රජ මාවතේ සර්කස්කාරයෝ පොලිස් කූඩුවේ | දිනමිණ

රජ මාවතේ සර්කස්කාරයෝ පොලිස් කූඩුවේ

තනි රෝදයෙන් වැඩ පෙන්වන්න ගිය

මහනුවර රන්දෙනිගල රජ මාවතේ මාළිගාතැන්න ප්‍රදේශයේදී තම යතුරු පැදිය තනි රෝදයෙන් ධාවනය කරමින් සර්කස් පෙන්වීමට ගිය තරුණයන් දෙදෙනකු තලාතුඔය පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහනවලට බාධා කරමින් මොවුන් මෙම යතුරුපැදි මාර්ගයේ විරුද්ධ දිශාවට ධාවනය කොට ඇත. අත් අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින්ටද ඔවුන් චණ්ඩි කම් පෙන්වා ඇත.

ඔවුන්ගේ මෙම ක්‍රියාව නිසා මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක් අනතුරට ලක්වීමට පවා ගොස් බේරි ඇත. එක් අවස්ථාව ඉදිරියෙන් පැමිණි ලොරියක වැදීමට ගොස් යතුරුපැදි කරු බේරී ඇත.

මෙම මාර්ගයේ විශාල වාහන සංඛ්‍යාවක් ධාවනය වන අතර වාහන අනතුරුද බහුල ප්‍රදේශයකි.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ හාරගම සදැල්ල හා කුණ්ඩසාලේ ගල්මඩුවවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි. දෙදනොම වයස අවුරුදු විසි දෙකක් වන අතර එක් අයකුගේ යතුරු පැදියේ මුල් ආකෘතිය පවා වෙනස් කොට නිර්මාණය කොට ඇත. සැකකරුවන් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තලාතුඔය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර පොලිස් කොස්තාපල් 19222 මහින්දසිරි 35281 සෙනෙවිරත්න යන නිලධාරින් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සහ ඉදරිපරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි. 

ගලහ සමූහ සි.කේ. වික්‍රම

නව අදහස දක්වන්න