පුංචි ඡන්දය!? | දිනමිණ

පුංචි ඡන්දය!?

පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් යන්නේ නම්; එය බොහෝ දෙනකුට බලවත් ප්‍රශ්නයක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පැහැදිලි කරන අන්දමට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් තීන්දු ගැනීම සඳහා මහජන අදහස විමැසිය යුතුය. එම ප්‍රකාශනයේම සඳහන් වන්නේ ඡන්දයක් පැවැත්වීම හා එම ඡන්දයට මහජනයාගේ කැමැත්ත විමසීම අත්‍යවශ්‍ය බවය. මෙලෙස මහජනයාගේ අදහසට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට නොගැළපෙන බව ද එබඳු රාජ්‍යයන් කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය අවතක්සේරුවකින් ක්‍රියා කරන බව ද සඳහන් වී ඇත.

අපගේ පළාත් පාලන මැතිවරණය දිගින් - දිගටම කල්යමින් පවතී. එක පැත්තකින් නෛතික ගැටලු පැන නැඟී ඇත. තව පැත්තකින් සීමා නීර්ණය පිළිබඳ ගැටලු පැන නැඟී ඇත. මේවා සම්බන්ධයෙන් රටේ ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ විවිධ අදහස් දක්වන බව ද පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා සිටි‍න්නේ මැතිවරණ කල් දැමීමට තම පක්ෂයේ කිසිදු අදහසක් නැති බව ය. එක්සත් ජාතික පක්ෂය කියා සිටින‍්නේ මැතිවරණ වහා පැවැත්විය යුතු බව ය. ජනතා විමුක්ති පෙරමුණ කියා සිටින්නේ මැතිවරණය තවදුරටත් කල් දමන්නේ නම්; තමන් පාරට බැස ජනතාව සංවිධාන කරන බව ය. බලාගෙන යන විට මේ කිසිදු අදහසක; ප්‍රතිචාරයක වරදක් නැත.

නිරීක්ෂණය කළ යුතු ගැටලුව වන්නේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ මේ අයුරින් විවෘතව අදහස් දක්වද්දී මැතිවරණයට කාල නීර්ණයක් නැත්තේ මන්ද යන්න ය. මැතිවරණයකට අදාළ ආයතන තමන්ගේ කාර්යභාරය ඉටුකර නැතැ’යි තර්ක කිරීම ද වැරැදි ය. ලබන විසිහත්වනදා වන විට පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා දැන්වීම් පළ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මැතිවරණ කොමිසම විසින් ද ප්‍රකාශයට පත් කර තිබිණි. ඒ අතර අභියාචනා’ධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත්තේ මේ මැතිවරණයට අදාළ ගැසට් පත්‍රය අහෝසි කරන ලෙස ය. ඒ අනුව නීතිය සිය ආධිපත්‍යය ප්‍රකාශයට පත් කර ඇත.

මැතිවරණ කල් දැමීම පිළිබඳ නරක ආදර්ශ කිහිපයක් අපට තිබේ. 1999 දී වයඹ පළාත් සභා මැතිවරණය මේ ඉරණමට ගොදුරු විය. 1981 යාපනයේ සංවර්ධන සභා මැතිවරණය මේ ඉරණමට ගොදුරු විය. 1982 පාර්ලිමේන්තු මහ මැතිවරණය කල් දැමීම සඳහා යොදාගත් ජනමත විචාරණය මේ ඉරණමට ගොදුරු විය. දැනට වසර ගණනාවක් තිස්සේ කල් යමින් පවතින පළාත් පාලන මැතිවවරණයද එම ඉරණමට පත්වීම නො වැළැක්විය හැකිය.

රටේ පවත්නා නීතියට අනුව මැතිවරණ කොමිසමට ඉහළින් රටේ තීන්දු තීරණ ගනු ලබන ආයතන දෙකක් පවතී. ඉන් එකක් වන්නේ පාර්ලිමේන්තුවයි. අනෙක වන්නේ රටේ අධිකරණය යි. දැනට පවතින තත්ත්වයට අනුව වටහාගත හැක්කේ මැතිවරණ කල් දැමීමේ තීන්දුව ගෙන ඇත්තේ අභියාචනාධිකරණය වන බවයි.

මැතිවරණ කල් යෑමේ සිද්ධිය වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙමින් ය. අගමැතිවරයා ඉන්දියාවේ සිට නීතිඥ මණ්ඩලයට උපදෙස් දී ඇත්තේ මැතිවරණය වහා ම පැවැත්වීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සලකා බලා වාර්තා කරන ලෙස ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණ කල් දැමීමට තම පක්ෂයට කිසිදු අවශ්‍යතාවක් නැති බවය. වහාම සොයා බැලිය යුත්තේ මැතිවරණ පැවැත්වීමට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගත් පුද්ගලයන් හා සංවිධාන ගැන ය.

මැතිවරණයක් කල් දැමීමට හේතු - සාධක ගණනාවක් බලපායි. එක; විවිධ අණ පනත් ඉදිරිපත් කරමින් මැතිවරණයක් කල් දැමිය හැකි ය. දෙක; රජයකට යම් යම් නියෝග නිකුත් කරමින් මැතිවරණයක් කල් දැමිය හැකි ය. තුන; රටේ මහජන කැරලි හා උද්ඝෝෂණ පැවැත්වේ නම්; මැතිවරණයක් කල් දැමිය හැකි ය. මේ හැරෙන්නට විවිධ තහංචි ඉදිරිපත් කරමින්ද මැතිවරණයක් කල් දැමිය හැකි ය.

එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මැතිවරණය යනු මහජන අයිතියක් බව ය. එක්සත් ජාතික පක්ෂය එම මහජන අයිතිය කිසිවිටෙකත් නොසලකා නොහරින බව එම නිවේදනයේ සඳහන් වේ. එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුද වහා ම මැතිවරණය පවත්වන ලෙස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර සිටිති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙබඳුම ප්‍රකාශ කරමින් සිටින බව පැහැදිලි ය. එසේ නම්; අනෙකුත් පක්ෂවල අදහසද එසේමය. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අවශ්‍ය වන්නේ කාට ද?

දේශපාලනය යනු ද එක්තරා සූදුවක් යැයි කියනු ලැබේ. එහෙත් එම සූදුවෙන් තොරව යහපත් දේශපාලන සමාජයක් ගොඩනැඟීම යහපාලනයේ අර්ථය බව අපි හැමවිටම ප්‍රකාශ කර සිටිමු. සියලු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද පැවැත්විණි. මේ මොහොත වනවිට එහි ප්‍රතිඵලය අප දන්නේ නැත. කුමක් වුව පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දය වහා පැවැත්විය යුතුය. නැතහොත් අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන්නේ නැත. 

නව අදහස දක්වන්න