කබඩි නිලධාරීන් දෙදෙනකුට ජීවිතාන්ත තරග තහනමක් | දිනමිණ

කබඩි නිලධාරීන් දෙදෙනකුට ජීවිතාන්ත තරග තහනමක්

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා පිලිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය කළ පරීක්ෂණයකදී හෙලිවූ කරුණු අනුව කබඩි ලේකම්වරයකුට හා උප ලේකම්වරයකුට ජාතික ක්‍රීඩා සංගමයක හෝ ක්‍රීඩා කමිටුවක සාමාජිකයකු වීමට, ජාතික ක්‍රීඩා සංගමයට අනුබද්ධ ක්‍රීඩා සංගමයක සාමාජිකයකු වීමට හෝ නාමිකයකු වීමට හෝ ජාතික සංගමයක කිසිදු නිලතලයක් දැරීමට නොහැකිවන පරිදි ජීවිතාන්ත තහනමක් ක්‍රීඩා අමාත්‍යාංශය පනවයි.

කබඩි ලේකම්වරයා හා උප ලේකම්වරයා එම තහනම ඉවත්කරන ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසෙකර මහතාට අභියාචනාවක් එවා ඇති අතර එය ඉදිරි දිනෙක ක්‍රීඩා ඇමැතිවරයා විසින් සලකා බලා අවසන් තීරණයක් ලබා දීමට නියමිතය. එම තීරණය කුමක් වුවද, ලේකම්වරයාට හා උප ලේකම්වරයාට පනවා ඇති තහනම එලෙසම පවතින බව ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු ‘දිනමිණ‘ ට පැවැසීය.

කබඩි සම්මේලනයට ලැබුණු රුපියල් 754, 908ක මුදලක් නිලධාරියකුගේ පෞද්ගලික ගිණුමට ගෙන්වා ඇති අතර එයින් නිලධාරීන්ට රුපියල් 510,000ක මුදලක් ගෙවා ඇත. ඉතිරි මුදල් සංගමයේ ගිණුමට ලැබී නොමැති හෙයින් එම මුදල, වහාම බැරකළ යුතු බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර මහතාගේ අස්සනින් කබඩි සම්මේලනයට ලිඛිතව දැනුම්දී ඇත. මාසයකට අධික කාලයක් එම මුදල් පෞද්ගලික ගිණුමේ රදවා තබා ගැනීමෙන් ලබන පොලී මුදල් ගණනය කොට සංගමයේ ගිණුමට බැර කරන ලෙස ද දැනුම්දී තිබේ.

තවද, නිමාවට පත්වූ 12වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණයන් වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පුහුණුකරුවන්ට බෙදා දීම උදෙසා සම්මේලනයට ලබාදුන් රුපියල් 450,000ක මුදල අදාල පුහුණුකරුවන්ට නොගෙවා ඇති බැවින් එය ගෙවීමට කටයුතු කරන ලෙස ද දැනුම්දී ඇත. මෙම මුදල් ගෙවීමට අසමත් වුවහොත් ඉදිරියේදී මේ පිළිබඳ වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කරන බවද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම්දී ඇත.

කබඩි සම්මේලනයට ලැබී ඇති මුදල් පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීම හේතුවෙන් එය මුදල් අවභාවිතාවක් ලෙස සැලකෙන හෙයින් ක්‍රීඩා පනතේ රෙගුලාසිවලට අනුකූලව මුදල් අවභාවිතාවූ සංගමයේ ලේකම්වරයා හා උප ලේකම්වරයාට දඩුවම් නියම කිරීම සිදුවී ඇත.

විදේශ කබඩි තරගාවලි සදහා ශ්‍රී ලංකාවෙන් නිරීක්ෂකයන් තෝරා ගැනීමේදී නිවැරදි පුද්ගලයන් පමණක් නම් කිරීමට කටයුතු කරන ලෙසද දැනුම්දී ඇත. කබඩි සම්මේලනය පසුගිය කාලයේදී සිදුකළ සංචාරවලදී අක්‍රමිකතා සිදුවූ බවට ද ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි යොමුව තිබුණි.

කබඩි සම්මේලනයේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව ද තහනමට ලක්වූ කබඩි ලේකම්වරයා හා උප ලේකම්වරයා ක්‍රීඩා අමාත්‍යාංශයට දීර්ඝ පැහැදිලි කිරීම් එවා ඇතැයි වාර්තා වේ. මෙම පැහැදිලි කිරීම් පිළි ගන්නේද නැද්ද යන්න නැවැත විමර්ශනයකින් පසුව ක්‍රීඩා ඇමැතිවරයා තීරණය කරණු ඇත.

මේ අතර ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවා වහාම ක්‍රියාත්මක වන පරිදි කබඩි සම්මේලනයේ නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීමට අති විශේෂ ගැසට් නිවේදනයක් ඇමැතිවරයා විසින් නිකුත් කරන ලදී. එම ගැසට් නිවේදනය අනුව කබඩි සම්මේලනයේ නිලවරණය ඉක්මණින් පැවැත්වීම උදෙසා නාම යෝජනා කැඳවන ලෙසට ද නියෝග කොට ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32(ආ) සහ 33 වගන්ති යටතේ ඇමැතිවරයා සතු බලතල ප්‍රකාරව, කබඩි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවීමට හේතුවී ඇත්තේ නිලධාරීන්ගේ අර්බුද දුරදිග යෑම හා සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා හේතුවෙනි.

නව අදහස දක්වන්න