දුර ඇවිදින රාහු | දිනමිණ

දුර ඇවිදින රාහු

අපේ සිරුර ක්‍රියාත්මක වන්නේ මනසට අනුවය. ඉතා සීමිත කටයුතු කිහිපයක් හැරෙන්නට අනිකුත් බොහෝදේ මනසේ ක්‍රියාකාරිත්වය අනුව සිදුවේ. මනස ගැන කතා කරනවිට නිතැතින්ම සිහිපත්වන ග්‍රහයා වන්නේ රාහුය. රාහු මිනිස් හිසකින් තොර කාය ස්වරුපයක් දක්වයි. ජ්‍යොතිෂයේ දැක්වෙන අන්දමට රාහු මිනිස් කඳක් සහ නාග හිසක් සහිත ග්‍රහයෙකි. හිසක් නොමැති නිසා රාහු ක්‍රියාකරන්නේ තමාගේ හිතුමතේටය. රාහු මහ දශා අතුරු දශා කාලවල ජන්මියාගේ ජීවිත පැවැත්මද ඊට සමාන වන බව දැක්වේ. රාහු ඇවිදීමට ඉතාම ප්‍රිය ග්‍රහයෙකි. රාහු දශාවේදී ද ජන්මියා බොහෝදුර ඇවිද්දවයි. විදේශ ගමන් යෙදේ. වැඩි වශයෙන්ම මේ ගමන් බිමන් අරමුණකින් තොර ඒවා වේ.

රාහු එකතැන සිටීමට ප්‍රිය නොවන්නා සේම අලස නැති ක්‍රියාශිලී වෙයි. දිවා රෑ නොබලා ශරීර ශක්තියෙන් ඕනෑම වැඩක් කිරීමට ජන්මියා පෙළඹේ. රාහු ලැබු හෝ බලවත් වු අය අන්‍ය උපදෙස් පිළිබඳ එතරම් සැළකිලිමත් නොවේ. තම මතයම නිවරැදි යැයි සිතන ඒ අනුව ක්‍රියාකරන හිතුවක්කාර ග්‍රහයකු ලෙස හැඳින්වේ. දුම්බීමට හා මත්පැනට ‍ඉතා ප්‍රිය වු අයෙක් ලෙස ද රාහු හැඳින්වේ. සමාජයේ මෙවැනි විෂමාචාරවලට ලක්වු පුද්ගලයන්ගේ ජන්මපත්‍ර පරීක්ෂාකිරීමේදී රාහුගේ අසුබ පිහිටීම පෙන්වයි. රාහු නිතර ආරවුල් ඇතිකර ගන්නකු ලෙසද හැඳින්වේ. එම නිසා විරුද්ධ කරුවන් ඇති කර ගනී.

මිනිස් ජීවිතයට රාහුගේ බලපෑම කෙතරම් තදින් එල්ලවුවද රාහු නව ග්‍රහයන් අතරින් ප්‍රධාන ග්‍රහයන්ට අයත් නොවේ. රාහු සහ කේතු අයත් වන්නේ ඡායා ග්‍රහයන් ලෙසය. මේ ග්‍රහයන් දෙදෙනා පියවි ඇසින් දැකිය නොහැක ගණිතමය සංකල්පයන් මත මන:කල්පිත මවා ගන්නා ග්‍රහයන් දෙදෙනකු සේ සැලකේ.

රාහු ග්‍රහයා උච්ච වනුයේ වෘෂභයේය. කන්‍යාවේදී ස්වක්ෂේත්‍ර වන අතර වෘශ්චිකයේ නීච වෙයි. රාහු අධිපතීත්වය දරන නැකැත් වන්නේ අද ,සා, සියවසයි.ජ්‍යොතිෂයේ දැක්වෙන අන්දමට රාහුගේ වාහනය අශ්වයාය. රාහු කෲර ගති ඇති පුරුෂ ග්‍රහයකු ලෙස හැදින්වේ.

බුධ, ශනි, සිකුරු, යුරේනස් රාහුගේ මිතුරු ග්‍රහයන් වන අතර රවි, චන්ද්‍ර, කුජ, සිකුරු සතුරු ග්‍රහයන් වන්නේය. ගුරු සහ නැප්චුන් රාහුගේ සම ග්‍රහයන් වන අතර මහ දශා කාලය වසර 18කි.

රාහුගේ රාහු අන්තරය .

‍විදේශ ගමන් බිමන් යෙදේ. නැතිනම් රටේ විවිධ ප්‍රදේශවල සංචාරය සඳහා අවස්ථාව සැලසේ. එහෙත් රාහුගේ ගති ස්වභාවය අනුව මේ ගමන් බිමන් සැළසුමක් ඇතිව සිදුවන ඒවා නොවේ.

හිතට අසහනය ඇතිවීමට ඉඩ ඇත. දබරවීම, වාද විවාදවලින් පරාජය වීම, උසකින් වැටීම වැනි කරදර ඇතිවිය හැකි. ගෙදර ගැන කලකිරී නිවසින් පිටවීමට සිතේ. ස්ථාන මාරුවීම, මව්පියන් සමඟ දබර වීම. කාල වර්ණ අයගෙන් කරදර ඇතිවීම සිදුවිය හැක. විෂ වර්ගවලින් විපත් පැමිණීමට ඉඩ ඇත. විශේෂයෙන් බෙහෙත් වර්ග වැඩියෙන් ගැනීමෙන්, විෂ සහිත දේ ශරීරගතවීම, ලේ විෂවන රෝග ආදිය ඇතිවිය හැකිය. තිරිසන් සතුන්ගෙන් කරදර, ආයුධවලින් අනතුරු ආදිය විය හැක. ඥාතියෙකුගේ මරණයක් අසන්නට ලැබේ. වස්තුව විනාශවීම වැනි දේද රාහු අන්තරයේ දී සිදුවිය හැක.

රාහුගේ ගුරු අන්තරය

රාහු මහ දශාවේ වුව ද ගුරු අතුරු දශාව යහපත ඇතිකරන කාලයකි. විශේෂයෙන්ම සිතේ ප්‍රීතිය ඇතිවේ . ජන්මියාගේ යැපෙන්නන්ට වාහන ලාභ ඇත. චිත්ත ධර්ම දාර්ශනික දේ ඉගෙනීමට ලැබේ. විවාහ දිවිය සම්බන්ධයෙන් තිබු ගැටලු මඟ හැරෙනු ඇත. විවාහය දෙකඩ වී තිබුණේ නම් නැවත එක්වීමට ඉඩ සැලසේ. දරුසම්පත් බලාපොරොත්තු වු අයට එම ප්‍රාර්ථනා ඉටුවේ. සියලු දේ යහපත්වන කාලයකි.

රාහුගේ ශනි අන්තරය

කළකිරීම පවුල් දිවියේ ගැටලු ඇතිවිය හැකි කාලයකි. මේ අවුල් දික්කසාදය දක්වා දුර දිග යා හැකිය. නරක අය ඇසුරට ලැබි හිත කරදරයට පත්වේ. උස් ස්ථානයකින් වැටීමට ඉඩ ඇත.

අලාභ, වාද විවාදවලට පැටලීමත් තම තත්ත්වය පහළ වැටීම, නෑදෑයන් සහෝදරයන් සමඟ පැටලිලි ඇතිකර ගැනීම දැකිය හැක.

පිත්රෝග, ශරීරයේ කලව ප්‍රදේශයේ අනතුරු .වාතරෝග, ඇති විය හැක.

රාහු බුධ අන්තරය

මේ කාලය යහපත් ප්‍රතිඵල උදාවී සිතට සැනසුම ලැබේ රජයේ උදව් උපකාර, ගරුබුහුමන් ලැබෙන කාලයකි. නව නෑදැයන් හිතමිතුරන් ඇතිවේ. මෙතෙක් කරදරයක්ව තිබු නඩුවකින් ජයග්‍රහණය කළ හැකිය. ප්‍රිය සම්භාෂණ, විවාහ උත්සව ආදියට සහභාගිවෙයි. විනෝදය සඳහා කාලය, මුදල් වැයකරයි. එහෙත් එම කටයුතු ‍වලින් අලාභ ඇති නොවේ. නිසි පරිදි ප්‍රීති විය හැකි වේ. දරුවන් බලාපොරොත්තුවන මව්පියන්ට දරු සම්පත් ‍හිමිවේ. මේ කාලය මිශ්‍රඵල හිමිවන කාලයකි.

රාහුගේ කේතු අන්තරය

ආහාර සම්බන්ධ රෝග ඇතිවන කාලයකි. විශේෂයෙන්ම ආහාර ර‍ටාවේ වෙනස්කම් නිසා රෝගීවේ. අවේලාවේ ආහාර ගැනීම , ආහාර අපත්‍යවීම, වමනය වැනි තත්ත්ව ඇතිවේ.ගුද ගත (අර්ශස් රෝග) ඇතිවීමට මෙම කාලය සිදුවන වේදනාකාරි තත්ත්වයකි. ඊට අමතරව ශරීරය ඉදිමීම දරුවන්ට රෝග සෑදීම, භාර්යාවට අසාධ්‍ය රෝග, වැනි කරදර ඇතිවිය හැක. ආගමික භක්තිය ඉහළ යන කාලයකි.

රාහුගේ ශුක්‍ර අන්තරය

විනෝද වීම සඳහා විවිධ කාරණා යෙදෙන කාලයකි. ලෝකය වටේ සංචාරය කිරීමට නැති නම් තම රටේ දීර්ඝ ගමන් බිමන් යාමට අවස්ථාව උදාවේ. විභාග ආදියෙන් යහපත් ප්‍රතිඵල හිමිවේ. විවාහවීමට බලාපොරොත්තු වුයේනම් එම අරමුණ ඉටුවේ. මෙතෙක් පැවති අර්බුද වෛර අවසන්වේ. ස්ථාන මාරුවීම් ඇතිවීමට කරුණු යෙදේ. එහෙත් එම කටයුතුවලින් අයහපත සිදු නොවේ. ඉඩකඩම් දේපල වස්තුව හිමිවීමට රාහුගේ ශුක්‍ර අන්තරය යහපත්ය. ශුක්‍ර අසුබව පිහිටිවිට රැවටිලිවලට අසුවීම, රෝග සෑදිම ආදිය සිදුවේ.

රාහුගේ රවි අන්තරය

ජන්මියා පදිංචි ස්ථානයෙන් වෙනස් වීමට කරුණු යෙදේ. දැඩි ගතියෙන් කටයුතු කිරීමට යාමෙන් කරදර ඇතිවේ. එහෙත් සතුටින් ප්‍රීතියෙන් සිටීමට කරණු යෙදේ. වෙනදා නැති ආඩම්බරකමකින් කටයුතු කරයි. නොලැබී තිබු ජන්මියාට හිමි වස්තුවක් ආපසු ලැබේ. යහපත් රැකියා හිමිවේ. එහෙත් ග්‍රහයන් අසුබ වු විට හිතේ නොසන්සුන්ගති, අසාධ්‍ය රෝග, භාර්යාවට - දරුවන්ට රෝග, ඇතිවිය හැක.

රාහුගේ චන්ද්‍ර

යහපත්, ශුභ පිහිටීමක් ඇතිවිට සිතේ සතුට ඇතිවේ. සාමකාමීව කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. මෙතෙක් පැවැති ආරවුලක් විසඳා ගැනීමට හැකියාව ලැබේ. අන් අය අතර කැපී පෙනෙන ස්වභාව ඇතිවේ. එහෙත් මේ ග්‍රහයන් පාපී පීඩිත වු විට, අසුබ වු විට හිතේ නොසන්සුන් කම, කරදර ඇතිවේ. දුරාචාරයට, මත් පැනට යොමු වීමට ඉඩකඩ ඇති. මානසික දුර්වල වීම කල්පනා ශක්තිය දුර්වල වීම ඇතිවේ. සෙම් රෝග, වාත රෝග ඇතිවේ. ස්වභාව ධර්මයේ බලපෑමෙන් රෝග ඇති විය හැකිය. හීනෙන් බියවීම වැනි තත්ත්වයන්ටද මුහුණ දීමට සිදුවේ.

රාහුගේ කුජ අන්තරය

හිතුමතේ කටයුතු කරයි. තමාගේ මතය මුදුන්පමුනුවා ගැනීමට යාමෙන් රණ්ඩු සරුවල් ඇතිවේ. සමාජයේ දෝෂ දර්ශනයට ලක්වේ. සිතෙන ‍සිතෙන වේලාවට ගමන් බිමන් යාම නිසා පාඩු සිදුවේ. එහෙත් මුදල් ලැබීම් ණය ලැබිම ආදියෙන් සතුටු විය හැකිය.

පවුලේ අයට කරදර විශේෂයෙන් ඥාතින්ට ගැටලු ඇතිවන කාලයකි. හදිසි අනතුරු, ආයුධවලින් කැපිම් කෙටීම් ඇතිවේ. තමා ඉතා ළඟින් ඇසුරුකළ හිතවතකුගේ වෙන්වීමක් සිදු‍විය හැකිය. එහෙත් කරදර ඉවසීමට හිතේ දිරිය ඇතිවේ. අලුත් වැඩ ආරම්භ කිරීමට කටයුතු යෙදේ. ආරක්ෂක අංශවලින් කරදර ඇතිවිය හැක.

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී
කමල් රත්නායක

නව අදහස දක්වන්න