වඳුරුපිටිය කෙටේවත්ත සත්පත්තිනි දේවාලය | දිනමිණ

වඳුරුපිටිය කෙටේවත්ත සත්පත්තිනි දේවාලය

ශ්‍රී ලංකාවේ වලගම්බා රාජ සමයේ සහ ගජබා රාජ සමයේ පත්තිනි දේවිය මෙරටට වැඩම වූ බව ඉතිහාස ගත පුරා වෘත්තවල සඳහන්වේ .එකල ගමනාගමනය සිදුව ඇත්තේ පාගමනින්ය. එවන් මාර්ග වල තනන ලද නවාතැන්පල හෙවත් අම්බලම් තාමත් තැනින් තැන දැකිය හැකිය.

ක්‍රි.ව.112-109 වංක නාථ තිස්ස රාජ සමයේ මෙරට සොළී ආක්‍රමණයෙන් කරිකාලන් නමැති රජු සිහලුන් 12000 ක් ද ඉන්දියාවට රැගෙන ගිය බව සඳහන්ය. ක්‍රි.ව.112-135 රාජ සමයේ ගජබා රජු තම පුරවැසියන්ගේ දුක සැප සොයා බැලීමට රහසිගතව වෙස් වලා රාත්‍රියට රාජධානිය පුරා ඇවිද යාම සිරිතක් විය.එසේ යද්දී නිවෙසක කාන්තාවකගේ අදෝනාව අසා සොළීන් ගෙන් ඊට වාඩුව ගන්නෙමැයි සිතා ඉන්දියාවට ගොස් ලංකාවේ වැසියන් 12000 ට අමතරව එරටින් ද 12000 ක් රැගෙන ආ බව සඳහන්ය.

එසේ පැමිණි සොළින් සමඟ පත්තිනි සළඹ ද රැගෙන ආ බව සඳහන් වේ. ඔවුන් අනුරාධපුර සිට බටහිරට පැමිණ ඇත්තේ කුරුණෑගල-නාරම්මල-දඹදෙණිය- රෑනගල හරහා අලව්වට ය.

එසේ එනවිට නාරම්මල -වදාකඩ-රෑනගල-පඹදෙණිය-අලව්ව පරමාඋල්ල-ගල්වාරම-මොරුගම යත්තල්ගොඩ අම්බලන්වල නවාතැන් ගත්බව සඳහන්ය.මෙසේ පැමිණි සොලීන් යත්තල්ගොඩ සිට කුඹුක් ගසකින් ඔරුවක් තනා මා ඔය දිගේ පහළට ගමන් කරමින් සිටින විට අඳුරු වැටී එන මොහොතක මාඔය අසවූ ගල්තලාවක් දැක නතර වීඇත.

පිරිස පයින් ගමන් කරන්නන් සමඟ එක්වී රාත්‍රි අහර පිස කා බී නින්දට ගොස් ඇත්තේ පත්තිනි රන් සලඹ සහිත ගමන් මල්ල කඩුම්බේරිය ගසේ අත්තක රඳවමිනි. රාත්‍රි කාලය වනවිට එම ගසට නොයෙක් මාදිලියේ ආලෝක ධාරා ගලා එන්නට වී ඇත . මොවුන් පුදුමයට පත්වී බලා සිට පසුදා ගමන් ඇරඹීමට සූදානම් වූ විට සළඹ ගන්නට නොහැකි වී ඇත. පසුව කෙටේරියකින් ගස කපා ගසට ඇලී තිබුණ සළඹ ගෙන අසල ගල් ලෙනෙහි තැම්පත් කරන ලදී. එසේ කරන ලද්දේ ඔවුන්ට රාත්‍රියේදී සුදු ඇඳගත් අයෙක් පැමිණ සළඹ රැගෙන නොයා තැම්පත් කරන ලෙස අණ කිරීමක ප්‍රතිඵලයකිනි.එසේ තැම්පත් කල ස්ථානය කෙටේ අත්ත නමින් නම් කළද එය අද කෙටේ වත්ත නමින් ප්‍රසිද්ධය.නමුත් මෙම ගම් පියස මදුරු පිටිය වන අතර කෙටේ වත්ත කියනු ලබන්නේ දේවාලයට පමණෙකි. මෙම ස්ථානයේ හාස්කම් රැසක් ඇති බව දේවාලයට එන බැතිමතුන් කියා සිටී මෙම දේවාලය අසල වූ මා ඔයේ ගැඹුරු වක්කලමක් වේ.එතැන සිටින ඇලි කිඹුලා දේවාලය පැත්තෙන් යනවිට පිහිනන්නේ නැතිව පාවෙන්නට හෝ උඩුබැලි අතට ගමන් කරන බව දුටුවන් කියා සිටී.

දේවාල බිම විශාල වත්තක කෙළවරක පිහිටා ඇත .මෙම වත්ත හිමිකරු දේවාලය අසල වූ නුගරුක කපා දැමීමත්,දේවාලයට අයත් යයි කියන අක්කර දෙකක තරමේ බිම් කොටස වත්තට යා කර ගැනීමත් නිසා හදිසියේ මියගිය බව ද පැවසේ. මෙම දේවාලය ටැම්පිට පිහිටා ඇති දේවාලයකි.මෙම දේවාලයට වැඩි වශයෙන් පැමිණෙනුයේ රෝගාබාද වලට ලක්වූවන්ය. දරුවන් නොමැති මව්වරු මෙතැන භාර හාර වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ඇතැයි පැවසේ. වර්ථමානයේ කපු මහතා කේ.වී.ධර්මසේන පතිරණ මහතා විශ්‍රාමික දුම්රිය පරිපාලක වරයෙකි.මීරිගම සමථ මුල මණ්ඩලයේ ක්‍රියාකාරි සාමාජිකයෙකි.පාරම්පරිකව කෙටේවත්ත කපු පරපුරේ සාමාජික යෙකි. ඔහු දැනට ගල්කන්ද පුරාණ පත්තිනි දේවාලයේ කපු මහතා සමග ද වටිනාපහ විෂ්ණු දේවාලයේ කපු මහතා සමග එක්වී දේවාලයේ කටයුතු කරගෙන යයි.

නමුත් ඔහුට දේවාල බිමේ යමක් කරන්නට පුරා විද්‍යා අධිකාරිය තහන්චි දමා ඇත. ඔහු දැනට පුද පුජා විධි පමණක් කර බැතිමතුන්ට සෙත සලසනු ලබයි . එවන් කැපවී ක්‍රියා කරන්නෙකුට නිසි අවසරයක් ලදොත් මෙම දේවාල බිම අලංකාර වනු ඇත.

මිනුවන්ගොඩ සමුහ
සිරිසේන අත්තනායක

 

නව අදහස දක්වන්න