බුබ්බුලාකාර හෝටල් කාමර | දිනමිණ

බුබ්බුලාකාර හෝටල් කාමර

මදාරා මුද­ලිගේ

ගතට දැනෙන සීතලත් සමග වනාන්තරයක සුන්දරත්වය සජීවි ආකාරයෙන් දැක ගන්නට ලැබෙන අවස්ථා දුලභය. විශේෂයෙන් රාත්‍රියට එවැනි අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි. එවැනි සංකල්පයකට අනුව නිර්මාණය කර ඇති හෝටලයක් පිළිබද පුවතක් පසුගියදා වාර්තා විය. මිලියන 5 තරු හෝටලය යනුවෙන් හදුන්වන මෙම හෝටලය පිහිටා ඇත්තේ අයිස්ලන්තයේ දකුණු ප්‍රදේශයේ ස්කාල්හෝල්ට්හි ය. Northern Lights (නොදර්න් ලයිට්ස්) නම් වූ ලෝ ප්‍රකට වෙබ් අඩවියේ නිර්මාතෘවන රොබට් රොබර්සෙන් විසින් මෙම හෝටලය නිර්මාණය කර ඇත. ඩෙන්මාර්කයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා අවුරුදු විසි තුනක කාලයක් ගොඩනැඟිලි ක්ෂේත්‍රයේ ලැබූ අත්දැකීම් ද උකහා ගනිමින් ඔහු මෙම හෝටලය නිර්මාණය කර ඇත. අයිස්ලන්තයේ තිබෙන අධික සීතලට ඔරොත්තු දෙන ආකාරයෙන් වනාන්තරය මැද බුබුළු කිහිපයක් පවතින ආකාරයට මෙම හෝටලය සකස් වී තිබීම විශේෂත්වයකි.

අයිස්ලන්තයේ ස්කාල්හෝල්ටිහි හවිටා ගඟ අසබඩව නිර්මාණය කර ඇති මෙය පරිසර හිතකාමී සංකල්පයට අනුව නිර්මාණය කර තිබේ. ගන වනාන්තරයේ ජීවත්වන සතුන්ගේ ක්‍රියාකාරකම් සහ ගස්වැල්වල විපර්යාසයන් සජීවීව දැක ගනිමින් වනාන්තරයක ජීවත්වනවා යන හැඟීම විඳගැනීමට හැකිවන පරිද්දෙන් මෙම හෝටලය සකසා ඇත. වනාන්තරය තුළ විනිවිද පෙනෙන ප්ලාස්ටික් ඝන ද්‍රව්‍යයකින් නිර්මාණය කර ඇති බුබුලාකාර කාමර කිහිපයකින් යුක්තව මේ හෝටලය නිර්මාණය කර ඇත.

එම කාමර ඌනා,ඇස්ටා,තෝරෝන්,වැල්ඩිස්,සහ මරියා වශයෙන් නම් කර ඇත. මෙම සෑම බුබුලාකාර කාමරයකම ඇතුළතට කොපමණ සීතලක් ගලා ආවද මිනිසුන්ට ජීවත්විය හැකි අන්දමට උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රමවේදයක් සැකසීම විශේෂත්වයකි. එමඟින් මනාව උෂ්ණත්වය රඳා පවතින අතරම සෑම පැය පහකට වරක්ම මෙම සියලු කාමර උණුසුම් වීම යන්ත්‍රාණුසාරයෙන් සිදු වේ. පුද්ගලයින්ට අවශ්‍ය නම් පමණක් උතුරු අර්ධද්වීපයේ අහසේ ආලෝකය කාමරවලට පතිත වන ආකාරයේ කාමර වෙන් කරවා ගැනීමට පුළුවන. ‍‍මෙම හෝටලයේ කාමර එක් පුද්ගලයකුට පමණක් නවාතැන් ගැනීමට හැකි කාමර මෙන්ම යුගළ ඇදකින් සමන්විත පුද්ගලයින් දෙදෙනකුට ජීවත්විය හැකි කාමරද තිබේ. මෙහි පවතින විශේෂත්වය වන්නේ මෙම කාමර සියල්ලෙහිම සනීපාරක්ෂක පහසුකම් නොතිබීමය. මිනිසුන්ගේ ශරීර කෘත්‍යයන් සිදු කිරීම සඳහා මෙන් ම ආහාර පිළියෙල කර ගැනීම සඳහා ‍ඝන වනාන්තරය මැද වෙනත් ස්ථානයක් ඉදි කර ඇත. මෙම කාමරවල නවාතැන් ගැනීම සඳහා පැමිණෙන සෑම කෙනෙක්ම පොදුවේ නාන කාමරය සහ මුළුතැන්ගෙය පාවිච්චියට ගත යුතු ය. එමෙන් ම මෙහි පැමිණෙන සෑම සංචාරකයෙක්ම සබන් සහ තුවායක් රැගෙන යා යුතු ය. ඒ මන්ද යත් මෙම හෝටලයේ දී සංචාරකයින්ට හිමිවන්නේ නවාතැන් ගැනීම සදහා කාමරයක් පමණි . මෙම සෑම කාමරයකම විදුලි ලාම්පුවක් මඟින් ආලෝකය ලබා ගැනීමේ සහ ජංගම දුරකථනයේ බැටරි ආරෝපණය කිරීමේ පහසුකමෙන් යුක්ත ය.මෙම බුබුළාකාර කාමරයක එක් රාත්‍රියක් ගත කිරීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් ISK 28.900 (£135) අය කරයි.

සීත හා ගිම්හාන සෘතුවේදී මෙම හෝටලයට පැමිණෙන සංචාරකයින්ට පරිසරයේ දක්නට ලැබෙන වෙනස්වීම් සියල්ලක් ම සජීවීව ගැනීමට හැකිවේ. එම නිසා මෙහි රාත්‍රී නවාතැන් ගැනීමට පැමිණෙන සංචාරකයින් වර්ධනය වී තිබෙන බව අයස්ලන්ත මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙය සම්ප්‍රදායික හෝටල් බැහැරව කූඩාරම් ජීවන රටාව නවීනත්වයට පත්කර එයට පරිසර හිතකාමීත්වය සුසංයෝග කර ගනිමින් නිර්මාණය කර තිබෙන සුවිශේෂී වූ හෝටලයක් බව අයිස්ලන්තයේ පරිසර විශ්ලේෂකයින් මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

අන්තර්ජාලය ඇසුරිණි

නව අදහස දක්වන්න