කෝටු කැබැලිවලින් නත්තල් ගසක් | දිනමිණ

කෝටු කැබැලිවලින් නත්තල් ගසක්

නත්තල් මාසෙත් උදා වුණා. දැන් ඉතින් නෑයෝ, හිතුවතුන් නිවෙසින් නිවෙසට සාදවලට එන්න පටන් ගන්නවා. නත්තල සමරන්න ලෝකවාසීන් දැන්ම තියාම විවිධ සැලැසුම් කරන්න පටන් අරන්. විශේෂයෙන්ම ප්‍රියසාද පැවැත්වීමේ දී අලංකරණය සඳහා යොදා ගන්නා සැරසිලි දැන්ම තියාම වෙළෙඳ පොළේ විකුණන්න තබා ඇති ආකාරය දකින්න පුළුවන්.

අපි නත්තල් මාසේ මුලින්ම ඔබට පෙන්වා දෙන්න යන්නේ, කිතුනු බැතිමතුන්ගේ නත්තල් සංකේතයක් වන නත්තල් ගසක ආකෘතියක්, හරිම පහසුවෙන් නිර්මාණය කර ගන්න ආකාරයයි. නත්තල් ගස නැති නත්තල් උත්සවයක් නැහැ. ඒ නිසා අප සකසන මේ නත්තල් ගහ, සාදය පවත්වන ස්ථානයේ බිත්තියට සරිලන විදිහේ එකක්. මේ නිර්මාණය කර ගන්න ඕනෑ වෙන්නේ, වේළුණු දර කෝටු කැබැලි හෝ ලී කැබැලි ටිකක් සහ නත්තල් ගස අලංකාරවත් කරන්න එල්ලා තබන සැරසිලි කිහිපයක්, කැමැති නම් විදුලි ආලෝකය සැපැයීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, සවිමත් නූල් සහ ගම් වගේ දේ විතරයි.

මේ අමුද්‍රව්‍ය ටික අරගෙන, තමන්ට සරසා ගන්න අවශ්‍ය බිත්තිය ළඟට යන්න. දැන් නත්තල් ගසේ හැඩයට දර කැබැලි හෝ ලී කැබැලි, නූලක ආධාරයෙන් හෝ ගම් ආධාරයෙන් අලවා ගන්න. දැන් ඒ කෝටුවල සැරසිලි ද්‍රව්‍ය එල්ලන්න. ඒවා අලවා ගන්න. මේ නිර්මාණය වඩාත් ලස්සන වෙන්නේ ආලෝකය සැපයූවොත් තමයි. කෑම මේසයක් ළඟට මෙය වඩාත් ගැළපෙනවා. නත්තල් සාදයට එන අමුත්තන් සතුටු කරන්න මේ මඟින් ඔබටත් අවස්ථාවක් තිබෙනවා.

- චින්තා රණසිංහ 

නව අදහස දක්වන්න