කිසිම හේතුවක් නිසා ලිවීම නතර කරන්න එපා | දිනමිණ

කිසිම හේතුවක් නිසා ලිවීම නතර කරන්න එපා

නික් ස්ටෝන්

නික් ස්ටෝන් විසින් රචිත “Dear Martin”, දේශපාලන පසුබිමක් පදනම් කර ගනිමින් රචනා වූ කෘතියකි. ඇමේසන් හි අංක එකේ අදායම් වාර්තා තැබූ කෘතිය ලෙස සඳහන් එම කෘතිය පිළිබඳ writersdigest.com වෙබ් අඩවිය ලේඛිකාව සමඟ කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

මේ කෘතිය ලිවීමට පෙර ඔබේ ජීවිතය ගෙවුනේ කොහොමද?

මම වෙනස් වැඩ බොහෝ ප්‍රමාණයක් කරපු කෙනෙක්. මම මුලින්ම Georgia තාක්ෂණික විද්‍යාලයට ඇතුළත් වුණා. ඒත්, මම එහිදී ඉ‍ගෙන ගැනීමට කැමැති වුණේ නැහැ. මම ඒ කාලයේ යම් පුද්ගලයකු සමඟ සම්බන්ධතාවක් ඇති කර ගත්තා. ඒත්, මට ඒ සම්බන්ධයත් නැති වුණා. මම පාසලෙනුත් ඉවත් වුණා. ඊට පසුව කැමැති වුණේ සහ උත්සාහ කළේ, නිරුපිකාවක් වීමටයි. ටික කාලයක් ගත වුණාට පස්සේ, මම ස්පෙල්මන්වලට පැමිණියා. එහිදී මම රැකියාවක් කළා. ඒ අතරතුරේ විවිධ ස්ථානවල සංචාරය කළා. මගේ රැකියාව වුණේ ඇඳුම් කඩයක් බලා ගැනීමයි. ඒකට මම බොහෝ සේ ඇලුම් කළා. මේ කාලයේ මම නිවාඩුවකට ඊශ්‍රායලයේ සංචාරයකට පැමිණියා. එහිදී තමයි මට මගේ සැමියා හමු වුණේ. පසුව අපි විවාහ වුණා. දැන් අපට දරුවෙක් ඉන්නවා. දැන් මම ගෙදර වැඩ කටයුතු බලන අතරතුරේ ලිවීම කරනවා. මටම පුදුමයි මගේ පසුගිය ජීවිතය පිළිබඳ. මං මොන තරම් දේවල නියැළුණත්, ලිවීම තරම් කිසිදු දෙයක් මට ගැළපෙන්නේ නෑ කියලා මං හිතනවා.

කතුවරියක වීමට පෙර, වෙනත් අය ඔබ දැනගෙන හිටියේ මොන විදියටද?

මම සාමාන්‍ය පුද්ගලයෙක් විදිහටයි ජීවත් වුණේ. පාසල් කාලයේදී නම් මම පාසලේ ක්‍රීඩා කටයුතුවල නියැළුණා. ඒ නිසා තරමක් දුරට පාසල තුළ මා ජනප්‍රිය වුණා. ඒ ඇරෙන්න වෙන කිසිදු ආකාරයකින් මිනිසුන් මා හඳුනාගෙන නෑ.

කුඩා කාලයේදී ඔබගේ ප්‍රියතම කතුවරයා කවුද?

මම ජූඩි බ්ලූම් නමැති කතුවරයාට බොහෝ සේ කැමැති වුණා. ඒ වගේ ම, Encyclopedia Brown කතා මාලාව රචනා කළඩොනල්ඩ් ජේ.සොබොල්ටත් බෙහෙවින් ප්‍රිය කළා.

ඔබ ලිවීමට යොමු වීමට හේතු වුණ කරුණ මොකක්ද?

මම සාමාන්‍යයෙන් කුඩා කාලයේ ඉදන් ම කියැවීමට යොමු වී සිටියා. ඒත් මා මුල්ම වතාවට කම්පනයට පත් කරපු කෘතිය තමා ජෙෆ්රි යුජෙනිඩ්ස් ගේ ' The Virgin Suicides' කෘතිය. මට එම කතාව කියවද්දී , එහි සිටින චරිත එකින් එක මට හොඳින් දැනෙනවා අවබෝධ වෙනවා කියලා දැනුණා.

එහි කතාව තිබුණේ වයස අවුරුදු 16 කෙළිලොල් අවධියේ පසුවන ගැහැනු ළමයින් පස් දෙනකු වටායි. ඔබේ මාපියන් කොතරම් ඔබ ආරක්ෂා කරන්නට හැදුවත්, ඔබ නරක දෙසටම යන ආකාරය සහ අත්විඳීමට සිදුවන දරුණු දේ සම්බන්ධ සිද්ධියක් වටා මුළු කතාවම තිබුණා. මට එම කතාව බොහෝ සේ දැනුණේ, මමත් ඒ කාලේ තරුණ අවදියේ ඒ විදිහට සිටි නිසයි.

ඔබේ අලුත්ම නවකතාව ගැන කතා කළොත්? එය කුමන ගණයට අයත් වන්නක්ද? සහ ප්‍රකාශනය පිළිබද කරුණු කියන්න පුළුවන්ද?

එය තරුණ සාහිත්‍ය කෘති ගණයට අයත් එකක්. Crown Books මඟින් ප්‍රකාශයට පත් කළා. මේ කෘතිය මුලින්ම ප්‍රකාශයට පත් වන්නේ 2017 ඔක්තෝබර් මාසයේ දීයි.

“Dear Martin” කතාව ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද?

මේ කතාව ගලා යන්නේ අවුරුදු 17ක අප්‍රිකා - අමෙරිකා සම්භවයක් සහිත පිරිමි දරුවකු වටායි. මේ දරුවා Dr. Martin Luther King ලියන ලිපි ලෙස පුවත් පතක් ආරම්භ කරනවා. එමඟින් උත්සාහ කරන්නේ, වර්තමාන අමෙරිකාවට Dr. Martin Luther King ගේ ඉගැන්වීම කොහොමද යොදා ගන්නේ යන්න පෙන්වා දීමටයි.

ඔබ සාමාන්‍යයෙන් ලියන්නේ කොහේ ඉඳන්ද?

එහෙම විශේෂ තැනක් නැහැ. Dear Martin ලිවිම සිදු වුණේ නම් බොහෝ වෙලාවට මගේ නිදන ඇඳේ සිටිමිනුයි.

මෙය ලිවීමට ඔබ කොපමණ කාලයක් ගත්තද?

මම මෙහිදී පර්යේෂණ කරමින් තමා ලිවීමත් කළේ. කෙසේ හෝ සම්පුර්ණයෙන් ම මේ සඳහා අවුරුදු දෙකක පමණ කාලයක් ගත වුණා.

ඔබ කොහොමද ප්‍රකාශන නියෝජිතයකු සොයා ගත්තේ?

මම කෙලින්ම ප්‍රකාශන නියෝජිතයකු සොයා ගැනීම කළේ නැහැ. මම ඒ සදහා ජෝඩි පිකොල්ට් නම් උපදේශකයාගේ සේවය ලබා ගත්තා. අනතුරුව තමා ඉතිරි කටයුතු කළේ.

නවක කතුවරයන් වෙත ලබා දෙන්න තිබෙන උපදේශය මොකක්ද?

දිගටම ලියන්න. ඒක ඔබේ හැකියාව. එය අනෙක් දේ නිසා නැති වෙන්න දෙන්න එපා. බොහෝ කතුවරයන්ට ඔවුන්ගේ පළමු කෘතිය සාර්ථක කර ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඒත්, අපි අද ඔවුන් දන්නේ ඔවුන් උත්සාහය අත් නොහරින නිසයි. උත්සාහය අත නොහැරිම තමයි ඔවුන් වැදගත් වෙන්නේ.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න