් බැහැරවූ සිද්ධි දාමයකින් පරිපූර්ණ වූවක් නිසාය. ඝාතනය සිදුවූ අයුරු පැහැදිළි කිරීමට වගකිවයුත්තන්ට නොහැකිවූ කල විවධ කුමන්ත්‍රණවාදී උපකල්පන ඉදිරිපත් කිරීමට කුතුහලයෙන් විලිබරවූ පිරිස් ඉදිරිපත් වූහ. නමුත් තවමත් ආරුෂිට සාධාරණය ඉෂ්ට වී නැත. ඉදිරියේදී ඉෂ්ට වීමක් ගැන බලාපොරොත්තු තැබීමටද නොහැකිය. ඇගේ ඝාතකයින් තවමත් නිදැල්ලේය.

රුක්ලන්ති පෙරේරා 

නව අදහස දක්වන්න