ජුබිලි කසාද | දිනමිණ

ජුබිලි කසාද

චම්පිකා දීපානි රණසිංහ
එළිසබෙත්-පිලිප් යුවළ

ආදරය නැවුම් වූ තරමට සුන්දරය. එහෙත් දවසින් දවස ගෙවී යද්දීත් නැවුම් වන ආදරය අත්දැකීමේ මහඟු වාසනාව ලැබෙන්නේ කී දෙනාටද? විවාහ සංස්ථාව වධකාගාරයක් කර නොගෙන දෙව්ලොවක් කරගත් මාලිගාවක් මිහිතලයේ ඇත. බකිංහැම් මාලිගාවේ අග රැජනිය, දෙවැනි එළිසබෙත් මහ රජනිය ලොවේම හදවත්වල ආදරය දිනාගත්තියකි. එහෙත් ඒ සියල්ලටම වඩා වටින්නේ වසර හැත්තෑවක් පුරා ඇයට සිය සැමියා පිලිප් කුමරුගේ හදවත දිනාගැනීමට හැකිවීමයි. පිලිප් කුමරා මහ රැජනගේ හදවත දිනාගත් එකම පුරවැසියා වීම ඔහුට ද අභිමානයකි. දෙදෙනාගේ විවාහ සංවත්සරය යෙදෙන්නේ නොවැම්බර් 20 වැනි දිනටය.

කඩවසම් පිලිප් කුමරු සුරූපී එළිසබෙත් කුමරියට මුණ ගැසෙන්නේ 1934දීයි. කුමරු ඩාර්ට් මවුත්හි රාජකීය නාවික හමුදාවේ සේවය කළේය. කුමරියගේ සිත කුමරා කෙරෙහි ඇදීගියේ දහතුන් හැවිරිදි නව යෞවනියකව සිටියදීය. දෙදෙනාගේ පෙම්හසුන් හුවමාරුව ඇරැඹිණි. එය සියයට සියයක්ම පෑහෙන දීගයක් වූ නිසා දෙපාර්ශ්වයේම වැඩිහිටි මනාපය හිමිවිය. 1947 නොවැම්බර් 20 වනිදා වයස 21 දී කුමරිය, කුමරා සමඟ අතිනත ගත්තා ය. මුළු ලොවෙන්ම ඔවුනට මංගල තෑගි 2500කට වඩා ලැබිණි.

දැනටමත් දෙවැනි එළිසබෙත් මහ රැජන බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දිගුම කලක් පාලනය කළ රජු හෝ රාජිනිය ලෙස වාර්තාගතවී අවසන්ය. එපමණක් නොව, දීර්ඝ යුග දිවියකට, ප්ලැටිනම් ජුබිලියක් පැවැත්වීමට තරම් වාසනාව ලද රාජකීය නායිකාවද ඇයයි. ‍මේ වන විට රැජින අනූ එක් හැවිරිදිය. පිලිප් කුමරු අනූහය හැවිරිදිය. දෙදෙනා නොවැම්බර් 20 වැනිදා සමරන්නේ ප්ලැටිනම් ජුබිලියේ සතුටයි.

යුරෝපීයයන්ගේ මංගල්‍යයන් ඇඳුම් මාරු කිරීමට සමාන කළ ද එකම සහකරු, එකම සහකාරිය පතා සසර පුරා සරන ‍ජෝඩු ද සිටින බවට මහ රැජන සහ පිලිප් කුමරු කදිම නිදසුනකි. රැජනක් වූ බිරිය සමඟ හැත්තෑ වසරක් ගත කළ පිලිප් කුමරු කියා සිටින්නේ දෙදෙනාගේ ඇති රුචි අරුචිකම්වල වෙනස, රැජනගේ ඉවසිලිවන්තකම දීර්ඝ විවාහ ජීවිතයට මඟ පෑදූ බවය. කෙතරම් රාජකාරි අධික වුවද මහ රැජින ඉතා ඉවසිලිවන්තය. එහෙත් ලොවම දන්නා අනෙක් රහස වන්නේ පිලිප් කුමරුගේ ඉල කැඩෙන විහිළුය. එළිබෙත් කුමරිය, මහ රැජන ලෙස කිරුළු පළන් දිනයේ පිලිප් කුමරු රැජන ගෙන් ඔටුන්න පෙන්වා ඔය තොප්පිය ලැබුණේ කවරදා දැයි විමසා තිබේ. කුමරියට රජකම ලැබෙන්න යන පුවත කන වැකුණු දිනයේ කුමරු පවසා ඇත්තේ ‘කුමරිය මැරෙන්න යන බවද කියන්නේ’ කියාය. රැජන සාමාන්‍ය ගැහැනියක ලෙස සැලකිය හැකි එකම පිරිමියා පිලිප්ය.

එළිසබෙත් කුමරිය දෙවැනි එළිසබෙත් රැජන වූ පසුවද පිලිප් කුමරිය දුටුවේ 1934දී දුටු නව යෞවනියමය. 1949 දී එළිසබෙත් කුමරියටත් පිලිප් කුමරුටත් මෝල්ටාවේ පදිංචියට යාමට සිදුවූයේ පිලිප් කුමරුට නාවික නිලධාරියකු සේ සේවසේ යෙදීමට සිදුවූ නිසාය. නාවික බිරියක ලෙස මෝල්ටාව නම් මධ්‍යධරණී දූපතේ දෙදෙනා සතුටින් ජීවත්වී ඇත. කුමරිය පවුලේ හා බ්‍රිතාන්‍ය රජයේ කටයුතු ඉතා පිළිවෙළට නිරවුල්ව සිදුකර ඇත.

පස්වැනි විවාහ සංවත්සරයේදී රැජිනට රන්, දියමන්ති, ඉඳුනිල් , පද්මරාග එබ්බ වූ වළල්ලක් තිළිණ කර තිබේ. මේ යුවළ ගෙදර දොර රාජකාරී ‍කෙතරම් සහයෝගයෙන් බෙදා හදාගන්නවාද කිවහොත් බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් වරක් පැවසුවේ පිලිප් කුමරු මුළුතැන්ගෙයි කටයුතු කරන අතරේ රැජන රෙදි සේදූ බවයි.

අසමාන රුචි අරුචිකම් විවාහය සවිමත් කළ බව පැවසුවද දෙදෙනාටම පොදු වූ කැමැත්තක් ද තිබේ. ඒ නර්තනයට ඇති කැමැත්තයි. රැජනත් කුමරුත් යොවුන්වියේදී නර්තනයේ යෙදීමෙන් මහත්සේ සතුටු ව බව සමීපතමයන්ට රහසක් නොවේ. රැජනගේ සුරතල් නාමය ලිලිබට් වුවත් පිලිප් කුමරු ඇය අමතන්නේ ‘කැබේජ් (ගෝවා) කියාය.

රැජනගේ මංගල ඇඳුම තවමත් මීට වසර 70කට පෙරදී මෙන්ම නැවුම්ය. ඒ හරියටම දිනෙන් දින නැවුම්වන ඔවුන්ගේ යුග දිවිය පරිද්දෙනි. චාර්ල්ස්, ඈන්, ඇන්ඩෘ, එඩ්වඩ් දූ පුතුන්ගෙන් ඔවුන්ගේ විවාහ දිවිය ආලෝකවත් වුවද දරුවන්ගේ යුග ජීවිත නම් එලෙසින් සොඳුරු වූයේ නැත.

ලොව මෙලෙසම යුගදිවිය දිගු දිවියක් කරගත් ඇත්තන් බොහෝ ය. ඉන්දියානු ජාතික කරම් චාන්ද්, කර්තාරි චාන්ද් විවාහවූයේ 1925 දෙසැම්බර් 11 වැනිදාය. ඔවුන් වසර 90ක් හා දින 291ක යුගදිවියක් ගත කර තිබේ. ඉන්දියාවේ කේරලයේ පිලිපෝස් තෝමස්, සෝසම්මා තෝමස්ගේ යුගදිවිය වසර 88ක් හා දින දෙකක් පැවත ඇත. ඔවුන් විවාහවී ඇත්තේ 1918 පෙබරවාරි 17 වැනි දිනය. ලොව දීර්ඝ විවාහ දිවියකට හිමිකම් කියන තෙවැනි යුවළ ඇමරිකාවේ හර්බට් ෆිෂර් සහ සෙල්මිණාය. 1924 මැයි 13 විවාහ වූ ඔවුහු වර්ෂ 86 දින 290ක් යුගදිවිය ගතකර තිබේ.



 

අන්ර්ජාලයෙනි

නව අදහස දක්වන්න