පද්මා­ව­ති­යගේ හින්දු තිල­කය | දිනමිණ

පද්මා­ව­ති­යගේ හින්දු තිල­කය

පද්මාවති චිත්‍රපටය

 

මීට මඳ කලකට පෙර, රාජස්ථානයේ ජායිපූර් නුවර පැවති ඉන්දියානු පත්‍ර කලා සංගමයේ සමුළුවකට සහභාගිවීමට මට ද අවස්ථාවක් ලැබුණි. ශ්‍රී ලාංකික නියෝජිත පිරිසේ නායකත්වය ඉසිලූ ප්‍රවීණ මාධ්‍යවේදී ඩී.එෆ්. කාරියකරවන මහතා තම කතාවේදී රාජස්ථානුවන්ට සරදමක් කරමින්, ඔවුන් අතර අපගේ නෑදෑයන් ද සිටි‍ය හැකි යැයි පැවසීය. ඔහු ඊට “ඓතිහාසික සාධකයක්” ද දක්වමින් අතීතයේදී සිංහල දීපයේ සිට පද්මාවතී නම් රූමත් කුමරියක, රාජස්ථානු රජ කෙනකුගේ බිසව වනු පිණිස, පරිවාර සෙනඟක් ද සහිතව එහි ගිය පවත සිහිපත් කළේ ය. එදා ඒ සමුළුවෙහි මුලසුන හෙබවූයේ, එවකට රාජස්ථානු මහ ඇමතිනිය වූ වසන්තා රාජේ ය. කාරියකරවනගේ මුකරි කතාවට, ඇයටද සිනා පහළ විය. එහෙත් එහි සිටි අනෙක් රාජස්ථානුවන් නම් ඒ කතාවට එතරම් ප්‍රසාදයක් දැක් වූ බවක් පෙනෙන්නට නොතිබුණි.

මෙම සිද්ධිය නැවතත් මගේ මතකයට නැඟුණේ, සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ, ‘පද්මාවතී’ හින්දි චිත්‍රපටයට එරෙහිව ඉන්දියාවේ උද්ගතව ඇති උණුසුම් තත්ත්වය හේතුකොටගෙනය.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේත්, ප්‍රධාන චරිතය රඟපාන දීපිකා පදුකෝන්ගේත් ගෙළ සිඳලන්නකුට රුපියල් කෝටි දහයක් දීමට සූදානම් බව, හර්යාන ප්‍රාන්තයේ, භාරතීය ජනතා පාක්ෂික දේශපාලනඥයකු වන සුරාජ් පාල් අමු නිවේදනයකොට ඇත. හින්දු අන්තවාදී කණ්ඩායමක් වන “රාජ්පුට් කාර්ණි සේනා ද’ ‘පද්මාවති’ යට එරෙහිව සටනට බැස සිටී.

මෙම දැඩි විරෝධයට මුල් වී ඇත්තේ ‘පද්මාවතී’ චිත්‍රපටය හින්දුත්වයට නිගා දෙන අයුරින් නිර්මාණය වී ඇත්තේය යන මතයයි. මුස්ලිම් රජකුට පෙම් බැඳීම හා අශ්ලීල නැටුම් ජවනිකාවන්හි යෙදීම, හින්දු කුමරියකට නොගැළපෙන ක්‍රියාවන් ය. එහෙයින් ඇයට ‘සුපර්ණක දඬුවම’ දිය යුතු යැයි හින්දු මූලධර්මවාදීහු කියති. සුපර්ණකා යනු රාවණා රජුගේ සොහොයුරියයි. රාමාගේ සොහොයුරු ලක්ෂ්මන්, ඇයගේ නාසය කපා දැමූ බව ජනප්‍රවාදයෙහි සඳහන් වෙයි.

ගැටලුව වන්නේ, පද්මාවතී නොහොත් මහාරාණී පද්මිණි, සැබෑ ඓතිහාසික චරිතයක් ද යන්න ඉතිහාසඥයන් විසින් මෙතෙක් සනාථකොට නොතිබීමයි. පද්මාවතී රැජින සාහිත්‍යය තුළ මුල් බැස ගත්තේ, වර්ෂ 1540 දි, සුෆී කවියකු වූ මලික් මුහම්මද් ජයසී විසින් රචිත ‘පද්මාවත’ නම් වීර කාව්‍ය තුළිනි. එහි කියැවෙන පරිදි රාජස්ථානයේ, චිතෝර් හි රජකම් කළ රතන් සෙන් ට සිංහල දේශයේ සිටි පද්මාවතී කුමරියගේ රූපශ්‍රීය ගැන අසන්නට ලැබෙන්නේ එරට රජ වාසළින් පැන ආ ගිරවකුගෙනි. පද්මාවතීගේ පියා ගන්ධර්ව් සෙන් නම් රජෙකි. ලංකා ඉතිහාසයේ නම් එබඳු රජකු ගැන අසන්නට නැත.

‘පද්මාවත’ කාව්‍යයට අනුව, දිල්ලියේ රජකම් කළ තුර්කි ආක්‍රමණිකයකු වන අලවුද්දීන් කිල්ජි, පද්මාවතී පැහැර ගනු පිණිස යුද වදී. ඉන් ඔහු ජයගනු ලැබුවද, පද්මාවතිය සියදිවි නසාගැනීම නිසා, සිය අභිප්‍රාය ඉෂ්ටකරගත නොහැකි වෙයි. පුරාවෘතය මෙසේ වුවද චිත්‍රපටයේදි පද්මාවතී හා අලවුද්දීන් පෙම්වතුන් බවට පත්කෙරෙයි.

මලික් ජය සී කවියාට අනුව, පද්මාවතී සිංහල කුමරියක වන නමුදු, භාරතයේදී ඇය නළලත හින්දුත්වයේ තිලකය තබා අවසන් ය. එය මැකීමට තැත්කරන්නෝ මරණයට නියම වෙති.

ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙසින් විරුදාවලී ලැබ සිටින ඉන්දියාවේ සිනමා කර්මාන්තයද වෙනත් කිසිදු රටකට නොදෙවැනිය. එබඳු රටක, ජනප්‍රවාදයක එන චරිතයක් සැබෑවක් ලෙස ගනිමින්, සුප්‍රකට කලාකරුවන්ට පහරදීමට උත්සාහ කිරීම පිටුපස වෙනත් දේශපාලන ප්‍රවණතාවක්ද ඇති බව විචාරකයෝ පෙන්වාදෙති. මුස්ලිම් රජකු වූ ෂාජහාන්ගේ නිර්මාණයක් වූ, ටජ් මහල උත්තර් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රචාරණය තුළින් ඉවත් කිරීමේ වැඩපිළිවෙළද ඊට එක් සාක්ෂියකි.

හින්දු අන්තවාදී සංවිධානවල මතය වන්නේ, පසුකලෙක ශ්‍රේෂ්ඨ පාලකයන් ලෙස ඉන්දීය ඉතිහාසයට ඇතුළු වූ අක්බාර් වැනි රජවරුන් පවා, හින්දුත්වයට එරෙහිව කටයුතු කළ දුෂ්ට ආක්‍රමණිකයන් බවයි. භාරතීය ජනතා පක්ෂ දේශපාලනඥයකු වූ සංගීත් සොම් පවසා ඇති ආකාරයට, මුස්ලිමුන්ගේ නම් ගම් මකාදමා ඉන්දීය ඉතිහාසය නැවත ලිවිය යුතුය. මෙබඳු පුද්ගලයන් නියෝජනය කරන්නේ, අගමැති මෝදිගේ පක්ෂය බව අමතක නොකළ යුතු ය.

‘පද්මාවතී’ විරෝධය එංගලන්තයට පවා ව්‍යාප්ත කිරීමට හින්දු කණ්ඩායම් කටයුතු කරයි. ලන්ඩනයේ වෙසෙන සමාජජාල මාධ්‍යවේදියකු වන, ඉන්දීය ජාතික සනී මලික් පවසා තිබුණේ, එබඳු අන්තවාදී මත ඉවසීමට එංගලන්තය සූදානම් නැති බවකි. එංගලන්තයේ සිනමා රසිකයන්ට, පුරවැසියන්ට හෝ සිනමාශාලාවන්ට අනිසි බලපෑම් කිරීමට හෝ නියෝග නිකුත් කිරීමට, ඉන්දියාවේ හින්දු අන්තවාදීනට කිසිදු අයිතිවාසිකමක් නැත.

මේ සියලු අර්බුද අතරේ, ඉන්දියාව තුළට ‘පද්මාවතී’ චිත්‍රපටයට ප්‍රසිද්ධියේ ම සහාය දක්වන කණ්ඩායම් සහ නායකයන් සිටින බවද සඳහන් කළ යුතුය. බටහිර බෙංගාල මහ ඇමතිනි මමතා බෙනර්ජි, පද්මාවතියට ඇගේ ප්‍රාන්තයට පිවිසීමට අවසර දුන්නාය. එහෙත්, නරේන්ද්‍ර මෝදි ප්‍රධාන බොහෝ දේශපාලනඥයන් ‘පද්මාවතී’ පිළිබඳව මුනිවත රකිති.

චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලමින් දේශපාලනඥයන් කීපදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියද ඔවුනට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. “නීතියේ දෙව්දුව” ඔවුනට කියා සිටියේ, එය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට බාර දී තමන්ගේ වැඩක් බලාගන්නා ලෙසය.

‘පද්මාවතී’ අර්බුදය ගැන තීරණයක් ගැනීමට පාර්ලිමේන්තු කමිටුවක්ද පත්කෙරුණි. අධ්‍යක්ෂ බන්සාලි ද එහි කැඳවුණි. අවසානයේදි, ‘පද්මාවතී’ ඉතිහාසය විකෘතිකොට ඇත්දැයි විමසීම ඉතිහාසඥයන් පිරිසකටම බාර කිරීමට තීරණය කෙරුණි.

ඉන්දීය චිත්‍රපට හා රූපවාහිනි සංගමයේ (IFTDA) සභාපති අශෝක් පණ්ඩිත්, එරට ගුවන්විදුලි හා ප්‍රවෘත්ති අමාත්‍ය ස්ම්‍රිටි අයිරානිගෙන් ඉල්ලීමක් කරමින් සිනමාකරුවන්ගේ ප්‍රකාශන නිදහස රැකදීමේ වැදගත්කම පිළිබඳව ඔහුගේ අවධානය යොමු කළේ ය. ඉන්දීය තිර නාටක රචකයන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන 5 ක් ම, අශෝක් පණ්ඩිත් සමඟය.

නාසය කපා දැමීමේ හා ගෙළ සිඳලීමේ තර්ජනයන්ට ලක්ව සිටින නූතන පද්මාවතිය වන දීපිකා පදුකෝන් ඒ පිළිබඳව මාධ්‍යයට පැවසුවේ මෙබඳු අදහසකි.

“ගැහැනියක්, කලාකාරියක් හා ඉන්දියානු පුරවැසියෙක් හැටියට මේ ගැන මා තුළ උපදින්නේ කෝපයක්. මෙය එක්තරා විදිහක නින්දා කිරීමක්. එහෙත් මේ තර්ජනය මා තුළ කිසියම් විනෝදයකුත් ඇති කරනවා. බිය කියන හැඟීම මා තුළ ඇතිවන්නේ නැති දෙයක්. කෙසේ වෙතත්, මට නීතිය ගැන විශ්වාසයි.”

පද්මාවතියගේ මුස්ලිම් පෙම්වතා නොහොත් අලව්මුද්දීන් කලිජිගේ චරිතය නිරූපණය කරන රන්වීර් සිං ගේ මතය වූයේ, ‘පද්මාවතී’ චිත්‍රපටය ගැන සෑම ඉන්දියානුවෙකුම ආඩම්බර විය යුතු බවය.

“මම චිත්‍රපටය වෙනුවෙන් සීයට දෙසීයක්ම පෙනී සිටිනවා. සංජේ බන්සාලිට ඉන්දියානු උරුමය සංස්කෘතිය ගැන හොඳ අවබෝධයක්, ඇල්මක් ගෞරවයක් තියෙනවා. ඔහු විශිෂ්ට සිනමාකරුවෙක්.”

රුපියල් කෝටි 190ක වියදමින් කළ ‘පද්මාවතිය’ ගේ ඉරණම, ඉතිහාසඥයන් විසින් විසඳන තුරු බලා සිටිය යුතුව ඇත. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ඉන්දියාව දෙකඩ කොට කළ විනාශයේ ප්‍රතිඵල, සිනමාව තුළින් ද මෙසේ වරින්වර ඉස්මතු වෙයි. ටජ්මහලය ද එපා වී සිටින හින්දුන්ට, මුස්ලිමුන් ද තම රටේම ජන කොටසක් බව අමතක වී යාම පුදුමයක්ද? දැන් ඔව්හු ජනප්‍රවාදයෙහි එන නුදුටු, නොසිටි පද්මාවතියක් වෙනුවෙන් ගැටෙති.

අධ්‍යක්ෂ සංජේ බන්සාලිගේ කියුමකින් ම සිත සිත සනසා ගැනීම මැනවයි සිතේ.

“කළු පැහැය යනු, ඔබට අන්ධකාරය විය හැකිය. එහෙත් මට එය විශ්වීය සත්‍යයකි. බොහෝ අගනා සිතිවිලි බිහිවන්නේ, මනසෙහි අන්ධකාරය තුළිනි. සෑම, අලුත් මිනිසෙක් ම උපදින්නේද, දරුගැබ තුළ ඇති අන්ධකාරය තුළිනි.”

පද්මාවතී අපේ වුණත් නැතත්, අපි බන්සාලි සමඟ ය. 

කපිල කුමාර කාලිංග


නව අදහස දක්වන්න