අර්ජුන් ඇලෝසියස් හිතවතෙක් වුණත් උදව් ඉල්ලුවේ නැහැ | දිනමිණ

අර්ජුන් ඇලෝසියස් හිතවතෙක් වුණත් උදව් ඉල්ලුවේ නැහැ

හෙක්ටර් අප්පුහාමි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

කෝප් කමිටුවත් බැදුම්කර ගනුදෙනුවත් අතර දුරකථන සංවාදවලට නම ගෑවීම. අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසමට යාම සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කී එජාපයට එරෙහි කුමන්ත්‍රණ කතාව ආදිය පිළිබඳ අදහස් දක්වමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මැති හමුවට එක්වේ.

* අගමැති කොමිසමට යාම ජනතාවට ගෞරවයක්
* සමහර මාධ්‍ය හොරු හංගනවා
* පරණ හොරු ගැන ආණ්ඩුව තීරණ ගන්නෙ නෑ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් ප්‍රකාශයක් මඟින් සාක්කි ලබා දුන්නා. අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට මෙලෙස ඉදිරිපත් වීම එජාප මන්ත්‍රීවරයකු ලෙස ඔබ දකින්නේ කෙසේද?

වත්මන් අග්‍රාමාත්‍යවරයා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ලැබීම මා ලැබූ වාසනාවක් වගේම භාග්‍යයක්. මොකද කවුරු මොනවා කිව්වත් අග්‍රාමාත්‍යවරයා රටේ ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරන අයෙක්. එවැනි අවංකව වැඩ කරන අයෙක් අප දැක නෑ. හැබැයි දේශපාලනයේදී ඔහු බොහෝම සූක්ෂමයි. ඒ සූක්ෂ්මකම ඔහු හැම තිස්සේම පාවිච්චි කරන්නේ ජනතාවගේ හොඳ පැත්තට මිස නරක පැත්තට නොවේ. බැඳුම්කර කොමිසමට අගමැතිවරයාට කවුරුවත් එන්න කීවේ නෑ. අගමැතිතුමා ස්වේච්ඡාවෙන්මයි මේ කොමිසමට ගියේ. අගමැතිවරයාගේ ප්‍රකාශ කොමිසම සාක්කියක් හැටියට බාර ගත්තෙත් නෑ. එතුමා දිවුරුම් ප්‍රකාශයක් මඟින් තමයි තම අදහස් ප්‍රකාශ ‍ෙකළේ. අගමැතිවරයා මෙතනදී ඇත්ත කතාවක් කිව්වා. බැඳුම්කර නිකුත් කළේ ඇත්තටම රටට මුදල් අවශ්‍යතාවක් තිබුණු නිසයි. සමහරු කිව්වේ රටට සල්ලි අවශ්‍යතාවක් තිබුණේ නෑ. නමුත් අවශ්‍යතාවක් මවලා තමයි බැඳුම්කර නිකුත් කළේ කියලා. එතුමා රටට සල්ලි ඕනෑ කරලා තිබුණු විදිහ මෙතනදී කීවා. හැබැයි මෙතනදී සල්ලි අරන් ති‍ෙයන්නේ ටෙන්ඩර් පරිපාටියක් අනුවයි. මහ බැංකුවේ ක්‍රියා පරිපාටියේ අඩුපාඩු තිබුණා නම් ඒවා ගැනයි කතා කළ යුතුව තිබුණේ. ඒත් සමහරු කතා කළේ එක්සත් ජාතික පක්ෂයේ අය හොරකම් කළා කියලනේ. මං හිතනවා අගමැතිවරයා බැඳුම්කර කොමිසමට පැමිණීම එක්සත් ජාතික පක්ෂයට ගෞරවයක්. රටේ ජනතාවට විශාල ගෞරවයක් කියලා. ඇත්ත සිද්ධිය හඳුනාගන්න අවශ්‍ය නම් ඒ හේතු තිබුණේ මෙතන. හැබැයි කාටහරි මඩ ගහන්න, කුමන්ත්‍රණය කරන්න, පක්ෂයක් විනාශ කරන්න ඔළුවේ තියන අය මේක හරි විදියට ග්‍රහණය කර ගන්න එකක් නෑ.

රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා නම් කියන්නේ බැඳුම්කර කොමිසම එජාපයට එරෙහි කුමන්ත්‍රණයක් කියලයි. ඔබත් ඒ අදහස අනුමත කරනවාද?

මා හිතන්නේ සුජීව ඇමැතිතුමා අදහස් කරන්න ඇත්තේ කෝප් කමිටුව මුලින්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී විගණකාධිපතිතුමා අතින් හා කෝප් කමිටුව අතින් යම් අඩුපාඩුවක් සිදුවුණා. ඒක තමයි මේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අඩුපාඩු සිදුව ඇත්තේ 2008 වසරේ සිටයි. නමුත් 2008 සිට පරීක්ෂා නොකර ඇයි මේ පරීක්ෂණ මැදින් පටන් ගත්තේ. මීට පෙර බැඳුම්කර සිද්ධිවල අඩුපාඩු වංචා වැහුවේ ඇයි? ඇයි ඒවා පරීක්ෂා නොකළේ? කවුද මේවා වැහුවේ. කුමක් නිසාද? මෙතන ලොකු වැරැද්දක් ‍තියනවා. ඒක තමයි සුජීව ඇමැතිතුමා මතුකරන්න ඇත්තේ. ඊළඟ කාරණය තමයි කෝප් කමිටුව කියන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පරීක්ෂණ කරන කාරක සභාව. කෝප් එකට කෙනෙක්ව චුදිතයෙක් කරන්න බලයක් නෑ. මේ බැඳුම්කර සිද්ධියේදී අපට තියෙන්නේ මහ බැංකුව හරියාකාර විදියට කටයුතු කරලා තියනවද කියලා බලන්නයි. මහ බැංකුවේ චක්‍රලේඛන නීතිරීතිවලට අනුකූලව මේ ගනුදෙනුව සිදුවුණාද කියා සොයා බැලීමයි අප කළ යුත්තේ.

අපිට සෘජුවම ප්‍රශ්න කරන්න පුළුවන් පරීක්ෂණ කරන්න පුළුවන් මේ ආයතනික කණ්ඩායම වන මහ බැංකුව ගැන විතරයි. ඉන් එහාට දෙයක් අපිට කරන්න බෑ. ඒ ආයතනයට සම්බන්ධ වන පෞද්ගලික ආයතනයක අයිතිකාරයෙක් ගැන අපිට හොයන්න බෑ. නමුත් කතා කරන්න පුළුවන්. දැන් මේ පරීක්ෂණයෙන් කණ්ඩායම් කීපයක් වැරදිකරුවෝ කරලා ඉවරයිනේ. එහෙම එයාලා වැරදිකරුවෝ කෙළේ කවුද? එහෙම නම් ඉස්සර වෙලාම වැරදිකරුවෝ කරන්න ඕනෑ මහ බැංකුවයි. මහ බැංකුව වැරැද්දක් කරලා නැතිනම් පිට කෙනෙකුට මහ බැංකුවට සම්බන්ධ වෙලා වැරැද්දක් කරන්න බෑ. ඒ කියන්නේ කෙනෙකුට මහ බැංකුවට බැහැලා බැංකුව කඩලා සල්ලි ගෙනියන්න බෑනේ. මහ බැංකුවේ වැරද්ද කෙළේ කවුද? කොයි විදියටද කෙළේ. ඒ ප්‍රශ්නය ගැන කතා කරනවා වෙනුවට දැන් මේ කොහෙවත් යන පාර්ශ්වයක් ගැනයි කතා කරන්නේ. එතකොට ඒ පාර්ශ්වය ගැන කතා කරද්දී මහ බැංකුව සම්පූර්ණයෙන්ම අමතක කරලයි කතා කරන්නේ. 2008 සිට සිදුවූ බැඳුම්කර නිකුත් කිරීමේ වැරදි ක්‍රමවේදය කොහොමද කළේ. පසුගිය දේවල් හොයන්නේ නැතිව මේ කරන ක්‍රමවේදය තුළ එක්සත් ජාතික පක්ෂයට මඩ ව්‍යාපාරයක් ගෙන යන බව පැහැදිලියි.

2008 වසරේ සිට මේ දක්වා බැඳුම්කර ගනුදෙනු පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඔබලා ජනාධිපතිවරයා‍ෙගන් ඉල්ලීමක් කළාද?

ඔව් අපි ජනාධිපතිවරයා හමුවී 2008 සිට ‍මේ දක්වා බැඳුම්කර ගනුදෙනු පිළිබඳව කොමිසමක් පත්කරන්න කියලා ඉල්ලා සිටියා. ඊළඟට අපි ලිඛිතව ඉල්ලීමක් කළා. හෙජින් ගිවිසුම, ග්‍රීක් බැඳුම්කර සම්බන්ධයෙන් එයාර් ලංකා එක සම්බන්ධයෙන් විශේෂ කොමිසමක් පත්කර පරීක්ෂා කරන්න කියලා.

ඊට ජනාධිපතිවරයාගෙන් ලැබුණු ප්‍රතිචාරය කුමක්ද?

ජනාධිපතිවරයා ඒවා බාරගත්තා. මං හිතන්නේ ඒවා කරන්න එතුමාට තවම කාලවේලාවක් නොලැබෙන්න ඇති. කොහොම වුණත් ගිය ආණ්ඩුවේ ප්‍රශ්න අදින බවක් අපි දකින්නේ නෑ. අපට එහෙම එකක් පේන්නේ නෑ. ඒවා සම්බන්ධයෙන් හරිහමන් පියවර මේ ආණ්ඩුවෙන් ගන්න බවක් නම් පේන්නේ නෑ.

ඉතිං ආණ්ඩුව කියන්නෙත් ඔබතුමාලමනේ. ඒ වැරදි හොයන්නේ නැත්නම් ඒක ඔබතුමාලගෙම වැරැද්දක් නේද?

ආණ්ඩුව අපේ තමයි. නමුත් වැඩ කටයුතු කිරීමේදී කණ්ඩායම් දෙකක් විදියටනේ කටයුතු කරන්නේ. කාටහරි පුද්ගලිකව මඩ ගහනවා නම් වැරදි චෝදනා කරනවා නම් මං හිතන්නේ ඒක තමයි කෙනෙක් කරගන්නා ලොකුම පාපය. අද රටේ සිද්ධවෙලා තියෙන්නේ හොරු අනිත් අයට හොරු කියමින් විශාල මඩ ව්‍යාපාරයක් ගෙනියන එකයි. එකෙන් අපි වගේ මොනවත් නොකර ජනතාවට වැරදි පණිවිඩයක් යන්න පුළුවන්.

ඔබ කෝප් කමිටුවේ සාමාජිකයෙක්. එලෙස කටයුතු කරද්දී ඇයි චුදිතයෙක් වූ අර්ජුන් ඇලෝසියස්ට දුරකතන ඇමතුම් ලබා දුන්නේ?

අර්ජුන් ඇලෝසියස් මා කලින් ඉඳන් දන්නවා. ඔහු චුදිතයෙක් කරලා නෑ.

කොහොමද ඔබ ඔහුව දන්නේ. ඔහු ඔබේ පාසල් මිත්‍රයෙක් ද?

නෑ. නෑ. ඔහු මට හඳුන්වා දුන්නේ මගේ යාළුවෙක් සාදයකදී. මා ඔහුව දන්නේ ව්‍යාපාරිකයෙක් විදියට. මා පාර්ලිමේන්තුවට එන්නත් කලින්. ඒත් කිසිම දවසක ඇලෝසියස් මගෙන් උදව් ඉල්ලන් නෑ. මං උදව් දීලත් නෑ. මං පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු දෙකයි. තවම මං විගණකාධිපති වාර්තා අධ්‍යයනය කරනවා. බැඳුම්කර ගැන මං තාම ඉගෙනගෙන නෑ, මට තව ඉගෙන ගන්න තියනවා. ඉතිං එහෙම තත්ත්වයක ඉන්න කෙනෙක්ගෙන් කවුරුවත් උදව් ඉල්ලන්නේ නෑ. එහෙම හිතනවා නම් ඒක මෝඩ සිතුවිල්ලක්.

රංග බණ්ඩාර රාජ්‍ය ඇමැතිතුමා නම් කියන්නේ කෝප් කමිටුව හමුවේ චෝදනා එල්ල වූ අයකු සමඟ සබඳතා පැවැත්වීම කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන්ට සුදුසු නැති බවයි.

ඒ එතුමාගේ අදහස වෙන්න ඇති. එතුමා හොරු, වංචාකාරයන්, දූෂිතයන් ඇසුරු නොකරනවා වෙන්න පුළුවන්. හැබැයි අපි දේශපාලනඥයෝ. ඒ නිසා හැම කෙනාම ඇසුරු කරනවා. අපිට හොරු කතා කරන්න පුළුවන්, වංචාකාරයෝ කතා කරන්න පුළුවන්. අපි හැම කෙනාටම කතා කරනවා. ඡන්දය ඉල්ලනකොට අපි කියන්නේ නෑ අපිට මහත්වරු විතරක් ඡන්දය දෙන්න කියලා. හැම කෙනාම සාමාන්‍ය පුරවැසියන් ලෙස අපි ඇසුරු කරනවා. ඒත් අපිට කතා කරන අයගේ හැසිරීම අපි දන්නේ නෑ. අර්ජුන් ඇලෝසියස් වැරදිකාරයෙක් ද, හොරෙක් ද කියා අපි තවම දන්නේ නෑ. සාමාන්‍ය පුරවැසියෙක් විදියටයි ඇසුරු කරන්නේ. ඉදිරි‍ෙය්දී අධිකරණයෙන් වැරදිකාරයෙක් වුණොත් ඒක දැනගන්න පුළුවන්.

පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලට එකතු කළ රුපියල් කෝටි 70 කට වෙච්ච දෙයක් නෑ කියලා කබීර් හෂිම් ඇමැතිතුමා කියනවා. මේ ජනතා මුදල්වලට වුණේ මොකක්ද කියලා හොයන එක ජනතා නියෝජිතයන්ගේ වගකීම නේද?

අපේ රටේ දැන් ගොඩාක් හොරකම් යට ගිහින්. ජනතාවටත් දැන් මේක තේරෙනවා. වෙන එකක් තියා ඒ ගැන කතා කරන්නෙවත් නෑ. මාධ්‍යයෙන්වත් මේ ගැන කතා කරන්නේ නෑ. සමහර මාධ්‍ය හොරුන්ව කොච්චර හංගනවද? සුද්ද කරනවද? අද අපි අලුත් ආණ්ඩුවක් හදලා වෙනත් ක්‍රමවේදයකට රට ගෙනියන්න හැදුවේ. හැබැයි ඒ ක්‍රමවේදය නෙවෙයි තියෙන්නේ. මේ යහපාලනය කියන එක සම්පූර්ණ බොරුවක්. මේකේ යහපාලනයක් නෑ. මේ එක එක්කෙනාගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් විතරයි තියෙන්නේ. හැම තැනම ප්‍රශ්න තියෙනවා. ඒවා ගැන ප්‍රශ්න කරන්න ගියොත් මේ රට ප්‍රශ්න කරන රටක් මිස වෙන වැඩක් කරන්න ලැබෙන්නේ නෑ.

එජාප ඇමැතිවරයෙක් හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා උසාවියට බාර නොදී සඟවාගෙන සිටි බවට එල්ලවන චෝදනාව ගැන මොකද කියන්නේ?

පත්තරවලින් දකින ඒවා ඇරෙන්න ඒකේ සත්‍ය තත්ත්වය මා දන්නේ නෑ. තාම අපි ළාබාල මන්ත්‍රීවරු. අපි තාම මේවා ගැන අධ්‍යයනය කරනවා. අපිට තව ගොඩක් ඉගෙන ගන්න තියනවා. අපි දකින දේ නෙවෙයි සමහර සිද්ධීන්වල තියෙන්නේ. දකින දේ අස්සේ වෙනත් දෙයක් තියෙන්නේ. මේ සමාජයේ බොහෝ දේ සිද්ධ වෙන්නේ මතුපිටින් පෙනෙන දේ නෙවෙයි, අභ්‍යන්තරය ඊට වඩා වෙනස්. හොඳම උදාහරණය පාර්ලිමේන්තුවේ කරන කතාවලින් හැන්ඳෑවට රූපවාහිනියේ දාන කතාවලින් පත්තරවල යන ප්‍රවෘත්තිවල එකක්වත් රට වෙනුවෙන් අලුත් යෝජනාවක් තියනවද? තනිකර යන්නේ මඩ. මේක මහ කඩචෝරු දේශපාලනයක්. ජනතාවටත් මේවා දැන් තිත්තයි. පාර්ලිමේන්තුවේ කරන හොඳ යෝජනාවලට මාධ්‍යයෙන් ඉඩක් ලැබෙන්නේ නෑ.

අර්ජුන් ඇලෝසියස් හා කෝප් සාමාජිකයන් අතර සිදුවූ දුරකථන පණිවිඩ මාධ්‍යයට හෙළිදරව් කිරීම ඔබලාගේ වරප්‍රසාද කඩවීමක් ලෙස දකිනවාද?

ඇත්තෙන්ම ඔව්. මම සීයට සීයක් විශ්වාස කරනවා අපේ වරප්‍රසාද කඩ වූ බව. මෙතනදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන පරීක්ෂා කිරීමක් සිදුව නෑ. අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථනය පමණයි පරීක්ෂා කර තියෙන්නේ.

එහෙම නම් ඒ තොරතුරු රහසිගතව තියාගන්න ඕනෑ. කොහොමද ඒවා මාධ්‍ය්‍යට ගියේ. කවුද ඒවා එළියට දීලා මාධ්‍ය සංදර්ශනයක් කළේ? මේ දුරකථනයෙන් කතා කළ මන්ත්‍රීවරු හොරු විදියට සලකමින් මාධ්‍ය හැසිරෙන්න පටන් ගත්තේ ඇයි? එතන වැරැද්දක් තියනවා.

පළාත් පාලන ඡන්ද පෙත්සම දෙසැම්බර් 04 දක්වා කල් ගියා. ආණ්ඩුව මේ හදන්නේ මැතිවරණ සිතියම අකුලන්නද?

එජාපය ඡන්දයට බය නෑ. මේ ඡන්දය කල් දාන්න ඕනෑ කාටද කියා ජනතාව දන්නවා. ඒක ජනතාවට කරන විශාල හානියක්.

ගාමිණී බණ්ඩාරනායක 

නව අදහස දක්වන්න