මුඛ­වා­ඩම්-ක්‍රිකට් හා හරි­තා­ගාර පිට්ටනි | දිනමිණ

මුඛ­වා­ඩම්-ක්‍රිකට් හා හරි­තා­ගාර පිට්ටනි

දිල්ලි නගරයේ වායු දුෂණය උග්‍ර වීම හේතුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය කිහිප වරක් අත්හිටුවන්න සිද්ධ වුණා. මේ සිද්ධිය දැන් ලෝකය පුරාම වායු දූෂණය පිළිබඳ නව සංවාදයකට මුල පුරා තිබෙනවා. විශේෂයෙන්ම වායු දූෂණය හේතුවෙන් ලෝකයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නතර කිරීමට සිදු වීම සමාජ මාධ්‍ය ජාලවල ඉතා උණුසුම් වාද විවාදවලට තුඩු දී තිබෙන බවක් දක්නට ලැබෙනවා. අපේ ක්‍රීඩකයන් මුඛවාඩම් බැඳගෙන මහත් අසීරුවෙන් ක්‍රීඩා පිටියේ රැඳී සිටින ආකාරය ලොව හැම ප්‍රබල මාධ්‍යයකම වාගේ ප්‍රමුඛ පුවත් ලෙස හුවා දැක්වීම හේතුවෙන් අපේ ක්‍රිකට්වලට වගේම රටටත් අලුත් ප්‍රසිද්ධියකුත් ලැබුණා.

මෑතකදී මා කිය වූ ඉන්දියන් කෙටි කතාවකත් ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වායු දූෂණය හේතුවෙන් අනාගත ඉන්දියාවට මුහුණ දීමට සිදු විය හැකි ව්‍යසනකාරී තත්ත්වය අපූරුවට නිරූපණය කර තිබුණා. මේ කතාවට පසුබිම් වන්නේ නගරයේ වායු දූෂණයෙන් ගැලවීමට ඈත ගමකට යන තරුණයකුට අත්වන හාස්‍යජනක ඉරණමයි. ගමේ මහ ගෙදරදී සෞඛ්‍යයට හිතකර සුන්දර දවසක් ගතකිරීමේ ආසාවෙන් උදෙන්ම අවදි වන ඔහුට එක්වරම හුස්ම ගැනීම අසීරු වෙනවා. මෙය දකින මහගෙදර හිමිකරු වන ඔහුගේ මහප්පා ඔහුගෙන් විමසන මුල්ම පැනය මෙයයි ‘‘අනේ.. අනේ ඔක්සිජන් සිලින්ඩරේ දා ගත්තේ නැද්ද? ’’ ඔක්සිජන් ආවරණය පැලඳ ගන්නා තරුණයා ඊළඟට ගැමි පරිසරයේ සුන්දරත්වය රස විඳිනු පිණිස එළියට බහින්න සූදානම් වෙනවා. ’’ පිස්සුද ළමයා? අපිට ගස් කොළන් බලන්න ඕනා වුණහම අපි යන්නෙත් නගරයේ හරිතාගාරයට. අලුත් ටවුම හැදුවට පස්සේ දැන් මෙහෙත් ආසාවටවත් ගහක් කොළයක් දකින්න නැතැ’’යි මහප්පා පවසනවා.

මේ කතාව අවසන් වෙන්නේ ‘‘නගරයට යන ඊළඟ බස්සෙක තියෙන්නේ කියටද’’ කියා තරුණයා සිය මහප්පාගෙන් විමසීමත් සමඟයි. මේ කතාව ලියන්නේ ඉන්දියාවේ වෙසෙන ප්‍රකට මහාචාර්යවරයෙක් වන අස්ගර් වජාහත්. ලාංකික මහාචාර්යවරයකු වන උපුල් රංජිත් හේවාවිතානගමගේ මෑතකදී පළ කළ ‘හතරමං හන්දියේ හිටගත් මිනිසා’ නමැති කතා සංග්‍රහයේ තමා මේ කතාව ඇතුළත් වී තිබෙන්නේ. ලේඛකයන් හා කලාකරුවන් විසින් සිය පරිකල්පන ශක්තියෙන් මවාපානු ලබන අනාගත පරිසර විනාශය හිතුවාටත් වඩා කලින් ලෝකය වෙත කඩා පනින ලකුණු තමා දිල්ලි නුවර සිදුවෙමින් පවතින මේ වායු දූෂණ කි‍්‍රයාවලියෙන් පෙන්නුම් කරන්නේ.

අද වන විට දිල්ලි නගරයේ වායු දූෂණය ඉතා නරක තත්ත්වයකට පත්ව ඇති බවයි ඉන්දියාවේ ජාතික හරිත විනිශ්චය සභාව පෙන්වා දෙන්නේ. මෙතරම් නරක තත්ත්වයක් තිබියදීත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සංවිධානය කිරිම පිළිබඳව ඔවුන් ක්‍රිකට් බලධාරීන්ට චෝදනා එල්ල කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට දිල්ලි නුවර වායු දූෂණය එහි පැවතිය යුතු අවම මට්ටමටත් වඩා තිස් තුන් ගුණයකින් නරකයිලූ. ආසන්න දවසක දිල්ලියේ පාසල් දැරියන් 200ක් විෂ වායුව හේතුවෙන් රෝහල්ගත කිරිමට සිදුවීමෙන්ම මෙහි භයානකත්වය පැහැදිලි වෙනවා. තමා ගෑස් කාමරයක සිර වී සිටින බවක් හැඟෙනවා යයි ප්‍රකාශ කිරීම මගින් දිල්ලි නගරාධිපති අරවින්ද් කෙජ්ජිවාල් දැන් තම පාලනයේ අසාර්ථකත්වය වක්‍රාකාරව පිළිගත් බවකුයි නොකියා කියා ඇත්තේ.

ඒත් මේ තරම් බරපතළ ව්‍යසනකාරි පසුබිමකදීත් දිල්ලි බලධාරීන් මිට යොදා ඇති පිළියම් නම් හාස්‍යජනකයි. දීර්ඝකාලින විසඳුම් සොයනු වෙනුවට තාවකාලික පැලැස්තර අලවමින් ඔවුන් විසින් කරනු ලබන ගොඩ වෙදකම් හැඳින්විය හැක්කේ අපේ ගැමි පිරුළක් වන ‘පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක්’ හැටියටයි. ඔත්තෙ - ඉරත්තේ අංක තහඩු වශයෙන් වෙන් කර වාහනවලට නගරයට ඇතුළු වීමට සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මින් එක විසඳුමක්. නගරයේ වාහන ගාල් කිරීමේ ගාස්තු ඉහළ දැමීම ඩීසල් හා පරණ වාහනවලට නගරයට ඇතුළු වීමට තහංචි පැනවීම හා ගොඩනැඟිලි ඉදිකිරීම් අත්හිටුවීම ආදියයි සෙසු විසඳුම් හැටියට හඳුන්වා දි තිබෙන්නේ.

ලෝකයේ නැඟී එන නව බලවතා වන චීනය මුහුණ දී සිටින ඉරණම ඉන්දියාවට වඩා දරුණු බවත් මෙහිදී අමතක නොකළ යුතුයි. පරිසරහිතකාමී සමතුළිත සංවර්ධනයක් පිළිබඳව මා ඕ සේතුන් වැනි විප්ලවීය නායකයන් තැබූ බලාපොරොත්තු සුණු විසුණු කරමින් අද චීනය වායුගෝලය දූෂණය කරන ප්‍රමුඛ රටක් බවට පත් වෙලා. ඇතැම් නගරවල උන් හිටි හැටියේ ඔක්සිජන් හීනතාවක් ඇති වී ඔක්සිජන් මුහුණු පැලඳගැනිමේ අනතුරු හැඟවීමේ සීනු පවා සවි කර ඇති බවයි ආරංචි මාර්ග කියන්නේ.

බටහිර සංවර්ධනයට අභියෝග කරතැයි කියන ආසියානු යෝධයන්ද බටහිරුන්ට නොදෙවැනි අයුරින් මෙසේ හරි හරියට වායුගෝලය උලාකද්දි ඒ අතර සිටින අපි වැනි ලිලිපුට්ටයන්ගේ තත්ත්වය කෙබඳුද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම පවසන ආකාරයට මහනුවර නගරවාසීන්ටත් ළඟදිම මුඛවාඩම් ගැටගසා ගැනීමට සිදු විය හැකියි. කඳු වළල්ලකින් වට වී තිබෙන මහනුවර නගරයේ ඇති වන වාහන තදබදය, එහි වායු දූෂණයේ ප්‍රධානතම සාධකය ලෙස සැලකෙනවා.

දිනකට වාහන ලක්ෂයක් පමණ මහනුවර නගරයේ සැරිසරණ අතර එහි වායු දූෂණය කොළඹට වඩා හතර ගුණයකින් වැඩිවීමට එයත් හේතුවක්ලූ. අධික ලෙස දුම්වැටි උරන්නන්ට වැළඳෙන පෙනහලු රෝගවලට ගොදුරු වන පාසල් දරුවන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම මහනුවර ජනතාව මුහුණ දි සිටින මේ අවදානම්සහගත ඉරණම පිළිබඳව කදිම නිදසුනක් ලෙසයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම වාර්තා පවසන ආකාරයට ඩීසල් දුමද දැන් පිළිකාකාරකයක් ලෙස හඳුනාගෙන ඇති අතර කවර ආකාරයෙන් හෝ සිදු වන වායු දූෂණය හේතුවෙන් මේ වන විට වසරකට අකාලයේ අහිමි වන මිනිස් ජීවිත සංඛ්‍යාව පනස් ලක්ෂයද ඉක්මවනවා. පසුගිය දශකය හා සැසඳීමේදී වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය 2016 වන විට සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ලෝක කාලගුණ විද්‍යාතනයේ අදහස.

මහපොළව මත පමණක් නොව සාගර පතුල්වල පවා මිනිසුන් විසින් ඉවක් බවක් නැතිව කරනු ලබන පරිසර හානිය වහාම පාලනය නොකළොත් නුදුරේදීම ඉතා බිහිසුණු ප්‍රතිවිපාකවලට අපට මුහුණ දීමට සිදු විය හැකිය කියා එම සංවිධානය අනතුරු හඟවනවා. තුරුලතා විනාශය හේතුවෙන් වායුවට මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය උරාගැනීමට නොහැකි වීමෙන් ‘එල්නීනෝ’ වැනි මහා නියඟ ඇතිවීම වැළැක්විය නොහැකියි. ඒ වගේම සාගරයට මුදාහැරෙන අපද්‍රව්‍ය හේතුවෙන් සාගරයේ අම්ල සාන්ද්‍රණය ඉහළ ගොස් මුහුදු ජීවීන් හා පැලෑටිද විනාශ වී යා හැකියි.

ලෝකයේ දියුණම සත්ත්ව කොට්ඨාසය තමන් යයි පම්පෝරි ගසන මිනිසා තමන් පමණක් නොව තමන්ට වඩා නොදියුණු ජීවීන්ගේද ජීවිත විනාස කරමින් යන මේ ගමන නතර විය හැක්කේ කොතනින්ද..? මේ ආකාරයටම සියලු දේ දිගටම සිදු වුණොත් මා මුලදී සඳහන් කළ මහාචාර්ය අස්ගර් වජාහත්ගේ කෙටිකතාවේ පැවසෙන ආකාරයට අනාගත මිනිසාට සොබාදහම දැකිය හැකි වනුයේ කෘත්‍රීම හරිතාගාර ඇතුළේ පමණයි. මහාචාර්වරයා ඒ කෙටිකතාව අද වගේ දවසක ලීවා නම් ඊයේ පෙරේදා දිල්ලියේ පැවැති ක්‍රිකට් තරගයේ සිද්ධියත් මීට ඈඳා ගන්නවා සහතිකයි. එහෙම වුණා නම් එතුමා ඒ තරගය පැවැත්වීම සඳහා කෘත්‍රීම ක්‍රීඩාගාරයක්ද නිර්මාණය කරනවා ඒකාන්තයි.

දැනටමත් මහමග ගමන් කරන කිසිවකු විස දුමෙන් හා දූවිල්ලෙන් ආරක්ෂා වීම පිණිස ඉඳ හිට මුඛවාඩමක් බැඳගෙන යන හැටි දකින විට මගේ හිත ගැස්සෙන්නේ හෙට අනිද්දාම අපටත් පාරට බහින්න වෙන්නේ ඔය විදිහටම නේද කියන භීතිය හිත පහුරු ගාන විටයි. 

කමල් පෙරේරා

නව අදහස දක්වන්න