ලොක්කන් සහ සොක්කන් | දිනමිණ

ලොක්කන් සහ සොක්කන්

ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවාතාවුන් ලෙස සළකන දේශපාලන පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිවිරෝධයක්ද? මෙම ප්‍රශ්නය ඉස්මතු කිරීමට සිදුවූයේ දේශපාලනයට සක්‍රීයව සහභාගි වී සිටින සමහර දෙශපාලන පක්‍ෂ ක්‍රියාකාරීන් පසුගිය දිනවල මා හමු වූ අවස්ථා කිහිපයක දී අතිශය කලකිරීමකින් යුතුව ප්‍රකාශ කරන ලද සමහර අදහස් හේතුවෙනි.

මෙම අදහස් සියල්ල එකට කැටිකොට ගන්නවා නම් ඒවායින් ප්‍රකාශ වුයේ තමන් කොපමණ කැපකිරීමකින් පක්‍ෂයට වැඩ කළද පක්‍ෂ නායකයින් තමන් ගණන් නොගන්නා බවය. තමන්ට නොසළකන බවය. තමන්ගේ දුක් ගැනවිලිවලට ඇහුම්කන් නොදෙන බවය. කිසිම අවස්ථාවක දුරකථනයකට සම්බන්ධ කර ගැනීමට නොහැකි බවය. මුණගැසීම කළහැකි දෙයක් නොවන බවය. අමාරුවෙන් හෝ මුණ ගැසුණත් සළකන්නේ වහලූන්ට සළකන ආකාරයට බවය.

මේ හේතුවෙන් තමන් පක්‍ෂ නායකයින්ගේ වහලූන් බවට පත් වී ඇති බවය. ඉතාම කෙටියෙන් කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කොට පවත්වා ගෙනයාම සඳහා පිහිටුවා ගෙන තිබෙනවායැයි කියන එමෙන්ම ඒ සඳහා දිවි හිමියෙන් කැපවී කටයුතු කරනවායැයි කියන දේශපාලන පක්‍ෂ අභ්‍යන්තරය තුළ ප්‍රජාතන්ත්‍රවාදය කියා දෙයක් ඇත්තේම නැති බවය. දේශපාලන පක්‍ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට දැකිය හැක්කේ පක්‍ෂ නායකත්වයේ ආඥාදායකත්වයක් බවය. මෙම දුක් ගැනවිලි සාධාරණද? ඒවායේ සත්‍යයක් තිබේද? සැබැවින්ම දේශපාලන පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිවිරෝධයක්ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට නම් කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුකළ යුතුය.

පළමු කරුණ වන්නේ දේශපාලන පක්‍ෂ සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර පවතින සම්බන්ධතාවය සොයා බැලීමය. දෙවැන්න දේශපාලන පක්‍ෂවල අභ්‍යන්තර ව්‍යුහය ගොඩනැඟී ඇති ආකාරය සළකා බැලීමය.

දේශපාලන පක්‍ෂ සළකනු ලබන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවනාලිය ලෙසය. දේශපාලන පක්‍ෂවලින් තොරව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතීමට පවා නොහැක. ඒ තරමටම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන පක්‍ෂ එකට බැඳී පවතී. නූතන වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම සඳහා ඇති එකම උපකරණය දේශපාලන පක්‍ෂ වේ.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ දේශපාලන පක්‍ෂ විසින් පුළුල් කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. විසිරී ඇති මහජන මතය එකට එක්කාසු කරන්නේ දේශපාලන පක්‍ෂ විසිනි. එක්සාසු කරන ලද මහජන මතය ආණ්ඩුව කරා ගෙන යන්නේ දේශපාලන පක්‍ෂ විසිනි. මහජනතාව සතු දේශපාලන බලය රාජ්‍යයේ ස්වාධිපති බලය සමඟ එකට එකතු කරමින් අධිකාරී බලය බවට පත් කරන්නේද දේශපාලන පක්‍ෂ විසිනි.

සමාජය තුළ ඉස්මතු වන දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න පිළිබඳව එකිනෙකට පටහැනි විකල්ප මතවාද කිහිපයක් තිබෙන විටක ඒවා අතුරින් ප්‍රශස්තම විකල්පය තෝරා ගැනීම සඳහා ජනතාව දැනුවත් කරන්නේ දේශපාලන පක්‍ෂ විසිනි. බලයේ සිටින ආණ්ඩුවේ ක්‍රියා කලාපය, ගමන් කරන දිශාව යනාදිය පිළිබඳ තොරතුරු සපයමින් දේශපාලන වශයෙන් ජනතාව අවධියෙන් තබන්නේද දේශපාලන පක්‍ෂ විසිනි. රටේ අනාගත නායකයින් පුරුදු පුහුණු කරන්නේ දේශපාලන පක්‍ෂ විසිනි. රටේ සහ සමාජ ප්‍රගමණයේ ප්‍රධානම ගාමක බලවේග වන්නේද දේශපාලන පක්‍ෂයන්ය.

මේ අනුව පෙනී යනව නූතන දේශපාලන ක්‍රම තුළ දේශපාලන පක්‍ෂ කොතරම් වැදගත් සහ බලපෑම් සහගත ක්‍රියාකළාපයක් ඉටු කරනවාද යන්නය. විශේෂයෙන්ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය සඳහා දේශපාලන පක්‍ෂ අත්‍යවශ්‍ය වන අතර දේශපාලන පක්‍ෂවලින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කිරීමටවත් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව දේශපාලන පක්‍ෂ ගැන කථාකිරීමටවත් නොහැකි බව පවසන්නේ එබැවිනි.

සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන පක්‍ෂ එකම කාසියක දෙපැත්ත මෙන් වන අතර එය එකිනෙකින් වෙන් කිරීමට ගියහොත් සිදු වන්නේ දෙපැත්තම විනාශ වී එක පැත්තක්වත් ඉතුරු නොවීමය.

ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සඳහා මෙන්ම එහි ක්‍රියාකාරිත්වය සඳහාද දේශපාලන පක්‍ෂ අවශ්‍යම දෙයක් වූවද දේශපාලන පක්‍ෂ අභ්‍යන්තරය තුළ ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් දුරට ක්‍රියාත්මක වන්නේද? මෙය දේශපාලන පක්‍ෂවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පැනනැ‍ඟී ඇති වැදගත්ම ප්‍රශ්නය වේ. මේ සම්බන්ධයෙන් දියහැකි පිළිතුර වන්නේ දේශපාලන පක්‍ෂ අභ්‍යන්තරය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේම නැති තරම් බවය. හේතුව කුමක්ද? හේතුව දේශපාලන පක්‍ෂ තුළ ක්‍රියාත්මක වන පක්‍ෂ නායකත්වයේ ආධිපතිත්ව බලයයි. මෙය හඳුන්වන්නේ දේශපාලන පක්‍ෂ නායකත්වයේ කථිපයාධිකාරී බලය පිළිබඳ අයෝමය නීතිය ලෙසය. මෙම න්‍යාය ඉදිරිපත් කළේ 1911 වර්ෂයේ දී රොබට් මිචෙල් නමැති ඉතාලි ජාතික දේශපාලන විද්‍යාඥයා විසින් ප්‍රකාශයට පත්කළ Political parties (දේශපාලන පක්ෂ) යන කෘතිය තුළිනි.

ඕනෑම දේශපාලන පක්‍ෂයක් ගොඩනැ‍ඟී තිබෙන්නේ නායකයින් සහ සාමාන්‍ය සාමාජිකයින් යන කොටස් දෙකෙන්ය. මෙයින් නායකයින් සුළුතරය වන අතර බහුතරය වන්නේ සාමාන්‍ය සාමාජිකයින්ය. දේශපාලන පක්‍ෂවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයේ දී බාහිර වශයෙන් දැකිය හැකි වන්නේ අනෙක් ඕනෑම සමාජ සංවිධානයක මෙන් දේශපාලන පක්‍ෂ වලද නායකයින් සාමාන්‍ය සාමාජිකයින්ගේ කැමැත්ත සහ අනුමැතිය මත ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් තේරීපත් වන බවය. එම හේතුවෙන් නායකයින් සාමාන්‍ය සාමාජිකයින්ගේ අදහස් උදහස්වලට අවනතව කටයුතු කරන බවය. සාමාන්‍ය සාමාජිකයින්ට එපා වූ විටක නායකයින් නිලතලවලින් ඉවත් කොට නව නායකයින් පත්කර ගත හැකි බවය. දේශපාලන පක්‍ෂ ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය සාමාජික බහුතරයේ කැමැත්ත සහ බලය පදනම් කරගෙන බවය.

එහෙත් දේශපාලන පක්‍ෂ ආශ්‍රිතව ප්‍රායෝගිකව සහ සැබෑ වශයෙන් දැකිය හැකි තත්ත්වය ඉහත දැක්වූ තත්ත්වයට හාත්පසින්ම වෙනස් වේ. සැබෑ තත්ත්වය වන්නේ වරක් නායකත්වයට පත් වූ පසු සාමාන්‍ය සාමාජිකයින් කැමති වූවද අකමැති වූවද නායකයින් දිගටම පක්‍ෂ නායකත්වයේ රැඳී සිටින බවය. සාමාන්‍ය සාමාජිකයින්ගේ අදහස් උදහස් අනුව නායකයින් කටයුතු කරනවා නොව නායකයින්ට අවශ්‍ය ආකාරයට සාමාන්‍ය සාමාජිකයින් කටයුතු කරන බවය. බහුතරය වන සාමාන්‍ය සාමාජිකයින් විසින් නායකයින් පාලනය කරනවා නොව අතිශයින්ම සුළුතරයක් වන නායකයින් විසින් බහුතරය වන සාමාන්‍ය සාමාජිකයින් පාලනය කරන බවය.

මෙයින් තේරුම් ගත යුත්තේ කුමක්ද?. එනම් බහුතරයේ කැමැත්ත මත තේරී පත් වූ සුළුතර නායකත්වය විසින් එසේ තේරී පත් වූවාට පසුව නායකයින් වීම හේතුවෙන් අයත් කර ගන්නා ආධිපතිත්ව බලය බහුතර සාමාන්‍ය සාමාජිකයින්ගේ හිසමත පතිත කරමින් ඔවුන් වහලූන්ගේ තත්ත්වයට පත් කරමින් ආඥාදායක පාලනයකට යටත් කොට පාලනය කරන බවය.

දේශපාලන පක්‍ෂයක නායකත්වයට යමකු පත් වූ පසු ඔහු නායකත්වයෙන් ඉවත් කිරීම කිසිසේත්ම ලෙහෙසි හා පහසු දෙයක් නොවේ. එසේ කළහැකි වන්නේ එක්කෝ නායකයා ස්වකීය කැමැත්තෙන් ඉල්ලා අස්වුව හොත් නැතිනම් නායකයා මියගිය හොත් එසේත් නැතිනම් නායකයා ඝාතනය කළහොත් පමණි. මෙම ව්‍යතිරේඛයන්ට අමතරව ප්‍රජාතාන්ත්‍රික වූවද වෙනස් මාර්ගයකින් පක්‍ෂ නායකයා වෙනස් කිරීමට සාමාන්‍ය සාමාජිකයින් උත්සහ ගතහොත් සිදු වන්නේ නායකයා ඉවත් කිරීම නොව එය කිරීමට ක්‍රියාකළ සාමාන්‍ය සාමාජිකයින්ට පක්‍ෂය හැර යාමට සිදු වීමය. හේතුව එක්කෝ පක්‍ෂ නායකයාට විරුද්ධ වීම යන චෝදනාව එල්ල කරමින් පක්‍ෂයෙන් පන්නා හැරීමය. නැතිනමි පක්‍ෂ නායකයාට විරුද්ධ වීම හේතුවෙන් කෙරෙන මදිපුංචි කම් දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් තමන්ගේ කැමැත්තෙන්ම පක්‍ෂය හැර යාමය.

දේශපාලන පක්‍ෂයක නායකයාගේ ආධිපතිත්ව බලයට සාමාන්‍ය සාමාජිකයින් යටත් වීම වෙනත් ඕනෑම සමාජ සංවිධානයක නායකත්වයට සාමාන්‍ය සාමාජිකයින් යටත් වීමට වඩා බෙහෙවින්ම වෙනස් ස්වරූපයක් ගනී. අනෙක් සමාජ සංවිධානයන්හි නායකත්වය සම්බන්ධයෙන් දැකිය හැකි ලක්‍ෂණය වන්නේ නායකත්වය අත්තනෝමතික වන විට නායකයින් නිලතලවලින් ඉවත් කිරීමට සාමාන්‍ය සාමාජිකයින්ට තිබෙන හැකියාවය.

නමුත් දේශපාලන පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් බොහෝවිට දැකිය හැකි ලක්‍ෂණය වන්නේ නායකත්වයේ අත්තනෝමතිකභාවයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර ගැනීම උදෙසා සාමාන්‍ය සාමාජිකයින් උත්සහ ගන්නා විට ප්‍රජාතන්ත්‍රවාදය යටපත් වී නායකත්වයේ ආධිපතිත්ව බලය ඉස්මතු වී නායකයා විසින් තමන්ට එරෙහි වූ සාමාන්‍ය සාමාජිකයින් පක්‍ෂයෙන් පන්නා දැමීමය. එසේනම් දේශපාලන පක්‍ෂවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදය හුදු ඇස්බැන්දුමක්, මායාවක් හා රැවටිල්ලක් පමණක් වන්නේද?.

සැබෑ තත්ත්වය නම් එය ඇස්බැන්දුමක්, මායාවක් හා රැවටිල්ලක් වන බවය. දේශපාලන පක්‍ෂවල අභ්‍යන්තරය තුළ සැබෑ වශයෙන් දැකිය හැක්කේ නායකයා සහ ඔහු වටා සිටින දෙවන පංතියේ නායක කල්ලියේ ආධිපතිත්වය බලය මිස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. දේශපාලන පක්‍ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කරන්නේ අමුතුම ආකාරයකටය.

ඒ අනුව නායකයා කොතරම් ආඥාදායක වූවද, කොතරම් අත්තනෝමතික වූවද ඔහුට විරුද්ධ වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් වනවා පමණක් නොව සමාව දිය නොහැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්ද වේ. එම වරදට ඇති එකම දඬුවම පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමය. එසේ නොමැතිව සාමාන්‍ය සාමාජිකයින් තමන්ට විරුද්ධ වන්නේ ඇයිද යන්න සොයා බලා තමන් නිවැරදි වීමට නායකයා උත්සාහ ගැනීම නොවේ. මෙය ඕනෑම දේශපාලන පක්‍ෂයක නායකත්වය සම්බන්ධයෙන් දැකිය හැකි පොදු ලක්‍ෂණය වේ. දේශපාලන පක්‍ෂ නායකත්වය හා සම්බන්ධ අයෝමය නීතිය මගින් ප්‍රකාශ වන්නේ මෙයයි.

යමෙක් දේශපාලනය කරනවා නම් සහ දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය දරනවා නම් අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු අතුරෙන් එකක් වන්නේත් මෙයයි. එනම් දේශපාලන පක්‍ෂයක ලොක්කන් සහ සොක්කන් අතර පවතින සමනය කළ නොහැකි පරතරයයි.

මෙම පරතරය හේතුවෙන් ගොඩනැ‍ඟී තිබෙන සුළුතර ලොක්කන්ගේ ආඥාදායක බලය සහ එම බලය තමන්ට රිසි පරිදි භාවිත කරමින් බහුතරය වූ සොක්කන් පාලනය කිරීමට ලොක්කන්ට ඇති හැකියාව කොතරම් ද යන කරුණ අවබෝධ කර ගැනීමය. දේශපාලන පක්‍ෂයක බහුතරය සොක්කන් වූවද සොක්කන් සතු බහුතර බලයට කළහැකි දෙයක් ඇත්තේම නැති තරම්ය. දේශපාලනයේ දී සොක්කන් අනිවාර්යයෙන්ම නොකළ යුතු දෙයක් වන්නේ ලොක්කන්ට අභියෝග කිරීමය. එසේ කළහොත් සිදු වන්නේ තමන්ට ලොක්කන් අවනත කරවා ගැනීමට හැකි වීම නොව ලොක්කන් අමනාප කරවා ගෙන පක්‍ෂයෙන් එළියට යාමට සිදු වීමය.

ලොක්කන්ගෙන් යමක් ලබා ගැනීමට නම් සොක්කන් කළ යුත් අභියෝග කිරීම නොව ලොක්කන් ඉදිරියේ වැඳ වැටෙමින් ආයාචනා කිරීමය. මේ යථාර්තය සෑම සොක්කේම තේරුම් ගත යුතුය. එසේ නොකර දේශපාලනය කරන්නේ නම් වරදින්නේ සොක්කන්ට මිස ලොක්කන්ට නොවේ.

නව අදහස දක්වන්න