කෝ ඒ සබ්මැරීනය | දිනමිණ

කෝ ඒ සබ්මැරීනය

මංජුලා විජයරත්න

ආර්ජන්ටිනා නාවුක හමුදාවට අයත් අනතුරට පත් ඒ.ආර්.ඒ සැන් ජුවාන් සබ්මැරීනය, අනතුරට පත්වන්නට පළමුව බැටරි ආශ්‍රිත ගැටලුවකට මැදි වී ඇති බව ආර්ජන්ටිනා යුද හමුදාව පසුගිය දා නිවේදනය කළේය. එම ගැටලුව මතු වී තිබෙන්නේ සබ්මැරීනයෙන් පිපිරුම් හඬක් නැඟෙන්නට පැය දහයකට පමණ පෙරදී බව ආර්ජන්ටිනා යුද හමුදාව පවසයි. කෙසේ වුවත්, අනතුරට පත් සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම් කෙරෙන බව විදෙස් වාර්තාවන්හි දැක්වේ. එම මෙහෙයුම් සඳහා රටවල් රාශියක විවිධ තරාතිරම්වල විද්වත්හු සහභාගී වෙමින් සිටිති. දියෙන් මෙන්න ගුවනින්ද සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම දියත්ව තිබේ.

අර්ජන්ටිනාවට අයත් ඒ.ආර්.ඒ සැන් ජුවාන් සබ්මැරීනය කාර්යය මණ්ඩල සාමාජියකයන් හතළිස් හතර දෙනකු සමඟ දකුණු අත්ලාන්තික් සාගරයේදී අස්ථානගත වූයේ පසුගිය පහළොස් වැනිදාය. වඩාත් විශේෂත්වය වූයේ කාර්යය මණ්ඩල සාමාජිකයන් හතළිස් හතරදෙනා අතර එක් සබ්මැරින නිලධාරිනියකද සිටීමයි. එලියානා මාරියා ක්‍රව්සික් නම් වන ඈ ආර්ජන්ටිනාවේ පළමු සබ්මැරීන නිලධාරිනිය හැටියට ගෞරවයට පාත්‍ර වූ කාන්තාවය. අනතුරට පත් අවස්ථාව වනවිට සබ්මැරීනය ආර්ජන්ටිනාවේ දකුණු දිග ටිඑරා දෙල් ෆුඑගෝහි සිට මාර් ඩෙල් ප්ලාටා දක්වා ගමන් කරමින් තිබී ඇත. ඩීසල් - ඉලෙක්ට්‍රොනික් මේ සබ්මැරීනය, නාවුක පාලන මධ්‍යස්ථානය සමඟ අවසන් වරට සම්බන්ධතා පවත්වන විට තිබුණේ ආර්ජන්ටිනාවේ සිට කිලෝමීටර 430ක් පමණ ඈත මුහුදෙහිය. ඒ වනවිට සබ්මැරීනය සිය ගමනෙන් අඩකට ආසන්න දුරක් නිම කර සිටි බව වාර්තාවල දැක්වේ. සබ්මැරීනය මුහුදෙහි අස්ථානගත වන්නට පළමුව එහි කපිතාන්වරයා පාලන මධ්‍යස්ථානයට ලබාදුන් පණිවුඩ මාධ්‍යයට මේ වනවිට නිකුත් කර තිබේ. එහිදී නොවැම්බර් 15වැනිදා අලුයම 12.30ට පමණ කපිතාන්වරයා සඳහන් කර තිබෙන්නේ සබ්මැරීනය තුළට මුහුදු ජලය පිරෙමින් තිබෙන බවකි. ජලය පිරෙමින් තිබී ඇත්තේ සබ්මැරීනයේ සිට මතුපිට පෘෂ්ඨයට විහිදී තිබෙන, සබ්මරිනය තුළට පිරිසිදු වාතය රැගෙන යන නළයෙහිය. මේ තත්ත්වය නිසා සබ්මැරීනයේ බැටරි පද්ධතියේ පරිපථ ලුහුවත්වීමක් සිදු වී තිබෙන බව කපිතාන්වරයා සඳහන් කර තිබේ. එනිසාම ගින්නක් හෝ දුමක් හෝ නැඟෙන්නට පටන් ගෙන ඇතැයි කියාත් පණිවුඩයේ සඳහන්ව තිබී ඇත. ගින්න නිවා දමන්නට කාර්යය මණ්ඩලය සමත් වූ නමුත් බැටරි පද්ධතියේ පරිපථ ලුහුවත්වීම එපරිද්දෙන්ම තිබුණ බවට සාක්ෂි ඇත.

අලුයම හයට කපිතාන්වරයා පවසා තිබෙන්නේද පළමු පණිවුඩයම ය. පෙරවරු 7.30 වනවිටත් සැලසුම් කළ පරිදි, ගැටලුවකින් තොරව සබ්මැරීනය ගමන් කරමින් තිබෙන බව කපිතාන්වරයා සඳහන් කළ බව ආර්ජන්ටිනා නාවුක හමුදාව පවසයි. නමුත් නොවැම්බර් 15වැනිදා පෙරවරු 10.31ට පමණ සාගරයෙන් පිපිරුම් හඬක් නැඟී ඇත.

පිපිරුම් හඬ ගැන පළමුවෙන්ම තොරතුරු අනාවරණය වූයේ, සබ්මැරීනය අනතුරට පත්ව ඇති බව දැනගැනීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන ධ්වනි දත්ත ලබාගෙන කරන ලද සොයා බැලීම්වලදීය. එම පිපිරුම් හඬ නැඟී තිබෙන්නේ සබ්මැරීනය ඒ වනවිට ගමන් ගනිමින් තිබුණු ප්‍රදේශය ආසන්නයෙන් බව ආර්ජන්ටිනා නාවුක හමුදාව සනාථ කරයි. පිපිරුම් හඬ ඇසුණේ යැයි කියන වෙලාව වනවිට ඒ.ආර්.ඒ සැන් ජුවාන් සබ්මැරීනය පිළිබඳ තොරතුරු නාවුක පාලන මධ්‍යස්ථානයෙන් ගිලිහි ගොස් අවසන්ය. මේ පිපිරුම් හඬ ඇතිවුණේ පහරදීමක් හේතුවෙන් නොවන බව ආර්ජන්ටිනා නාවුක හමුදාව ප්‍රකාශ කරයි. එසේ වුවත් පිපිරුම් හඬට හේතුව කුමක්ද යන්න පැහැදිලි කිරීමට නාවුක හමුදාව අසමත්ය.

සබ්මැරීනය තුළ මිනිසුන්ට දින 10කට ආසන්න කාලයක් රැඳී සිටීමට අවශ්‍ය ඔක්සිජන් ඇති බව සඳහන් විය. එසේ වුවත් සබ්මැරීනය ගැන කිසිඳු තොරතුරක් නොලබා මේ වනවිට දින දහයකට වඩා වැඩි කාලයක් ගත වී ඇත.

රටවල් 18කට අයත් 4,000කට අධික පිරිසක් එම මෙහෙයුමෙහි නිරතව සිටින බව වාර්තා වේ. මෙහෙයුමට යොදවා ඇති නවුකා සංඛ්‍යාව 29කි. ඒ හැරුණු විට ගුවන්යානා නවයක්ද යොදවා ඇත . 1983 වසරේ නිෂ්පාදිත මේ සබ්මැරීනය දියත් කිරීමට තරම් සුදුසු මට්ටමේ නොතිබුණු බවට එම ඥාතීන්ගෙන් වරක් චෝදනා නැඟිණ. ඊට පිළිතුරු දෙමින් ආර්ජන්ටිනා නාවුක හමුදාව කියා සිටියේ සබ්මැරීනය යාත්‍රා කිරීමට සුදුසු මට්ටමක පැවැති බව තාක්ෂණික වශයෙන් සනාථව තිබෙන බවකි.

නව අදහස දක්වන්න