ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දරුවාත් සමඟ වතුර බේසම විසි කළ යුතුද? | දිනමිණ

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දරුවාත් සමඟ වතුර බේසම විසි කළ යුතුද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ
මහචාර්ය උපුල් අබේරත්න

පසුගිය ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරවීමට මහ මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව ඡන්දය පාවිචිචි කළ එක් ප්‍රධාන කාරණයක් වූයේ නීතියේ ආධිපත්‍යය සුරැකෙන,දියුණු මානව හිමිකම් ප්‍රඥ්ඥපත්තියක් ඔස්සේ අයිතිවාසිකම් ආරක්ෂා වන,සෑම පුරවැසියකුටම ගෞරවනීය ජීවිතයක් ගතකරන්නට සමාජ පසුබිමක් සැකසෙන,ජාතීන් අතර සහජීවනය බිඳී නොයන නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවට ජනපති හා අගමැති කළ ප්‍රකාශයන් ය.

ජනතාවට ලබාදුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරමින් නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දීම සඳහා රජය මුල පුරනු ලැබුවේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට සියලු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත පත් කිරීමෙනි. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට මහජනතාව ව්‍යවස්ථාව සකස් කිරීමේ වැඩපිළිවෙළ සඳහා සම්බන්ධ කර ගනිමින් මහජන අදහස් ලබා ගැනීම පිණිස රජය විසින් කමිටුවක් පත් කිරීම සාධනීය ලක්ෂණයකි. ඒ ඔස්සේ ලබාගත් අදහස්ද සමඟ අනු කමිටු හයක් ඔස්සේ කරුණු විශ්ලේෂණය කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක අනුකමිටුව මඟින් අතුරු වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ඉදිරියේදී විවාදයට ගැනීමට නියමිතය.

මේ වන විට ව්‍යවස්ථාවක් කෙටුම්පත් හෝ නොකර ඇති බව අප තේරුම් ගත යුතුව තිබෙන අතර වඩා හොඳ ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියේදී මහජන නියෝජිතයින් අතුරු වාර්තාව සම්බන්ධයෙන් දක්වන අදහස් ඉතා වැදගත්ය. අතුරු වාර්තාව පදනම් කර ගනිමින් නව ව්‍යවස්ථාව රට බෙදන,බෞද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරන ලියවිල්ලක් ලෙස අර්ථකථනය කිරීම සම්පූර්ණයෙන්ම වැරැදිය. එලෙස ප්‍රකාශ කරන පිරිස අතර සිටින සුළුතරයක් වූ මහ සංඝරත්නය සතුව පුළුල් දේශපාලන අවබෝධයක් නොමැති අතර එය දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළක් ලෙස අර්ථකථනය කිරීමේ වරදක් නොමැත.

පසුගිය ජාතික මැතිවරණ දෙකේදීම රටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි කියන මතයේ සියලු ප්‍රධාන පක්ෂ සිටි බව රටම දන්නා සත්‍යයකි. ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා රටට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනය තුළින්ද අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවට පොරොන්දුවක් ලබාදී තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය විසින් දස වැදෑරුම් යෝජනාවලියක් ඒ මහතාට ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කරවීම පිණිස එකඟතාවක් ඇති කර ගත්තේය. අලුත් ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දිය යුතු බව එහිද පැහැදිලිව දක්වා තිබිණි. පොදු අපේක්ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරවන්නට සැවොම ඡන්දය දුන්නේ රට තුළ ප්‍රජාතන්තවාදී ජන සමාජයක් ගොඩනැංවීමේ අරමුණ ඇතිවය.

සුළු පිරිසකගේ විරෝධය

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන රජයේ අරමුණ අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්දායක සභාවක් ලෙස කටයුතු කිරීම සඳහා එකඟ වූයේ කිසිඳු පක්ෂයක තබා පුද්ගලයකුගේද විරෝධයකින් තොරවය. ඕනෑම දේශපාලන සමාජයක ගතානුගතිකවාදී අතලොස්සක් සිටීම සාමාන්‍ය සංසිද්ධියකි. ව්‍යවස්ථාවක් එපා කියන මතවාදය සමාජගත කරමින් සිටින්නේ එම අතලොස්ස වන අතර ගරුතර සංඝරත්නයේ නියෝජනයක්ද ඒ තුළ දක්නට ලැබෙයි.

ඉතා සුළු භික්ෂූන් වහන්සේ පිරිසක් එම මතවාදය පෝෂණය කිරීම වෙනුවෙන් පෙනී සිටිමින් එය සමස්ත භික්ෂු මතය ලෙස උළුප්පා දැක්වීමට දරන උත්සාහය අපි හොඳින් තේරුම් ගත යුතුව ඇත්තෙමු. ප්‍රාදේශීය විහාරස්ථානවල භික්ෂූන් වහන්සේ මේ පිළිබද විරෝධයක් නොමැති අතර මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේද රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පිළිගෙන තිබේ. අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේද ව්‍යවස්ථාදායක සභාවෙන් මහජන නියෝජිතයින් ඉවත්වීම එතරම් සුදුසු ක්‍රියාවක් නොවන බව ප්‍රකාශ කර තිබිණි. දේශපාලන සාක්ෂරතාව ගරුතර සංඝරත්නය තුළ එතරම් ඉහළට නොමැත.

මේ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යනු කුමක්ද එය සකස් වන්නේ කෙසේද එහි අන්තර්ගතය තුළින් ඒකීයභාවය හෝ සන්ධීය ක්‍රමයක් නිරූපණය වන්නේද පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව සංඝයා වහන්සේ අදහස් දැක්වීමට පටන් ගෙන ඇත. දේශපාලනික මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින සංඝයා වහන්සේ දෙතුන් දෙනකුගේ බල කිරීමට මෙම ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය අකුලා ගැනීම සාධාරණ තීරණයක් නොවන්නේය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සංඝරත්තයේ විරෝධය හේතුවෙන් ක්‍රියාත්මක නොකර අතිමහත් සමාජයක් අර්බුදයක් වෙත තල්ලු කිරීමට වගකිව යුතු රජයකටද හැකියාවක්ද නොමැත.

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා රජයට ජනවරමක් නැතැයි නගන තර්කය පදනම් විරහිතය. පසුගිය ජාතික මැතිවරණ දෙකකදී ජනතාව පැහැදිලි ජනනවරමක් මේ සඳහා ලබාදී තිබේ.

කෝල්බෘෘක් කැමරන් ප්‍රතිසංස්කරණ

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ ව්‍යවස්ථාව සම්බන්ධ අතුරු වාර්තාවක් පමණි. නව ව්‍යවස්ථා කෙටුම්පත් හෝ නොකර තිබෙන අවස්ථාවක රට බෙදෙන ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බවට නගන චෝදනා පදනම් විරහිතය. ව්‍යවස්ථාව කෙටුම්පත් කරන අවස්ථාවේ ව්‍යවස්ථාවේ ස්භාවය පිළිබඳව සාකච්ඡා කළ හැකිය.අපට ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ 1832 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ ඔස්සේ අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද මධ්‍යගත යටත් විජිත ආණ්ඩුව යන සංකල්පයෙන් ඔබ්බට ගොස් සිතන්නට නොහැකි වීමය.

මෙම ගැටලුව බරපතළ ලෙස පවතින්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු තුළය. ලංකාවේ ජනවාර්ගික උන්නතිකාමී සියලු පක්ෂවලට මෙම ගැටලුව තිබේ. එය එල්.ටී.ටී.ඊ සංවිධානයට මෙන්ම දකුණේ වර්ගවාදීන්ටද පොදු ප්‍රශ්නයකි. ‍මෙය දෙපාර්ශ්වය එක හා සමානව බෙදා ගත් ආශාවකි. යටත් විජිත රාමුවෙන් ඔබ්බට ගොස් තීණ්දු ගැනීමට නොහැකි වීම තුළ එල්.ටී.ටී.ඊ යද අසාර්ථක ව්‍යාපාරයක් බවට පත්විය.

සියලු බලය මධ්‍යගත කරගත් පාලනයක් ඇති කිරීම වෙනුවට එක් එක් ජනවර්ගවලට වෙනම පාලන බලයන් තිබිය යුතුය යන සිතිවිල්ල බටහිර යුරෝපා ධනවාදී ආකෘතියකි. එතැනින් විතැන්ව ගොස් නිර්මාණශීලී අදහස් ඇති දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීමට නොහැකිද යන ප්‍රශ්නය අප හමුවේ තිබේ. කෝල්බෲක්,කැමරන් විසින් අප කොටු කරන ලද රාමුවෙන් ඔබ්බට ගොස් බල හවුල්කාරී ආණ්ඩුවක් හදා ගැනීම අප හමුවේ පවතින අභියෝගයයි.

වචනවල එල්ලීම

බලය බෙදීම මෙන්ම බලය බෙදා ගැනීම කියන කාරණය දකුණේ ජාතීවාදීන් මෙන්ම උතුරේ ජාතීවාදීන්ද අර්ථ නිරූපණය කරනු ලබන්නේ එය බෙදී වෙන්ව යාම සඳහා හේතුවන ක්‍රියාවලියක් ලෙසනි. බල හවුල්කාරීත්වය යනු බෙදී වෙන්වීමක් නොව එකම ආණ්ඩුකරණ ක්‍රියාවලියක් යන්න ජනසමාජයට කියා දිය යුතුය. එය ජනතාවට පැහැදිලි ලෙස කියා නොදීම බරපතළ ප්‍රශ්නයකි. එක් අතකින් එය දේශපාලන කෛරාටිකකමේ ප්‍රතිඵලයකි. සියලුම දේශපාලනඥයින් ප්‍රශ්නය විසඳීමට ගතයුතු ක්‍රියාමාර්ග දැන සිටියත් ඔවුන් එය විවෘතව කතා නොකරති. ඊට හේතුව දේශපාලනික කුහකකම මිස වෙනත් කරුණක් නොවන්නේය.

අතුරු වාර්තාවේ සිංහල පිටපතේ එකීය වචනය තිබුණද ඉංග්‍රීසී පිටපතේ යුනිටරි වචනය නොමැති බවත් දෙමළ පිටපතේ ඇති වචනයෙන් ෆෙඩරල් ක්‍රමය අර්ථගන්වා ඇති බවත් කියයි. අර්ථවල එල්ලී ව්‍යවස්ථාවෙන් රට බෙදෙන බව සමාජගත කරන්නට යෑම වැරදිය. මෙම වචන සමඟ එකඟ වන්නට නොහැකි නම් ඒ වෙනුවට වෙනත් වචන එකඟතාවයකින් යුතුව සොයා ගත හැකිය.

යටත් විජිත රාමු කට්ටුවෙන් ඔබ්බට ගිහින් සිතීමට නොහැකි බව මෙමඟින්ද ප්‍රදර්ශනය වෙයි. වචනය මත පදනම්ව හරඹ කර ව්‍යවස්ථාව හකුලා ගන්නට කීම සමාන කළ හැක්කේ බබා එක්ක වතුර බේසම විසී කිරීමකටය. සාධනීය ලක්ෂණ ප්‍රකට කරන්නා වූ දේශපාලන පක්ෂ කතා කළ යුත්තේ වචන සම්බන්ධ ගැටුම් පසෙක තබා ප්‍රධාන ක්‍රියාවලියට ජීවය දීමටය. ඒකාබද්ධ විපක්ෂය අද කතා කියන්නේ වතුර භාජනය එක්ක බබා විසි කරන ලෙසය. වචනවල එල්ලී නැති ප්‍රශ්න මතුකර කාලය නාස්ති කරනවාට වඩා වැදගත් වන්නේ දේශපාලන වශයෙන් බෙදී වෙන් වී යාමේ ව්‍යාපෘති දුබල කරන වගන්ති ව්‍යවස්ථාවට ඇතුළු කිරීමට අදහස් හා යෝජනා දැක්වීමය.

එවැනි යෝජනා පැමිණියහොත් ක්ෂණයෙන්ම ඒවා අහෝසි වන ලෙස විධි විධාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ සපයා ගත හැකිය. මෙම දේශපාලන යථාර්ථය තේරුම් ගත යුතුය. දෙමළ දේශපාලන අධිකාරිය මුල් කාලයේ ඉල්ලු ෆෙඩරල් විසඳුම 1972 ජනරජ ව්‍යවස්ථාව සකස් කළ පසු වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට තල්ලු විය. එබඳු වැඩපිළිවෙළකට තල්ලු වී තිබුණු දෙමළ ජාතික ව්‍යාපාරය අද වනවිට යූ ටර්න් එකක් ඔස්සේ හැරී එක්සත් ,ඒකීය නොබෙදිය හැකි වෙන්ව යා නොහැකි දේශපාලනයක් තුළ සාමාකාමී බලය බෙදා ගැනීමේ රාමුවක් තුළ එකට ජීවත් වීම සඳහා කැමැත්ත පලකර තිබේ. මෙම මතවාදය තුළ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පිණිස දැන් එළඹ ඇත්තේ ස්වර්ණමය අවස්ථාවකි.

ෆෙඩරල් නොඉල්ලන ඔවුන් ෆෙඩරල් වෙත තල්ලු කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. රාජ්‍යය ඒකීයද නැද්ද පිළිබඳ කිසිවක් නොකියා අවශ්‍ය නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ හැකිය. හැත්තෑ දෙකට පෙර ව්‍යවස්ථාවේ ඒකීයද නැද්ද යන්න පිළිබඳ පැහැදිලි සඳහනක් නොතිබිණි.

ස්භාවයෙන් ක්‍රියාත්මක වුයේ මධ්‍යගත රාජ්‍යයකි. මධ්‍යගත රාජ්‍යයකට රටේ පවතින වත්මන් ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය නොහැකිය. 1972 හඳුන්වා දුන් ජනරජ ව්‍යවස්ථාවට ඒකීය රාජ්‍යය සංකල්පය පැමිණියේ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු ආකෘතියට අනුව එය සකස් කළ නිසාවෙනි. එහි එල්ලී සිටීම අවශ්‍ය නොවන දෙයකි. අප ඉන් ඔබ්බට ගොස් තීන්දු ගත යුතුය. වචනවලට දේශපාලනයක් තිබේ. දේශපාලන හැඟවුම් කාරක,අර්ථ ඇති කිරීමේ හැකියාව වචනවලට ඇත. දකුණේ වර්ග වාදීන් මෙන්ම උතුරේ වර්ගවාදීන්ද දේශපාලන ව්‍යාපාරිකයින් බව අප අමතක නොකළ යුතුය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ තමන්ගේ දේශපාලන අනාගතය ගැන අවංකව සිතන්නේ නම් විධායක ජනපති ක්‍රමය අහෝසි කර අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට සහයෝගය ලබාදිය යුතුය.එහෙත් ඔහු එසේ නොකරයි. තමන් වටා මාධ්‍යයෙන් පෙන්වන ආකාරයේ ජන බලවේගයක් නොමැති බව දන්නා මහින්ද දැන් කරන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන වංචා දූෂණවලට නම ඈඳුණු අය සමඟ එක්ව කේවල් කිරීම් තුළින් තමන්ගේ ප්‍රශ්නවලින් බේරී සිටීමට උත්සහ කිරීමයි.

මහින්දලාගේ මෙම කේවල් කිරීම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළත් දක්නට ලැබෙයි. ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත්ව යන්නේ නැත.විමල් වීරවංශ ඇතුළු එම පක්ෂයේ කිහිප දෙනකු ඉවත් වුණත් ඒකාබද්ධ විපක්ෂයේ සෙසු පිරිස මෙහි තව දුරටත් රැඳී සිටිති.

ජනවාර්ගික වශයෙන් ආමන්ත්‍රණය කරන ව්‍යාපෘතියකට ජාතික තලයේ දේශපාලනය තුළ ඉදිරි ගමනක් යා නොහැකිය. මෙම මතය ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ බහුතරය තුළ තිබේ. විමල් හා ගම්මන්පිල හලා දමා දේශපාලන ගමන යායුතු බව මොවුන් තේරුම් ගෙන තිබේ. මහ සංඝ බලවේග යැයි හඳුන්වා දෙන කණ්ඩායම් පසුගිය කාලය තුළ දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වූයේ ඒකාබද්ධයේ රැකවරණ ලබමින් බව නොරහසකි. හිමිවරු කුලප්පු කරමින් යන දේශපාලනයට ඉදිරි ගමනක් නොමැත. බුදුන් වදාළ ධර්ම විනයට පටහැනි දේ අද ඇතැම් භික්ෂූන් වහන්සේලා සිදුකරනු ලබති. මුදල් එකතු කිරීමට වස්වසන කාල සීමාවේ පිණ්ඩපාතයේ වැඩම කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලනික අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වූ එකකි.

භික්ෂූන්ගේ කාර්ය භාරය

භික්ෂු සමාජයේ ඇතැම් කොටස් බුදුන් වදාළ ධර්මයට පටහැනිව ගොස් දේශපාලනික වශයෙන් ගැත්තන් මෙන්ම ඉත්තන් බවට පත්ව කටයුතු කරන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. මහින්ද දේශනයට යටත්ව ක්‍රියාකරන බවක් උන්වහන්සේලා තුළින් ප්‍රකට වෙයි. දේශපාලනික වශයෙන් ගැති බවක් පෙන්නුම් කරන භික්ෂූන් මෙන්ම බුදුන් වදාළ මඟ ඔස්සේ වැඩම කරන අධ්‍යාත්මික වශයෙන් ජනතාව පෝෂණය කිරීමට වෑයම් කරන භික්ෂූන් වහන්සේලා අප හඳුනාගත යුතුය. දේශනපාලනික වශයෙන් විවිධ තනතුරු හා වරප්‍රසාද ලත් දේශපාලඥයින්ගේ උපදේශයකින් බවට පත්ව සිටි භික්ෂූන් වහන්සේලාගෙන් සාධාරණ විවේචන අපේක්ෂා කළ නොහැකිය.

විධායක ජනපති ධූරය අහෝසි කිරීමට උදව් කළ හොත් මහින්දට යළි තරග කර අගමැති ධූරයට වුව පත්වීමේ අවස්ථාව ඇත. එසේ වුවත් ඔහු නව ව්‍යවස්ථාවක් එපා කියන මතයේ සිට අදහස් දක්වන්නේ තමන්ට දේශපාලනික වශයෙන් පිළිගැනීමක් රටේ නොමැති බව දන්නා නිසාය. ඔහු පොහොට්ටු පක්ෂය ගොඩනඟා තැන් තැන්වල ඇති වර්ගවාදී බලවේග පෝෂණය කරමින් සිටින්නේ ඔහුට පවුලට හා සගයින්ට එල්ලව ඇති චෝදනාවලින් මිදීම සඳහා කරන දේශපාලනික උපක්‍රමයක් ලෙසනි.

මෙම උපක්‍රමයකට සමාජය රැවටීමට ඉඩදී බලා සිටිය යුතුද නැතහොත් මෙහි සැබෑ යථාර්ථය ජනතාවට පෙන්වා දීමට කටයුතු කරන්නේද යන ප්‍රශ්නයට රජය විසඳුම් සෙවිය යුතුය. ආගම ආරක්ෂා වන්නේ දේශපාලන රැකවරණ නිසා නොවේය. ආගම විනාශ වන්නේ දේශපාලන රැකවරණ පැතූ විටය. බුදුන් තරම් ප්‍රගතිශීලී දේශපාලන අදහස් දරන ලද, විසම්මුතිය අගය කරන ලද, වෙනත් ආගමික ශාස්තෘන් වහන්සේලා සමඟ සාකච්ඡා කරන ලද විශිෂ්ට ගණයේ ආගමික ශාස්තෘන් වහන්සේ නමක් ලොව කොතැනකවත් සිට නැත.

ධර්ම විනය අනුව බුද්ධ ශාසනයට ප්‍රමුඛතාව දීම පිළිබඳ කිසිඳු ප්‍රශ්නයක් නොමැත. ප්‍රශ්නය තිබෙන්නේ දේශපාලනික වශයෙන් හිතන භික්ෂූන් වහන්සේ පිරිසකගේ අදහස් අනුව බුද්ධාගම පෝෂණය කිරීම තුළය. එමඟින් සමාජය තුළ විශාල ප්‍රශ්න ඇති විය හැකිය. දේශපාලනීකරණය වූ ආගමකට ප්‍රමුඛතාව දුන්නොත් ලේ හලා ගන්නා සමාජයක් බිහිවනු ඇත. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි බෞද්ධ සාරධර්ම අනුව රෝහින්ගයා සරණාගතයින්ට පිහිට වෙමු කියා පවසා ඇත. බුදුන් වදාළ ධර්මය එයයි. උන්වහන්සේ බුද්ධ දේශනාව අනුව වෙනස් වීම යහපත් ලක්ෂණයකි.

ජනතාව දැනුවත් කිරීම

අලුත් ව්‍යවස්ථාව ඔස්සේ ගෙන ඒමට අවධානය යොමුව තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාධනීය ලක්ෂණ පිළිබඳව සාමාන්‍ය ජන සමාජය දැනුවත් කිරීම ඉතා වැදගත්ය. ආණ්ඩුව පැත්තෙන් මේ පිළිබඳව පවතින උනන්දුව අඩුය.මෙය බරපතළ වරදකි. මෙම කටයුත්ත අද බාරගෙන වැඩ කරන්නේ දේශපාලන අවබෝධයක් නොමැති විශ්‍රාමික පිරිසකි.

විශ්වවිද්‍යාල ආචාර්යවරු හා සිවිල් සේවක පිරිසක් මේ සම්බන්ධව කටයුතු කරමින් සිටියත් තවමත් මෙය දේශපාලන ව්‍යාපෘථියක් බවට පත්ව නොමැත. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නේ කුමක් සඳහාද එහි අන්තර්ගතය තුළ ආවරණය වන්නේ කුමන ක්ෂේත්‍රද යන කරුණු සමාජය තුළ පුඵල් සංවාදයකට ලක් කළහොත් ජනතාව නියත ලෙසම මෙයට කැමැති වනු ඇත. පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනතාව අතර බෙදීම මතුව ඇත. සුඛිත මුදිත ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තු තියා ගැනීමට මේතුළ ඔවුන්ට අවකාශ නොමැත. ඇත්තෙන්ම මෙය සමාජය බෙදන ලද ව්‍යවස්ථාවකි.

පුරවැසියකුට ගෞවරණීය ලෙස ජීවත් වීමට අවශ්‍ය අයිතිවාසිකම් සමුදාය පවතින ව්‍යවස්ථාව තුළින් ප්‍රදානය කර නොමැත. සකස් කිරීමට යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා තුළින් ජනතාවට දියුණු මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියක් හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ. බලය අත්තනෝමතික ලෙස භාවිතය නතර කරන්නටත් යහපාලනය සුරක්ෂිත කරමින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා වන ව්‍යවස්ථාවක් අපට අවශ්‍ය ය. දැන් පවතින්නේ නීතියේ ආධිපත්‍යය නොව නීතියෙන් පුරවැසියා මෙල්ල කරන බලහත්කාරයෙන් ඔවුන් යටපත් කර තබාගත හැකි ව්‍යවස්ථාවකි. මෙය යහපත් ජීවිතයක් ගත කරන්නට තරම් හොඳ ව්‍යවස්ථාවක් නොවන්නේ එබැවිනි.‍

විරෝධීන්ට පිළිතුරු

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත්කළ කමිටුවට ඉතා දියුණු මානව හිමිකම් ප්‍රඥප්තියක් සඳහා මහජනතාව අදහස් ඉදිරිපත් තිබිණි. මානව අයිතිවාසිකම් ප්‍රඥප්තිය උදෙසා පූර්ණ එකඟතාවක් සියලු පක්ෂ අතර ඇතිව තිබේ. ජනතාවට ගෞරවනීය ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය සමාජ වටපපිටාව මේ ඔස්සේ සම්පාදනය කෙරෙනු ඇත.

සෑම පුරවැසියකුගේම අතට අතුරු වාර්තාව ලැබිය යුතුය. ඔවුන්ට ඒ සම්බන්ධ පැහැදිලි කර ගනිමින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ඔවුන් සහසම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්ය. මෙහි පවතින සාධනීය ලක්ෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත්ය. ව්‍යවස්ථා විරෝධීන්ගේ මතවාද බැහැර නොකර රජය ඒවාට පිළිතුරු දිය යුතුය. පවතින ව්‍යවස්ථාව තුළ තිබෙන මහජන නියෝජන ක්‍රමය වංචා දූෂණ ප්‍රවර්ධනයකට හේතුවක් බවට පත්ව තිබෙන බව ජනතාවද අනුමත කරන්නාවූ කාරණයකි.

මේ නිසා ඒ සම්බන්ධයෙන් ජනතාව වෙනසක් අපේක්ෂා කරයි. ඒකාබද්ධ විපක්ෂයට වුව එපිටින් යා නොහැකිය. ජනතාව යම් කරුණක් පිළිබඳ පැහැදිලි අවබෝධයකින් සිටින විට ඔවුන් නොමඟ යැවීම අසීරුය. රජය මෙය තේරුම් ගත යුතුය. ජනපති හා අගමැතිට යහපත් අභිලාෂයන් තිබුණද ඒවා ක්‍රියාක්මක කිරීමට ඔවුන් යටතේ සිටින පක්ෂ නියෝජිතයන්ගේ කැපවීමක් තිබීම අනිවාර්ය ය. එවැනි කැපවීමක් ජනපති හා අගමැති හැරෙන්නට වැඩි පිරිසකගේ නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන තත්ත්වයකි.

 

සටහන
අසේල කුරළුවංශ

නව අදහස දක්වන්න