යටිපෙළ කියවන්න දෙයක් දුන්නා | දිනමිණ

යටිපෙළ කියවන්න දෙයක් දුන්නා

ධම්මික සෙනෙවිරත්න
සුමුදු නිරාගී සෙනෙවිරත්න

පාඨකයා ග්‍රහණය කර ගත හැකි උපක්‍රම යොදන්න ඕනැ කියලා මම විශේෂයෙන් හිතුවේ නැහැ. එහෙත්, මේ කෙටිකතා කියැවීමේ දී පාඨකයා සක්‍රීය පුද්ගලයෙක් කරන්න මට වුවමනා වුණා. කලින් කී ආකාරයට මතුපිට තලයක් හා ගොඩනංවන ලද තලයක් සහිත කෙටිකතා ලිවීමේ එක් අරමුණක් වූණේ ඒක. එහි දී මා එකලස් කළ නිර්වාග්මය සංඥා හා රූපක තුළ, ආකර්ෂණය රැඳිලා ඇති.

රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ඔබේ පළමු නවකතාව වන ‘දූල්වල අලංකාරේ’ කෘතියට පසු, ඔබේ පළමු කෙටිකතා සංග්‍රහය ‘ගිහින් එන්න කානිවල්’ නමින් එළි දැක්වූවා. මනාව තෝරා ගත් ප්‍රබල කෙටිකතා අටක් ඊට ඇතුළත්. මේ කෘතිය ගැන ඔබේ හැඳින්වීම කෙබඳුද?

මේ කෘතියට ඇතුළත් වෙන්නේ කාලයක් තිස්සෙ ලියැවුණු, ඒ වගේම වරින් වර සංශෝධනය කිරීමෙන් ඔපමට්ටම් වුණු කෙටිකතා සමූහයක්. ලියා තිබූ කෙටිකතා අතරින් මේ කෘතියට කතා තෝරා ගැනීමේ දී, විවිධ සමාජ තලවලට අයත් කතා ඇතුළත් කිරීමට මම උත්සාහ කළා. ඒ නිසා, ග්‍රාමීය, නාගරික, ඉහළ මධ්‍යම පාන්තික, පහළ මධ්‍යම පාන්තික, පහළ පාන්තික ආදී විවිධ සමාජ මට්ටම්වල චරිත මේ කතා තුළ හැසිරෙන බව දැකිය හැකියි.

කෙටිකතාවල අත්දැකීම් ගැනත් යමක් කිව යුතුයි. ‘පෙතියා’ කෙටිකතාව හැර අනෙක් සියල්ලටම පාදක වී ඇත්තේ සත්‍ය අත්දැකීම්. මගේ ස්වයං අත්දැකීම් වගේ ම, අන් අයගෙන් මා ඇසූ දේ ඒ කතාවලට ආශ්‍රය වී තිබෙනවා. වරක් මට අසන්නට ලැබුණා නුදුරු ගමක වාසය කළ මෙහෙණින් වහන්සේ කෙනෙක්, ආහාර අහේනිය නිසා ගිනි තබාගෙන දිවි නසා ගත් බව. එය අප සමඟ පැවසූ කෙනා කීවේ ‘‘කන්න නැති බව කිව්ව නම් අපි නො දී ඉන්නවද?’’ කියලයි. දිවි නසා ගැනීමේ පුවතටත් වඩා ඒ ප්‍රකාශය තමයි මගේ හිතේ කම්පනයක් ඇති කළේ. තමන්ට ආහාර හිඟ නම්, මෙහෙණින් වහන්සේ ඒ බව කිය කියා ගම වටේ යා යුතුද? පසුව මම, ගම්වල සුලබව තිබෙන භික්ෂුණී ආරාම ගැන නිහඬ නිරීක්ෂණයක් කළා . ස්ත්‍රීන් වීම නිසා ම ඔවුන් අත් විඳින ඇතැම් දුෂ්කරතා සහ ආර්ථික පදනමක් නොමැති වීමේ ගැටලූව මම දැක්කා. ඒ අත්දැකීම් තමයි ‘මිදුණා මිදුණා මනාව මිදුණා’ කතාවට පසුබිම් වුණේ. ‘ගිහින් එන්න කානිවල් කතාවත්’ මගේම අත්දැකීමක්. වරක් අපි නෑදෑ පිරිසක් සමඟ කොල්ලූපිටියේ කානිවල් අයිස්ක්‍රීම්හලට ගියා. අපව රැගෙන ගිය ඥාතියා පැවසුවා ඒ ගොඩනැගිල්ල ඉස්සර ධර්මපාලතුමාගේ පවුලට අයත් නිවෙසක් බව. ඒ වගේම දැන් එය මුස්ලිම් දේශපාලනඥයකුට අයිති බව. ඒ තත්ත්වයේ ලොකු උත්ප්‍රාසයක් තියෙනවා. දැන් එතැන ජනප්‍රිය අයිස් ක්‍රීම් ශාලාවක් බවට පත්ව තිබීම එය වඩාත් තීව්‍ර කරනවා. ඒක තමයි කෙටිකතාවට පසුබිම් වුණේ. මෙබඳු සමාජ සිදුවීම් ගැන මගේ කියවීම තමයි මේ කෙටිකතා සංග්‍රයෙන් ඉදිරිපත් වෙන්නේ.

නිර්මාණාත්මක ප්‍රකාශනයේ දී, ඔබ වඩාත් රුචි කරන්නේ නවකතාවටද? කෙටිකතාවටද?

මම ඒ ක්ෂේත්‍ර දෙකටම කැමැතියි. යම් අත්දැකීමක් ඉදිරිපත් කළ යුත්තේ නවකතා මාධ්‍යයෙන්ද? කෙටිකතා මාධ්‍යයෙන්ද? කියන එක ඒ අත්දැකීමේ ස්වභාවය විසිනුයි තීරණය කරන්නේ. ඒ නිසා, යම් අත්දැකීමකට වඩාත් උචිත කුමන මාධ්‍යයද? කියන කාරණය ඉතා සූක්ෂ්මව තීරණය කළ යුත්තක්. කෙටිකතා කියන සාහිත්‍යමය මාදිලියේ ඉඩ පරාසය ඇතුළේ, යම් අත්දැකීමක් තියුණුව ඉදිරිපත් කිරීම, නවකතාවක දී එසේ කරනවාට වඩා දුෂ්කර බවයි මට දැනුණේ. මොකද කෙටිකතාවක දී කරන්නට වෙන්නේ විස්තර කිරීමක් නෙමෙයි. හැඟවීමක්.

කෙටිකතාව නම් ප්‍රබල සාහිත්‍ය ශානරයට ආවේණික ගුණාංග, ආකෘතිකමය ලක්ෂණ මනාව අවබෝධ කර ගනිමින් මේ කෙටිකතා ඉදිරිපත් කිරීමේ දී, ඔබේ හැදෑරීම් කෙසේ වීද? ඔබට ආභාසයක් වූ නිර්මාණවේදීන් සිටිනවාද?

කෙටිකතාව කියන මාධ්‍ය පිළිබඳ මගේ දැනුම ගොඩනැ‍ඟී තිබෙන්නේ ස්වාධීන හැදෑරීම් මඟිනුයි. න්‍යායික කියැවීම් වගේම, වෙනත් ලේඛකයන්ගේ කෙටිකතා අවබෝධයෙන් කියවීමත් ඒ හැදෑරීමට අයත්. මුද්‍රණයෙන් පළ නොකළ නමුත්, මම සෑහෙන කාලයක් තිස්සේ කෙටිකතා ලියා තිබෙනවා. එක ම කතාව නොයෙක් ක්‍රමවලින් ලිව්වා. වරින් වර සංශෝධනය කළා. වඩා සුදුසු ආකාරය කුමක්ද? කියා නිරීක්ෂණය කළා. ඒ විදිහට තමයි මාධ්‍ය වටහා ගත්තේ. අජිත් තිලකසේන, ජයතිලක කම්මැල්ලවීර, නිශ්ශංක විජේමාන්න, ලියනගේ අමරකීර්ති, පියල් කාරියවසම් වැනි ලේඛකයන්ගේ කෙටිකතා මම විශේෂයෙන් අධ්‍යයනය කරනවා. ප්‍රස්තුතෝචිතව රූපීය විචිත්‍රතා ඇති කරන ආකාරය ගැන මම උගත්තේ, ඔවුන්ගේ කෙටිකතා කියැවීමෙන්.

සමස්තයක් ලෙස මේ හැම කෙටිකතාවකම සංකේත භාවිත තියුණුව නිරීක්ෂණය කළ හැකියි. කොල්ලූපිටියේ අයිස්ක්‍රීම්හල, බණ්ඩාරනායක ප්‍රතිමාව, පුරන් අප්පු ස්මාරකය, සුපර් මෑන්, අග්නි ප්‍රේතතයා සහ තවත් බොහෝ නිදසුන් ඒ සඳහා දැක්වීමට පුළුවන්. මේ කාරණය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ?

මේ කතා සාමාන්‍ය කතාන්තර ස්වරූපයෙන් ඉදිරිපත් නොකරන්න මම දැනුවත් උත්සාහයක් ගත්තා. මේ කෘතියේ එන බොහෝ කෙටිකතා තල දෙකකින් සමන්විතයි.

ඒවායේ මතුපිට තලයකුත්, සිතාමතා ගොඩනංවන ලද දෙවැනි තලයකුත් තියෙනවා. මතුපිට තලය පමණක් ග්‍රහණය කර ගන්නා කෙනෙක්, මේවා සරල කතා වශයෙන් සලකාවි. ඒ මතුපිට තලයේ එකලස් කර තිබෙන සංකේත හා රූපක තමයි ගොඩනංවන ලද තලය වෙත යන යතුර. හැබැයි ඒ සංකේතාර්ථ හා රූපකාර්ථ වටහා ගැනීමට නම්, පාඨකයා සූක්ෂ්ම කියවන්නෙක් විය යුතුයි. නිදසුනක් ලෙස ‘ගිහින් එන්න කානිවල්’ කතාවේ බණ්ඩාරනායක ප්‍රතිමාව ගත්තොත්, යම් කෙනෙක් එහි විශේෂත්වයක් නොදකින්නත් පුළුවන්. එය ගාලූ මුවදොර පිටියේ සැබෑ පරිසරය විස්තර කිරීමේ දී යොදා ගත් අංගයක් විදිහට පමණක් දකින්න පුළුවන්. මේ කෙටිකතාවේ මතුපිට තලයේ තියෙන්නේ, ඉහළ මධ්‍යම පාන්තික ජීවිතයේ දින චර්යාවට අයත් සාමාන්‍ය විස්තර. ඒත්, එහි ගොඩනැගූ තලය මෙරට සමාජ විපර්යාසය, දේශපාලනය, ඉතිහාසය වැනි දේ පිළිබිඹු කරනවා.

ඔබ මේ කතා ඉදිරිපත් කරන ශෛලියේ ඇති විශේෂත්වය ගැනත්, භාෂා භාවිතය ගැනත් පැහැදිලි කළ හැකිද?

ඉහත කී ආකාරයට තල දෙකකින් යුක්තව කතා ලියා තිබීම එක් ශෛලිමය ලක්ෂණයක්. කෙටිකතා කිහිපයකදීම ඒ කතා වෙනත් බාහිර පඨිත හා සම්බන්ධ කර තිබීම, මා යෙදූ තවත් ක්‍රමයක්. ‘මිදුණා මිදුණා මනාව මිදුණා’ කතාවේ යොදා ඇති ථෙරී ගීය එවැන්නක්. ‘අග්නි ප්‍රේතත වස්තුවේ’ එන හීනය, සීහලවත්ථුවේ දැක්වෙන කතාවක්. ‘කළු පෙට්ටිය’ කෙටිකතාවේ කුරුකුලසූරිය නිතර කියන ‘රුසිරු ගුණ සීතා’ කියන කාව්‍යශේඛරයේ කවිය වුණත්, අහඹු තෝරා ගැනීමක් නෙමෙයි. ඒ ඒ කෙටිකතාවල චරිත හා සිදුවීම් සමඟ, අර බාහිර පඨිතවල අර්ථ සම්බන්ධ කර ගැනීමෙන් අර්ථජනක ශක්තිය ඉහළ නැංවේවි කියා මා සිතනවා.

භාෂාව ගත්තොත් කතාවෙන් කතාවට භාෂාව වෙනස් බව දකින්න පුළුවන්. ‘සිලි සිලි-සිරි සිරි’ කෙටිකතාව කට වහරෙනුයි ලියා තියෙන්නේ. අනෙක්වා සාමාන්‍ය ගද්‍ය ව්‍යවහාරයෙන් ලිව්වා. ඒ වගේම, කතාවෙන් නිරූපණය වන චරිතවල පන්තිය අනුව යොදා ඇති සංවාද භාෂාව වෙනස්. ඇතැම් විට විශේෂ යෙදුම් මඟින් අදහස තීව්‍ර කරන්නත් අත් හදා බලා තියෙනවා. ‘‘ආනන්ද බය’’, ‘‘පිරිපුන් තලෙළු දෑත’’, ‘‘වචන හයේ පහර’’ වැනි යෙදුම් නිදසුන් වශයෙන් දක්වන්නට පුළුවන්.

‘ගිහින් එන්න කානිවල්’, ‘රාමු දෙකේ කතාවක්’ වැනි කෙටිකතා මඟින් විවිධ සමාජ-ආර්ථික-සංස්කෘතික විපරීතයන්ට හසු වූ අපේ ජීවිත හා සමාජය ගැනත්, ‘ගඩුව’, ‘කළු පෙට්ටිය’ වගේ කෙටිකතා විවිධ චරිත හා මනෝභාවයන් තියුණු ලෙස ගෙන හැර පෑමත්, ‘සිලි සිලි-සිරි සිරි’ කෙටිකතාව අප ආදරයෙන් වැළ`ද ගත් නූතන පරිභෝජනවාදී නිදහස් වෙළෙඳ ආර්ථිකය ඇති කළ බලපෑම ගැනත් ආදී වශයෙන් මතු කරන සාහිත්‍යමය මැදිහත් වීමට, ඔබේ ජීවන දෘෂ්ටිය ඇති කළ බලපෑම කෙබඳුද?

සමස්තාර්ථයෙන් ගෙන සලකා බැලූවොත්, සමාජය අගයන, ජනප්‍රිය වී තිබෙන, නිවැරැදි යැයි සිතන යම් යම් දේ පිළිබඳ ප්‍රති කියැවීමක් විදිහට මේ කෙටිකතා හැඳින්විය හැකියි. ඒ දේ ගැන විරෝධයක්, උපහාසයක්, හාස්‍යයක් හෝ ඇතැම් විට උපේක්ෂා සහගත බවක් ඒ ඒ කතා තුළ අන්තර්ගත වෙනවා. ඒ කියැවීමට මගේ ජීවන දෘෂ්ටිය බලපාලා ඇති. මම එක් නිදසුනක් පමණක් අරගෙන එය පැහැදිලි කරන්න කැමැතියි. ‘මිදුණා මිදුණා මනාව මිදුණා’ කෙටිකතාවේ අත්දැකීම කුමක්දැයි මම ඉහත කිව්වා.

කෙටිකතාවේ එන්නේ තමන්ගේ ගමේ වෙසෙන මෙහෙණින් වහන්සේට ජීවන දුෂ්කරතා හේතුවෙන් දිවි නසා ගන්නට පසුබිම සැලසෙද් දී, දුර බැහැර ජනප්‍රිය ස්ථානයකට දානය පූජා කරන ‘ශ්‍රද්ධාවත්’ ගමක්. මා දකින විදිහට ප්‍රදර්ශනාත්මක පින්කම් සඳහා තමයි අද රටේ වැඩි දෙනාගේ පෙලඹීම තියෙන්නේ. හැබැයි, දානය නිසි පරිදි නොලැබෙන බොහෝ පන්සල් මේ රටේ තියෙනවා. එය ඒවායේ වාසය කරන්නන්ගේ ලැබීමේ ප්‍රමාණය හෝ කර්ම විපාකයක් වශයෙන් අර්ථකථනය කිරීම පටු කියැවීමක්. මේ තත්ත්වය දිහා මම බලන්නේ යම් නොරිස්සීමකින්. එය තමයි කතාවෙන් ඉස්මතු වෙන්නේ.

මේ කෙටිකතා එක හුස්මට කියවාගෙන යා හැකි තරම්, පාඨකයා ග්‍රහණය කර ගත හැකි වන පරිදි ගෙන හැර පෑමේ දී ඔබ විශේෂයෙන් අනුගමනය කළ රීති ප්‍රයෝග ආදිය තිබෙනවාද?

පාඨකයා ග්‍රහණය කර ගත හැකි උපක්‍රම යොදන්න ඕනැ කියලා මම විශේෂයෙන් හිතුවේ නැහැ. එහෙත්, මේ කෙටිකතා කියැවීමේ දී පාඨකයා සක්‍රීය පුද්ගලයකු කරන්න මට වුවමනා වුණා. කලින් කී ආකාරයට මතුපිට තලයක් හා ගොඩනංවන ලද තලයක් සහිත කෙටිකතා ලිවීමේ එක් අරමුණක් වූණේ එයයි. එහි දී මා එකලස් කළ නිර්වාග්මය සංඥා හා රූපක තුළ ඔබ කියන ආකර්ෂණය රැඳිලා ඇති.

සිංහල කෙටිකතාව ගැන ඔබේ කියැවීම සංක්ෂිප්තව දැක්විය හැකිද?

එක වැකියකින් කිව්වොත්, නූතන සිංහල කෙටිකතාව තේමාත්මක වශයෙන් හා ව්‍යුහමය වශයෙන් නවකතාවට වඩා ඉදිරියෙන් සිටින බවත්, වර්ධනය වන බවත් මට සිතෙනවා.

නව අදහස දක්වන්න