නිරෝගී බව රැක ගන්න තණ පලසක ඇවිදින්න | දිනමිණ

නිරෝගී බව රැක ගන්න තණ පලසක ඇවිදින්න

නිරෝගී ජීවිතයක් ළඟා කර ගැනීම සඳහා, අධික වියදම් දරනවාට වඩා, සුළු දේ කීපයක් මඟින් ඔබට නිරෝගී දිවියක් ලබා ගැනීමට හැකි ය. අතීතයේ විසූ අපගේ මුතුන් මිත්තන්, උදෑසනම අවදි වී ඇවිදීමට පුරුදුව සිටි බව කියැවේ. එහෙත්, වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් සමඟ, මේ සියලු පුරුදු අපගෙන් ඈත් වෙමින් ඇත.

බොරළු හෝ වැලි පස මත ඇවිදිනවාට වඩා, තණ පලසක් මත ඇවිදීමෙන්, ශරීරයට බොහෝ වාසි ලබා ගත හැකි ය. කුමන ආකාරයේ තණ පලසක් මත ඇවිදීම කළ ද, එය ඔබගේ ශරීර සෞඛ්‍ය වර්ධනයට හේතු වේ. එහෙත්, සිංහල වෛද්‍ය විද්‍යාවේ වටිනා ඔසුවක් ලෙස සැලකෙන හීන් උඳුපියලිය තණ පලසක් මත ඇවිදීමෙන්, ඔබට වඩාත් සාර්ථක ප්‍රතිඵල ළඟා කරගත හැකි ය. උදෑසන පින්න වැටුණුවිට,ඇවිදීමට ඉතාමත් ම සුදුසු ම ය. එවිට, පාවහන් ගලවා ඇවිදීම කළ යුතු ය. මද උණු වතුරෙන් දෙපා පිරිසුදු කර ඇවිදීම වඩාත් ප්‍රතිඵලදායක ය.

තාර පාරක හෝ සිමෙන්ති බිමක ඇවිදීමට වඩා , තණ පලසක් මත ඇවිදීමෙන් ඔබගේ දෙපාවලට සහනයක් ලැබේ. මෙලෙස ඇවිදීමෙන්, ශරීරයේ රුධිර සංසරණය කාර්යක්ෂම වේ. රුධිර සංසරණය ක්‍රමානුකූලව සිදු වීම, ශරීරයේ ඇති බොහෝ ලෙඩ රෝගවලට ඖෂධයකි. ආර්තවය සම්බන්ද ගැටලු, වකුගඩු, ගර්භාෂය හා හෝමෝන සම්බන්ධ රෝග ඇති කාන්තාවන්ට, මෙවැනි ස්ථරයක ව්‍යායාම කිරීමෙන් වාසි ලබාගත හැකි බව වෛද්‍ය මතයයි.

ප්‍රතීක ක්‍රියා හා සම්බන්ධ කලාප බොහොමයක් අපගේ යටි පතුලේ පිහිටා ඇත. මේ කලාප උත්තේජනය වීම මඟින්, ඒවාට සම්බන්ධ අවයවවල ක්‍රියාකාරිත්වය යහපත් තත්ත්වයක පවත්වා ගත හැකි ය. මෙලෙස ඇස්, කන්, පෙනහලු, බඩ, මොළය, වකුගඩු හා සම්බන්ධ ස්නායු රාශියක් යටි පතුලේ පිහිටන නිසා, උදෑසනම තණ පලසක් මත ඇවිදීමෙන් මේ සියලු ඉන්ද්‍රියන් උත්තේජනය කරගත හැකි ය. මේ මඟින් නිරෝගී, සෞඛ්‍ය සම්පන්න සිරුරක් ලබාගත හැකි ය.

මීට අමතරව අප පොළවේ ඇවිදින විට, පළමු, දෙවැනි හා තුන්වැනි ඇඟිලිවලට වැඩි බරක් ලබා දේ. ඇස් හා සම්බන්ධ ස්නායු බොහොමයක් මේ ඇඟිලි තුනේ දක්නට ලැබෙන නිසා, තණ පලසක් මත ඇවිදීමෙන්, අපගේ ඇස්වලට විශේෂ ප්‍රතිලාභ ලැබේ.

තණ පලසක හිමිදිරියේ ඇවිදීමේදී, ඔබ නොදැනුවත්වම උදෑසන හිරු එළිය,නැවුම් වාතය,නිස්කලංක වටපිටාව සඳහා නිරාවරණය වේ. නැවුම් ඔක්සිජන් ඔබගේ ශරීරය ප්‍රාණවත් කරයි. උදෑසන වටපිටාව එතරම් කලබලකාරී නොවන නිසා, එය යහපත් මානසිකත්වයකට උපකාරී වේ. උදෑසනම තණ පලසක් මත ඇවිදීමෙන්, ඔබගේ එදින කටයුතු සියල්ල උද්‍යෝගයෙන් හා යහපත් මනසින් නිම කළ හැකි ය.

 

අන්තර්ජාලය ඇසුරිනි

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න