පුංචි ඡන්දයකින් ආණ්ඩුව පෙරළන්න බෑ | දිනමිණ

පුංචි ඡන්දයකින් ආණ්ඩුව පෙරළන්න බෑ

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

මෙවර මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ ආණ්ඩුවට ජනපදනමක් නැතැයි තර්කයන් ගොඩනැ‍ඟෙමින් තිබේ. ඊට හේතුව මෙවර මැතිවරණයේදී ආණ්ඩු නියෝජිත දේශපාලන පක්ෂ මෙන්ම 2015 දී රජය සමඟ එක්ව තරග කළ දේශපාලන පක්ෂ වෙන් වෙන්ව තරග කිරීමය. 2015 බල තුලනයේ මූලික වෙනසක් දක්නට නොලැබෙන බව මෙවර ප්‍රතිඵලවල සංඛ්‍යාලේඛන හොඳින් විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නකි.

තම තමන්ට ඇති ජනතා ප්‍රසාදය මැන ගැනීම සඳහා මෙම ප්‍රතිඵලය දේශපාලන පක්ෂවලට ප්‍රයෝජනවත්ය. වසර ගණනාවක් ක්‍රියාත්මක පක්ෂවලට වඩා වසරක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතා ප්‍රසාදයට පත්ව ඇත. මෙය ලාංකේය ඉතිහාසයේ සුවිශේෂී තත්ත්වයකි. පොදුජන පෙරමුණ 44.65% ක ප්‍රසාදයක් ලබාගනිද්දී එක්සත් ජාතික පක්ෂය 32.63% ක ජනතා කැමැත්තක් ලබාගෙන ඇත. ඒ අනුව ඔවුන්ගේ පෙර ඡන්ද පදනමේ වෙනසක් සිදුව නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් 13% ක ජනතා ප්‍රසාදයක් හිමිව ඇත්තේ ඔවුන්ගේ වැඩි පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කළ ‍පොදුජන පෙරමුණට එක්වීම නිසාය. ජනතා විමුක්ති පෙරමුණ ද 6.27% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. එහිදී සැලකිය යුතු වෙනසක් නැත.

මහින්ද රාජපක්ෂ විරුද්ධ කඳවුර බෙදී වෙන්වී තරග කළේ නැතිනම් ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය 55.35% කි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේත් ජනාධිපති හා අගමැතිවරයාගේත් අවාසනාවට 2015 ගොඩනැඟුණු සන්ධානය පෙරට ගෙන ඒමට නොහැකි විය. ඔවුන් එක්ව සිටියේ නම් මේ ප්‍රතිඵලය මීට‍ බොහෝ වෙනස් වන්නට තිබුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයත් මේ මැතිවරණයේදී බොහෝ සිත් රිදවීම් කරගත්තේය. ඊට පෙර තිබූ දේශපාලන සහයෝගීතාව මේ නිසා බිඳ වැටී ඇත. එපමණක් නොව සතුරු ප්‍රතිවිරෝධතා දක්වා ගැටුම වර්ධනය වී ඇත. කඳවුරු දෙක අතර තිබෙන සතුරු බව දුරලා සබඳතා අලුත් කර ගැනීම මේ මොහොතේ ප්‍රධාන අභියෝගය වී ඇත. සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා ජනවරම ලබා දුන්නේ බොහෝ බලාපොරොත්තු ඇතුවය. ඒවා ඉෂ්ට නොකොට ඉන් බැහැරට යෑමට මේ පාර්ශ්ව දෙකටම සදාචාරාත්මක අයිතියක් නැත.

සම්මුතිවාදී ආණ්ඩුව පිළිබඳ ජනතාව තුළ අවිශ්වාසයක් ගොඩනැඟී ඇති බව පෙනේ. එමෙන්ම නායකයන් දෙපළ පිළිබඳ ද ජනතාව තුළ ඇත්තේ සැකයකි. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමේ සොරකම්, දූෂණ, අක්‍රමිකතා හා වෙනත් අපරාධ සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට යාම රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්ව නවතා ඇතැයි ජනතාව සිතති. මානව හිමිකම් සම්බන්ධ අපරාධවලට වගකිවයුතු ආරක්ෂක අංශ සාමාජිකයන්ට දඬුවම් පැමිණවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඩ නොදෙන බව ජනතාවගේ තවත් මතයකි. මේ කාරණා නිසාම ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදයක් ගොඩනැ‍ඟෙමින් තිබුණු අතර ඡන්ද ප්‍රතිඵලවලින් ද එය යම්තාක් දුරකට ප්‍රකාශයට පත්විය.

ඡන්ද ප්‍රතිඵලය පාර්ලිමේන්තුවට බලපෑමක් එල්ල කළ හැකි තරම් නොවේ. පාර්ලිමේන්තුවට සෘජු බලපෑමක් වීමට නම් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඉවත්විය යුතුය. එවැන්නක් සිදුවෙතැයි සිතිය නොහැකිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ සිටින සුළු පිරිසක් යම් හෙයකින් මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂය සමඟ එක්වුවද පාර්ලිමේන්තු බල තුලනයේ වෙනසක් කළ නොහැකිය. මේ ඡන්ද ප්‍රතිඵලයත් සමඟ ජනාධිපති, අගමැති ඉල්ලා අස්විය යුතු බවට කෙරෙන තර්කයට පදනමක් නැත. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති ප්‍රතිපාදන ද නැත. විරුද්ධ පක්ෂයේ මතය වී ඇත්තේ ආණ්ඩුවට ජනමතයක් නැති බැවින් ඔවුන් ඉල්ලා අස්විය යුතු බවය. එය ඕනෑම විපක්ෂයක් මෙවැනි අවස්ථාවක කරනු ලබන ප්‍රකාශයකි.

ජනාධිපතිවරණයකින් සහ මහ මැතිවරණයකින් බලය ලබාගත් ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකින් ලැබෙන ප්‍රතිඵල මත විසුරුවා හැරිය නොහැකිය. ඉන්දියාව, බ්‍රිතාන්‍ය වැනි රටවලද අතුරු මැතිවරණයන්ගෙන් පාලක පක්ෂය පරාජයට පත්වූ අවස්ථා ඕනෑ තරම් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක එය සාමාන්‍ය තත්ත්වයකි. මේ ආණ්ඩුවට 2020 වනතෙක් පැවතිය හැකි නීතිමය බලය තිබේ.

ආණ්ඩුව තවදුරටත් ගෙනයාමට සදාචාරාත්මක අයිතියක් නැතැයි කෙනකුට තර්ක කළ හැකිය. මෙකී තර්කය සාධාරණ නොවන්නේ මහින්ද රාජපක්ෂ මහතා තනිව තරග කළ පොදුජන පෙරමුණ ද සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 50% ක් ලබාගැනීමට අසමත්වීම නිසාය.

ව්‍යවස්ථානුකූලව මේ මැතිවරණ ප්‍රතිඵලය ජනමත විචාරණයක් ද නොවේ. මෙය ආණ්ඩුවේ ගමන්මඟ පිළිබඳ ජනතාව දුන් අනතුරු ඇඟවීමකි. මේ පරාජයත් සමඟ ආණ්ඩුව මෙතෙක් ආ ගමන්මඟ පිළිබඳ නැවත හැරී බැලිය යුතුය.

යහපාලන ආණ්ඩුව සමාජ සාධාරණත්වය සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත්තේය. තොරතුරු පනත, ස්වාධීන කොමිෂන් සභා, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, මැතිවරණ ක්‍රමයේ වෙනස වැනි කාරණා ප්‍රමුඛය. එහෙත් මේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව එතරම් සැලකිල්ලක් දක්වා නැත. ජනාධිපතිවරයාගේ ප්‍රධානතම සටන් පාඨය වූයේ දූෂණ විරෝධයයි. ඒ වෙනුවෙන් ජනතාව ඡන්දය දී ඇත්තේ ඉතාම අඩු ප්‍රතිශතයකි. එය රටක් ලෙස නරක ප්‍රතිඵලයකි.

ආණ්ඩුව බොහෝ යහපත් දේ පටන් ගත්තද ඒවා ඉදිරියට ගෙන ගියේ ඉතා අලසවය. ඒවාට නිසි ක්‍රමවේදයක් තිබුණේ ද නැත. නව ව්‍යවස්ථාව, විගණන පනත, අතුරුදන්වූවන්ට සාධාරණ මැතිවරණ සංශෝධන, දූෂණ විරෝධී වැඩපිළිවෙළ, ඝාතනයන් සම්බන්ධ වූ පරීක්ෂණ ආණ්ඩුව අතහැර දමා ඇතැයි ජනතාව සිතුවේය.

මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අය ආරක්ෂා කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන අතර මානව හිමිකම් කඩකිරීම්වලට අදාළ හමුදාවේ පිරිස් ආරක්ෂා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන්නේ යැයි මහජන මතයක් ගොඩනැඟුණි. එම තත්ත්වය ද මෙවර ප්‍රතිඵලයට බලපෑවේය. මහජනතාව අතර කලකිරීම් තිබියදීත් මේ දෙදෙනාට මෙතරම් ඡන්ද ප්‍රමාණයක් ලැබීම එක් අතකින් පුදුමයට කරුණකි.

ආණ්ඩුව දැන් කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඡන්දය ලබා දුන් බලවේග එකතු කිරීමය. ඒ හරහා ශක්තිමත් ඉදිරි වැඩපිළිවෙළක් සකසාගත හැකිය. එලෙස එක් නොවනතාක් ආණ්ඩුවේ පසුබැසීම පෙනෙනු ඇත. එහෙත් එවැනි එකමුතුවකට අවශ්‍ය පසුබිමක් සැකසෙන බවක් පෙනෙන්නට නැත.

ආණ්ඩුව 2015 දී බලයට පත්වෙද්දී තිබුණු දේශපාලන න්‍යාය පත්‍රය දිගටම පවත්වාගත යුතුය. රට තුළ යහපාලනයක් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිකළ හැක්කේ එවිටය. මේ ඡන්ද ප්‍රතිඵලය දෙස බලා එදා ජනතාවට පොරොන්දු වූ සමාජ ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට අයිතියක් ආණ්ඩුවට නැත.

‍ඕනෑම ඡන්ද පරාජයකින් පසුව සිදුවන දොස් පවරා ගැනීම් ආණ්ඩු පාර්ශ්වයෙන් පසුගිය දිනවල ඇති තරම් ඇසුණි. නායකයන් දෙදෙනා කළ යුත්තේ තම තමන්ගේ දේශපාලන පරිණත බව පෙන්වමින් වඩාත් වගකීමෙන් කටයුතු කිරීමය. ඒ හරහා ඉදිරි වසර දෙක ආණ්ඩුවේ ගමන්මඟ නිවැරදි කරගත යුතුය.

සිංහල ජනපදනම මත පමණක් විශ්වාසය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ පාලනය තවදුරටත් ගෙන යා නොහැකිය. ඒ බව 2015 ජනාධිපතිවරණයෙන් ද මහ මැතිවරණයෙන් ද පෙන්නුම් කළේය. මෙවරද මහින්ද රාජපක්ෂ මහතා ලබාගෙන ඇත්තේ සිංහල ජනපදනම මත වූ ඡන්ද ප්‍රතිඵලයකි. එය රටේ බහුතර මතය නොවේ.

ද්‍රවිඩ, මුස්ලිම් හා මෙරට සුළුතර ආගමිකයන්ගේද සිංහල සමාජයේ කොටසකගේද විශ්වාසය දිනාගත හැකි නායකයන් දෙදෙනා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ බව මේ මැතිවරණයෙන් ද ඔවුන් පෙන්නුම් කර ඇත.

මහින්ද රාජපක්ෂ රජයේත්, යහපාලන ආණ්ඩුවේත් ආර්ථික පිළිවෙළ අතර වෙනසක් නැත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බැසිල් රාජපක්ෂ සහ පී. බී. ජයසුන්දර මහත්වරුන් එක්ව ඉදිරිපත් කළ නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියේය. එහෙත් ඔවුන් එය ජනතාවට ප්‍රසිද්ධියේ කීවේ නැත. ඒ වෙනුවට මහින්ද පාලනය කළේ ආර්ථික ජාතිකවාදී කාව්‍යය සමාජගත කිරීමයි. වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, තිස්ස විතාරණ ඒ සඳහා සහාය දැක්වූහ. ඔවුන් නැවත බලයට පත්වුවද ඉදිරියට ගෙන යන්නේ එදා ඔවුන් ගෙන ගිය එම ආර්ථික පිළිවෙළ මිස වෙනෙකක් නොවේ.

රනිල් වික්‍රමසිංහ මහතා නව ලිබරල්වාදී ආර්ථිකය ගෙන යයි. එය ජනතාවට ප්‍රසිද්ධියේ කියමින් සිටී. ගමට ගොස් ෆ්‍රී වයි ෆයි ගැන කතා කළේ එබැවිනි. එය ඔහුට දේශපාලනික වශයෙන් ප්‍රබලව බලපා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් 1956 හෝ 1970 සිදුවූ විප්ලවය වැන්නක් සිදු වී නැත. මෙවර සිදුවූයේ නායක වන්දනාවක් පමණි. එදා ජනතාව පෙළගැසුණු දේශපාලන වැඩපිළිවෙළක් දිනවීමටය. මෙවර පොදුජන පෙරමුණ එවැනි දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැත. දේශපාලන පක්ෂයක් පිහිටුවා වසරක් වැනි සුළු කාලයක් තුළ ලබාගත් ජයග්‍රහණය අවතක්සේරුවට ලක්කළ යුතු නැති බව ද එසේම අප මතක තබාගත යුතුය. එසේම මෙම ඡන්ද ප්‍රතිඵලයේ වාසිය හිමිවන්නේ රාජපක්ෂවරුන්ට සහ එම ආණ්ඩුවේ චෝදනා ලැබූවන්ටය. ඊට හේතුව සොරුන්ට දූෂිතයන්ට දඬුවම් කිරීමට මේ ඡන්ද ප්‍රතිඵලය නිසා යහපාලන ආණ්ඩුවට කිහිපවරක් සිතන්නට සිදුවනු ඇති බව පෙනෙන්නට තිබීමයි.

 

සටහන
දුමින්ද සම්පත්

නව අදහස දක්වන්න