කුරුලු කූඩු නිවාසේ | දිනමිණ

කුරුලු කූඩු නිවාසේ

ශුෂ්ක(වියළි)ප්‍රදේශයක පවතින පරිසරයේ ස්වභාවිකත්වය ඒ ආකාරයෙන්ම සුරකිමින් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් ඉදි කරන ලද ගෘහ නිර්මාණ සැළැස්මක් කෙන්යා­ෙවන් ලොවට දායාද වී ඇත. ගෝලීයකරණයත් සමඟ දිනෙන් දින දියුණුවන සංචාරක ක්ෂේත්‍රය තුළ එවැනි නිර්මාණාත්මක ඉදිකිරීම්වලට ප්‍රමුඛස්ථානය හිමි වන අතර කෙන්යාවේ, ලයිකිපියාහි කුරුලුකූඩුවක හැඩයෙන් යුක්තව නිර්මාණය කරන ලද “Nay Palad Bird Nest”නමැති නිවාඩු නිකේතනය සංචාරක ආකර්ෂණය උපරිමයෙන් දිනා ගන්නා නිවහනක් වනු නිසැක බව එහි ඡායා රූ නැරඹීමේ දී පසක් වනු ඇත.

පරිසර හිතකාමී සංකල්පයට අනුගතව ඉදි කර ඇති මේ කුරුලුකූඩුවක හැඩැති සංචාරක නිකේතනයඑවැනි තේමාවකින් නිර්මාණය වුණු ප්‍රථම තරු පහේ නිකේතනය ද බවට පත්වී හමාර ය. දකුණු අප්‍රිකාවේ සිගීරා නිවාඩු නිකේතන ජාලයේ නවතම නිර්මාණය වන මෙය වියලි වටාපිටාව, ජලාශ්‍රිත පරිසරය සහ වන සත්ත්වයින් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානය මනාව සම්බන්ධ කරමින් අපූරු ගෘහ නිර්මාණ සැලැසුමකට අනුව ඉදි කර ඇත.

‍මෙහි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් පනස් දහසකි. ගසක තිබෙන කුරුලු කූඩුවක් ලෙසින් මේ නිවාඩු නිකේතනය උඩුගුවනට මනාව දර්ශනය වේ. ලෝකයේ ප්‍රකට ගෟහ නිර්මාණ ශිල්පියකු වන ඩැනියෙල් පෝසෙට් මෙහි සැළැස්ම නිර්මාණය කර ඇත්තේ පුද්ගලයකුට, යුවළකට හෝ උපරිම හතර දෙනකු සිටින පවුලකට ජීවත්වීමට හැකි අන්දමට ය. පුද්ගලයකුට නිදහස, ස්වභාවික පරිසරයත් සමඟ විඳ ගැනීමට හැකි පරිද්දෙන් නිදන කාමර ද්විත්වය නිම කෙරී ඇති අතර එමෙන් ම නාන කාමර සඳහා සෝලා තාක්ෂණය යොදා ගෙන ඇත. වියළි පරිසරයේ වැවෙන පඳුරු සහ ගස්වල දැව සහ අමුද්‍රව්‍ය මෙම නිවාඩු නිකේතනය නිර්මාණය කිරීම සඳහා භාවිතා කර ඇත. තව ද මෙම නිවාඩු නිකේතනයෙහි විශේෂත්වය වන්නේ මෙය නිර්මාණය කිරීම සඳහා කෙන්යාවෙහි වාසය කරන වඩු කාර්මිකයින් සහ අනෙකුත් ශිල්පීන් යොදා ගැනීම ය. මෙහි එක් රැයක් ගත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් එක් දහස් එකසිය පනහක් අය කරන අතර ම එක් පුද්ගලයකුට අවම වශයෙන් වාසය කළ හැකි වන්නේ රාත්‍රී පහක් පමණි. ඔස්කාර් සම්මාන දිනා ගත් ලෝකයේ ජනප්‍රිය චිත්‍රපටවල පසුබිම සඳහා ද මෙම නිවාඩු නිකේතනය ආශ්‍රිත පරිසරය යොදා ගෙන ඇත. විශේෂයෙන්ම සවස් යාමයෙහි හිරු බැස යන ආකාරයෙහි මනස්කාන්ත බව නැරඹීම සඳහා සංචාරකයින් මෙහි නවතැන් ගැනීමට පුරුදුව සිටින බව කෙන්යා මාධ්‍ය වාර්තා කරනු ලබයි.

අලියා,ෂීබ්‍රා,සිංහයා,දිවියා,චීටා,ජිරාෆ් යනා දී සත්ත්වයින්ගේ ක්‍රියාකාරකම් නැරඹීමටත්, ස්වභාව සෞන්දර්යයේ අසිරිය විඳගැනීමටත් එමඟින් විවිධ නිර්මණ මෙන් ම ගවේෂණ කිරීමටත් ඇල්මක් දක්වන පුද්ගලයින්ගේ සිත්ගත් ස්ථානයක් බවට පත්ව ඇත්තේ ද මෙම නිකේතනයයි. කෙන්යා මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙහි ඉහළ කොටසෙහි නවාතැන් ගන්නා පුද්ගලයින්ට අවට පරිසරයේ ජීවත්වන සත්ත්ව කොට්ඨාස සහ ශාක වර්ග තුන්සිය හැටක් පමණ දැක ගැනීමට පුළුවන. මෙම “Nay Palad Bird Nest” නිකේතනය ඉදි කිරීමට නුතන තාක්ෂණය ද ක්‍රමවත් අයුරින් යොදා ගෙන තිබෙන්නේ පරිසරයට කිසිඳු විනාශයක් එක් නොකර ය. ලෝකයේ දිනෙන් දින දියුණු වන සංචාරක කර්මාන්තයේ ඉදිරි ප්‍රගමනය සඳහා මෙවැනි නවීන සංකල්පවලින් යුක්ත නිවාඩු නිකේතන වඩාත් රුකුළක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාලය ඇසුරිනි

මදාරා මුදලිගේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...