'මගෙ අම්මෝ! ඔයා තමයි එහෙම කතාවක් හදන්නේ' - ධනංජි | දිනමිණ

'මගෙ අම්මෝ! ඔයා තමයි එහෙම කතාවක් හදන්නේ' - ධනංජි

මේ දිනවල තිරගත වන සීමා නෑ ආකාසේ චිත්‍රපටයේ පෙම්වතා පුබුදු චතුරංගය. ඒ පෙම්වතාට පෙම්වතියන් දෙදෙනකි. ඉන් එක් අයකුට පණ පොවන්නේ අරුණි මල්ලවාරච්චිය. අනෙක් පෙම්වතිය ධනංජි තාරුකාය. අරුණි අප සහෝදර පුවත්පත් ආයතනයක මාධ්‍යවේදිනියක වශයෙන් සේවය කරන්නීය. මේ ඇගේ පළමු චිත්‍රපට රංගනය ද වේ. ධනංජි තාරුකා වෘත්තීය රංගන ශිල්පිණියකි. පුංචි තිරයේ විකාශය වන ටෙලි සිතුවම් කිහිපයකින්ම ඇගේ රුව ඔබ නෙත ගැටී ඇති වගට සැකයක් නැත. ධනංජි ප්‍රධාන චරිතයක් මවන පළමු චිත්‍රපටය වන්නේ ද සීමා නෑ ආකාසේය. මෙකී කරුණු කාරණා නිසා අප ධනංජිට මේ ඉඩ වෙන් කිරීමට අපේක්ෂා කෙරුවෙමු.

* ධංනංජි, සීමා නෑ ආකාසේ පෙම්වතියට සතුටුදායක ප්‍රතිචාර ලැබෙනවා ඇති කියලා හිතනවා?

ඇත්තටම ඔව්. මේ චිත්‍රපටයෙහි රූපගත කිරීම් තිබුණේ වසර තුනකට පමණ පෙරයි. තිර ගත වන්නට ප්‍රමාදයක් සිදු වුණා. එක අතකින් එහෙම වෙච්ච එක හොඳයි කියලත් හිතෙනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක.

* බොහෝ දෙනා චෝදනා නඟනවා චිත්‍රපටය ප්‍රදර්ශනය ප්‍රමාදවීම ගැන. නමුත් ධනංජි එහෙම වෙන එක හොඳයි කියලා කියනවා?

සාමාන්‍යයෙන් චිත්‍රපටයක් තිරගත වීම ප්‍රමාද වීම එතරම් හොඳ නැහැ තමයි. මං ඒක හොඳයි කියනවා නෙවෙයි. මගේ පැත්තෙන් ඒ ප්‍රමාදය හොඳයි කියලා කීවේ මොකද ඒ කාලේ මාව වැඩි දෙනෙක් හඳුනන්නේ නැහැ. නමුත් මේ වන විට සෑහෙන්න රසික රසිකයන් ප්‍රමාණයක් මට සිටිනවා. ජනප්‍රියත්වයත් ටිකක් වැඩියි. එහෙම තත්ත්වයක් මත මට මේ චිත්‍රපටය ප්‍රමාදයෙන් වාසියක් වුණා.

* ඒ කියන්නේ පෙරළුණ පිට හොඳ වුණා කියලනෙ?

ඔව්, ඔව්.

* සීමා නෑ ආකාසේ චිත්‍රපටය ප්‍රචාරය සඳහා යොදා ගත් පෙර ඡායාරූපවල සිටියේ පුබුදු සහ අරුණි. නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දී අරුණි එක පින්තූරයක්වත් නැහැ. ඉන්නේ ඔබ පමණයි?

මම දන්නේ නැහැ අරුණි ඊට නැත්තේ ඇයි කියලා. මට චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම මෙහි ඡායාරූප සමුූහයකට පෙනී සිටීමට ආරාධනා කළා. චිත්‍රපටයක රඟපෑවාම එහි ප්‍රචාරණ කටයුතුවලට සහභාගි වීම යුතුකමක් නිසා මං එයට පුබුදු සමඟ පෙනී සිටියා. ඒ ඡායාරූප තමයි චිත්‍රපට ප්‍රදර්ශනයේදී ඔවුන් භාවිතා කළේ.

* ඇතැම් අය කියනවා ඉතා සූක්ෂම ලෙස අරුණිව ඔබ කපා දැමුවලු?

අරුණි මගේ හොඳ යාළුවෙක්. යහළුවකුව තියා නාඳුනන කෙනෙක්වත් මට කපා දැමීමට වුවමනාවක් නැහැ. අනික මොකටද මම එහෙම කරන්නේ. ඕක කට කතාවක් විතරයි.

* පුබුදුගේ පෙම්වතිය වීම හරහා ඔබ සිනමාවේ නමක් තබන්නට හදනවා කියලා පෙනෙනවා?

ඇත්තෙන්ම මට අවශ්‍යයි සිනමාවේ නමක් තැබීමට. සිනමාව කියන්නේ ඉතා හොඳ මාධ්‍යයක්නේ.

* ඔබව හරිම අමාරුයි දුරකතනයෙන් සම්බන්ධ කර ගන්න?

මගේ අම්මා ගාව තමයි නිතරම ෆෝන් එක තියෙන්නේ. එන කෝල්ස් ඇය තමයි ආන්ස්වර් කරන්නේ. ඒ හින්දා මම හරිම අඩුවෙන් තමයි ඇමතුම් ලබා ගන්නේ. අත්‍යවශ්‍ය ඇමතුම්වලට මං කෝල් බැක් කරනවා.

* ඔබ තරමක් ආඩම්බරකාර චරිතයක් කියලා ඇතැම් අය කියනවා?

මගේ අම්මෝ . . . කවුද එහෙම කියන අය. මට පේන්නේ ඔයා තමයි ඒ වගේ කතාවක් හදන්න ඇත්තේ. මාව දන්න හැමෝම කියන්නේ මම හරිම සෝෂල් කෙනෙක් කියලයි.

* ඇයි ඔබ තවමත් ජනප්‍රිය නිළියන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවුණේ?

අනේ මන්දා තවමත් ඒකට නොවැටුණේ මං අතිශය ජනප්‍රිය කෙනෙක් නොවුන හින්දා වෙන්න ඇති. නමුත් වැඩි දෙනකු මාව හඳුනනවා කියලා මං දන්නවා. මඟතොටේදී එහෙම ලැබෙන ප්‍රතිචාරත් එක්කයි මං එහෙම කියන්නේ. කවදා හරි මමත් ජනප්‍රිය ලිස්ට් එකට වැටෙයිනෙ නේද?

* ධනංජි වේදිකාවේ ද සැරිසරන බවට මට දැනගන්නට ලැබුණා?

වේදිකාව මට නුපුරුදු තැනක් නෙවෙයි. විශේෂයෙන්ම පාසලේදී එහෙම මං නිරන්තරයෙන් වේදිකාවට එක්ව වැඩ කටයුවල නියැළුණා. මේ වන විට මං නීල් බී. පෙරේරාගේ නැකත සහ සුනිල් ශී‍්‍ර ගේ ඉලන්දාරි කියන වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා. තවත් වේදිකා නාට්‍යයකට කතා කරලත් තියෙනවා.

* ඔබ පරපුරේ බොහෝ නිළියන් වේදිකාවේ පස් පාගන්නෙවත් නැහැ?

මම නම් නිර්ලෝභීව වේදිකාවට මගේ දායකත්වය සපයනවා. මොකද රංගන ශිල්පිණියක් විදිහට හොඳට පදම් වෙන්න පුළුවන් තැනක් තමයි වේදිකාව කියන්නේ. ඒ වගේම හැමෝටම අවස්ථාව ලැබෙන්නෙත් නැහැ වේදිකාවේ වැඩ කරන්න. මං ඒ අතින් වාසනාවන්තයි.

* ධනංජි සාමාන්‍යයෙන් අසාධාරණයක් වුණාම මොකද කරන්නේ?

අසාධාරණයකදී මං ටිකක් සැරයි. නමුත් ක්ෂේත්‍රය තුළදී මට කියන තරම් අසාධාරණයක් වෙලා නැහැ.

* ධනංජි තාරුකා කියන්නේ මොන වගේ චරිතයක්ද?

සරල, සාමාන්‍ය සහ අතිශය දඟකාර චරිතයක්.

 

නව අදහස දක්වන්න