ට්‍රම්ප්ට එපා වූ යුනෙස්කෝව | දිනමිණ

ට්‍රම්ප්ට එපා වූ යුනෙස්කෝව

ධම්මික සෙනෙවිරත්න

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය අවධාරණය කරන පරිදි අමෙරිකාවේ තීරණය යුනෙස්කෝව ලද පරාජයක් හෝ හානියක් පමණක් නොවේ, එය අමෙරිකාවට ද හානියකි. එමෙන්ම සමස්ත එක්සත් ජාතීන්ගේ පවුලටම හානියකි. බහු සංස්කෘතිකත්වයට එල්ල වූ හානිදායක බලපෑමක් ලෙසද ඇය එම තීරණය දකී. 

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝවෙන් (UNESCO) ඉවත් වීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. සිය තීරණයට හේතු වශයෙන් අමෙරිකාව ඉදිරිපත් කරන්නේ යුනෙස්කෝව ඊශ්‍රායල් විරෝධී පිළිවෙතක පිහිටා සිටින බවය.

යුනෙස්කෝ අරමුදල සඳහා ගෙවිය යුතු දායක මුදල 2011 වසරේ පටන්ම ගෙවීමට අමෙරිකාව කටයුතු කර නැත. එම හිඟ මුදල ඇ.ඩොලර් මිලියන 550ක් පමණ වෙතැයි සඳහන් වේ. අමෙරිකාවේ තීරණය පිළිබඳ නිල වශයෙන් දැනුම් දෙමින් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා හෙදර් නොවාට් කියා සිටියේ එම මුදල ගෙවීමේ අවශ්‍යතාවක් තිබේද යන්න ප්‍රශ්නයක් බවයි. අමෙරිකාවේ තීරණය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ 2018 වසරේ අවසානයේ පටන්ය. සාමාජිකත්වයෙන් ඉවත් වුවද නිරීක්ෂණ මට්ටමින් දිගටම එහි රැඳී සිටින බව අමෙරිකාව පවසා ඇත.

විසි වසරක වෙන්වීම

ලෝක උරුම ප්‍රකාශයට පත්කිරීම ඇතුළුව අධ්‍යාපනික, සංස්කෘතික, විද්‍යාත්මක, සමාජයීය ආදී ක්ෂේත්‍ර ගණනාවක යුනෙස්කෝව සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරමින් සිටී. ඒ සඳහා අවශ්‍ය අරමුදල් මූලික වශයෙන් සම්පාදනය කරගැනීම සිදුවන්නේ සාමාජික රටවල දායක මුදලෙනි. සාමාජිකත්වය දැරීම වෙනුවෙන් සෑම රටක්ම ගෙවිය යුතු මුදල එක සමාන නොවේ. අමෙරිකාව වැනි බලවත් රටවල් වැඩි දායක මුදලක් ගෙවයි. යම් රටක් සාමාජික මුදල් නොගෙවා සිටිනවිට සංවිධානය තුළ ඔවුන්ට ඡන්ද අයිතිය අහිමි වේ. ඒ අනුව 2013 වසරේ පටන් අමෙරිකාවටද ඡන්ද බලය අහිමි වී තිබිණි.

මින් පෙර වතාවකදී ද අමෙරිකාව මෙලෙසම යුනෙස්කෝවෙන් ඉවත් විය. ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ පාලන සමයේ දී එලෙස ඉන් ඉවත් වූයේ 1984 දී ය. ඊට හේතු වශයෙන් ඉදිරිපත් කෙරුණේ යුනෙස්කෝව සෝවියට් සංගමයට හිතවාදීව කටයුතු කරන බවය. එය සීතල යුද්ධය ක්‍රියාත්මක වෙමින් පැවැති සමයයි. එලෙස විසිවසරකට ආසන්න කාලයක් අමෙරිකාව යුනෙස්කෝවෙන් බැහැරව සිටියේ ය.

අමෙරිකානු අරමුදල

2002 වසරේදී යළිත් ජනාධිපති ජෝර්ජ් ඩබ්.බුෂ්ගේ පාලන සමයේදී අමෙරිකාව යුනෙස්කෝවත් සමඟ එක්විය. ඉන් 10 වසරකට පමණ පසු දායක මුදල් ගෙවීම අත්හිටවූයේ පලස්තීනයට සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමට ගත් තීරණයට විරෝධය පළ කරමිනි. එලෙස සාමාජිකත්වය ලැබීම සාමාජික රටවල් අති බහුතරයකගේ කැමැත්ත පරිදි සිදුවිය. ඊට එරෙහි වූයේ අමෙරිකාව, ඊශ්‍රායලය වැනි රටවල් කිහිපයක් පමණි.

අමෙරිකාව ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකොවා දීර්ඝ ප්‍රකාශයක් නිකුත්කර ඇත. අමෙරිකානු ජනතාව සංවිධානයේ අරමුණු හා පරමාර්ථවල හවුල්කරුවන් වූ බව පෙන්වාදුන් ඇය මේ තීරණය පිළිබඳ කනගාටුවන බව ද දන්වා තිබිණි. වෛරය සහ හිංසනය වෙනුවට අන්තර්ජාතික වශයෙන් සාමය මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද මානව හිමිකම් සහ මානව ගරුත්වය රැකගැනීම වෙනුවෙන් ද සංවිධානය කැපවී සිටින බවද ඉන් ඇය සිහිපත් කර ඇත.

යුනෙස්කෝ අය-වැයෙන් 22%ක්ම පියවනු ලබන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. එය සාමාන්‍යයෙන් වසරකට ඇ.ඩොලර් මිලියන 70ක පමණ මුදලකි. දශකයකට ආසන්න කාලයක් එපමණ විශාල දායක මුදලක් නොගෙවා සිටීම යුනෙස්කෝවේ අරමුණු සහ පරමාර්ථ ක්‍රියාවට නැංවීමේදී සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බව පැහැදිලි කාරණයකි. පසුගිය වසර ගණනාවක කාලසීමාව තුළ යුනෙස්කෝවේ සාධනීය කාර්යයන් අඩපණ වීමට මේ තත්ත්වය හේතුවිය. සිංහල පාඨකයාගේද බුද්ධිමය නිම්වළලු පුළුල් කිරීමට දායක වූ යුනෙස්කෝ ප්‍රකාශනය වන ‘කුරියර් සඟරාව’ ප්‍රකාශයට පත්කිරීම අත්හිටුවීමට පවා මේ තත්ත්වය බලපෑවේය. එය එක් නිදසුනක් පමණි.

අමෙරිකාවේ තීරණය එරට ක්‍රියාත්මක විවිධ සංස්කෘතික සංවිධාන පවා විවේචනයට ලක්කර තිබේ. ලොව පුරා සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීමේදී යුනෙස්කෝව වැදගත් භූමිකාවක් ඉටුකළ බව ඔවුන් පෙන්වා දී ඇත. යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශය මඟින් අමෙරිකාව ගෙවිය යුතු හිඟ දායක මුදල් වහාම ගෙවීමේ හදිසි අවශ්‍යතාවක් පැන නැඟී නොමැති බව කොන්ග්‍රසයට දන්වා තිබූ බවද දැක්වේ. වඩා වැදගත් වන්නේ සංවිධානය සමඟ එක්ව ක්‍රියාකිරීම බව ඇය අවධාරණය කර තිබුණි. හිඟ දායක මුදල ද අමෙරිකාවේ තීරණයට බලයද අප්‍රකාශිත සාධකයක් වන්නට ඉඩ ඇතැයි අනුමාන කළ හැකිය.

ඡන්ද බලයද අහිමි පසුබිමක තමන්ට කළ හැකි බලපෑම සීමාසහිත බව අමෙරිකාව කල්පනා කළා විය හැකිය. අමෙරිකාවේ තීරණය හදිසියේ මේ අවස්ථාවේ ප්‍රකාශයට පත්වීම ගැනද ඉරිනා බොකොවා විමතිය පළකර තිබිණි. මීළඟ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ඡන්ද විමසීම ප්‍රකාශයට පත්ව ඇති බව සැලකිය යුතු කාරණයකි. ඉරිනා බොකොවාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පත්වීම සඳහා කටාර් හා ප්‍රංශ හිටපු සංස්කෘතික අමාත්‍ය දෙපළ අතර කරට කර සටනක් පවතී. කටාරය නියෝජනය කරමින් හමීඩ් බින් අබ්දුල්ලාසිස් අල් ඛවාරි ද ප්‍රංශය නියෝජනය කරමින් ඕඕරි ඇෂුලේ ද තරග බිමේ සිටින අතර ඔවුන් දෙදෙනාම මේ වනවිට ඡන්ද 18 බැගින් ලබා සිටී.

අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශය මඟින් යුනෙස්කෝව අමෙරිකානු ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුගතව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවක් නැති බවද පෙන්වා දී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ඊට අනුබද්ධ ආයතන සිය න්‍යාය පත්‍රයට අනුගතව මෙහෙය වීම සඳහා වෑයම් කරන බව දීර්ඝ කාලයක් තිස්සේ අමෙරිකාවට එල්ලවන චෝදනාවකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංවිධානයට ලක්කිරීම පිළිබඳ වසර ගණනාවක් තිස්සේ පවතින සංවාදයේදී ද එය ප්‍රමුඛ මාතෘකාවකි. මේ චෝදනාවට පැහැදිලි පසුබිමක් ඇති බව යුනෙස්කෝවෙන් ඉවත් වීමට අමෙරිකාව ගත් තීරණයෙන් ගම්‍ය වේ.

අභියෝගාත්මක තත්ත්ව යටතේ වුවද යුනෙස්කෝව වත්මනෙහි ඉටුකරමින් ඇති මෙහෙවර ගැනද අධ්‍යක්ෂ ජනරාල්වරිය සිය ප්‍රකාශය මඟින් සිහිපත්කර ඇත. ඒ අතර, යුනෙස්කෝවේ විශාලතම සාක්ෂරතා වැඩසටහන ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක කරමින් තිබීම, ලිබියාවේ හා ඉරාකයේ ගුරුපුහුණු වැඩසටහන්, නිදහස් කරගත් ප්‍රදේශවල සංස්කෘතික උරුමයන් රැකගැනීම ආදිය තිබේ. යුනෙස්කෝව හැමදාමත් ක්‍රියාකර ඇත්තේ සමූල ඝාතනයට එරෙහිව හා යුදෙව් විරෝධයට එරෙහිව බවද ඇය සිහිපත්කර ඇත. එය ඊශ්‍රායලයට මෙන්ම අමෙරිකාවට ලබාදී ඇති පිළිතුරක් ලෙස සැලකිය හැකිය.

ඉකුත් ජූලි මාසයේදී මැදපෙරදිග බටහිර ඉවුර ප්‍රදේශයේ ඊශ්‍රායලය අත්කරගෙන සිටින භූමියේ ඇති හෙබ්‍රොන් දේවස්ථානය අන්තරායට මුහුණ පා ඇති පලස්තීන ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව මඟින් ප්‍රකාශයට පත් කළේය. මේ තීරණය ඊශ්‍රායලයේ හා එම හිතවාදීන්ගේ දැඩි විවේචනයට හේතුවිණි. ඊට පෙර 2015 වසරේදී ද ජෙරුසෙලම ප්‍රදේශයේ ඇති සංස්කෘතික උරුමයන්ට හානිවන අයුරින් ඊශ්‍රායලය ක්‍රියාකිරීම දෝෂ දර්ශනයට ලක්කරමින් යුනෙස්කෝවේ යෝජනා සම්මත විය. මේ පසුබිම යුනෙස්කෝව තමන්ට එරෙහි පිළිවෙතක පිහිටා සිටින්නේය යන මතය හුවාදැක්වීමට ඊශ්‍රායලය හා එම හිතවාදී රටවල් යොදාගත් බව පැහැදිලි නමුත් එවැනි අදහසකින් එය ක්‍රියාකර නැති බව එහි භාවිතාව විමසන විට තේරුම්කරගත හැකිය.

ජාතන්තර වේදිකා‍වේදී ඊශ්‍රායලය ආරක්ෂා කරන පිළිවෙතක අමෙරිකාව දිගටම පිහිටා සිටියේය. ට්‍රම්ප් පාලනයද එය ඉදිරියට ගෙනයන බව පෙනෙන්නට තිබේ. එසේ වුවද ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල් ජනපදකරණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කළ යෝජනාව අවහිර කිරීමට ඔබාමා පාලනය ක්‍රියාකිරීම දැඩි ලෙස විවේචනය කළේය.

අමෙරිකාව එසේ නොකළ යුතු බව ඔහුගේ ස්ථාවරය විණි. එපමණක් නොව ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර පිහිටා ඇති අමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට රැගෙන එන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය. නමුත් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහුද ඊශ්‍රායල් හිතවාදී බව සිය විදේශ ප්‍රතිපත්තියේ කැපී පෙනෙන අංගයක් ලෙස ප්‍රදර්ශනය කරමින් සිටී. එක්සත් ජාතීන්‍ගේ අමෙරිකානු තානාපති නිකී ආර් හේලි පුන පුනා යුනෙස්කෝව විවේචනය කර ඇත්තේ ඊශ්‍රායල් විරෝධී ස්ථාවරයක පිහිටා කටයුතු කරන බව දක්වමිනි.

ඊශ්‍රාලයක් සහයෝගයට

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකාවේ තීරණය අගය කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඉතිහාසය රැකගැනීම වෙනුවට යුනෙස්කෝව හාස්‍යජනක රඟමඬලක් වී ඇතැයි පැවසූ ඔහු ඊශ්‍රායලයද යුනෙස්කෝවෙන් ඉවත්වන බව ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් මෙන්ම අගමැති නෙතන්යාහු යුනෙස්කෝව මෙපරිද්දෙන් විවේචනය කරමින් සිටින්නේ හෙබ්‍රොන් නගරය සහ බෙත්ලෙහෙමේ නැටිවිටි දේවස්ථානය වැනි පලස්තීන භූමියේ පිහිටි ලෝක උරුම රැකගැනීමට එය දරන ප්‍රයත්නය සහ ඊශ්‍රායල් ජනපද කරණයට එරෙහිව 2015, 2016 වසරවල සම්මත වූ යෝජනා හේතුවෙනි.

2016 සම්මත වූ යෝජනාව මඟින් ඊශ්‍රායලය ආක්‍රමණික පිළිවෙතක පිහිටා සිටින බව පිළිගන්නා ලදී. ජෙරුසෙලමේ පැරැණි නගරය මුස්ලිම්වරු අල්.හරාම් අල් ෂරිෆ් වශයෙන් පූජනීයත්වයෙන් සලකන අතර යුදෙව්වන් විසින් ටෙම්පල් මවුන්ට් වශයෙන් පූජනීයත්වයෙන් සලකති. එයය පලස්තීනයට අයත් බව යුනෙස්කෝවේ සාමාජික රටවල් 24ක් පිළිගන්නා ලද අතර රටවල් 6ක් යෝජනාවට එරෙහි විය. තවත් රටවල් 26ක් ඡන්දයෙන් වැළැකිණි. එම පූජනීය පෙදෙස මුස්ලිම්වරු හඳුන්වන නාමයෙන් ම හැඳින්වීමට ඉන් පිළිගැනීමද ඊශ්‍රායලයේ ද්වේෂයට හේතුවිය.

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය අවධාරණය කරන පරිදි අමෙරිකාවේ තීරණය යුනෙස්කෝව ලද පරාජයක් හෝ හානියක් පමණක් නොවේ, එය අමෙරිකාවට ද හානියකි. එමෙන්ම සමස්ත එක්සත් ජාතීන්ගේ පවුලටම හානියකි. බහු සංස්කෘතිකත්වයට එල්ල වූ හානිදායක බලපෑමක් ලෙසද ඇය එම තීරණය දකී.

ඊශ්‍රායල් තානාපති ඩැනී ඩැනොන් අමෙරිකාවේ තීරණය අගය කර තිබුණේ මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව සිදුකරන වෙනස්කම්වලට වන්දි ගෙවීමට සිදුවූ නවදිනයක් ලෙස සැලැකිය හැකි බව පවසමිනි.

එක්සත් ජාතින්ගේ ප්‍රංශ තානාපති ෆ්‍රැන්කෝ චෙලම් යුනෙස්කෝ පරමාර්ථ අමෙරිකාවේ ජානවල කොටසක් බව පවසා ඇති අතර එක්සත් ජාතීන්ගේ රුසියානු නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තතියානා දෙව්හලෙන්කෝ පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇරැඹීමට මුල් වූ රටක් ලෙස අමෙරිකාව ගත් මේ තීරණය කනගාටුවට හා කම්පනයට හේතුවක් බවය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...