රට පුරා ඇති කායවර්ධන මධ්‍යස්ථාන ප්‍රමිතිගත කිරීමට ඇමැති සැරසෙයි | දිනමිණ

රට පුරා ඇති කායවර්ධන මධ්‍යස්ථාන ප්‍රමිතිගත කිරීමට ඇමැති සැරසෙයි

ප්‍රින්ස් ගුණසේකර

රටපුරා ක්‍රියාත්මක සියලු කායවර්ධන මධ්‍යස්ථාන ප්‍රමිතිගත කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වෙයි. කායවර්ධන මධ්‍යස්ථාන උපදේශකවරුන් ලබා ඇති විෂය දැනුම, කායවර්ධන මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් තාක්ෂණික මෙවලම් අධීක්ෂණය කොට සහතික පත්‍රයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම්කොට ඇත. එවැනි ප්‍රමිතියක් නොමැති කායවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ සංගණනයක් කොට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අවශ්‍ය නිර්ණායක ලබාදීමට අදහස් කෙරේ. අනතුරුව එම කායවර්ධන මධ්‍යස්ථානවලට සහතික පත්‍ර පිරිනැමෙන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය. ඇතැම් කායවර්ධන මධ්‍යස්ථානවලින් උපදේශ ලබාගන්නා තරුණ තරුණියක්ගේ ශරීරය වැරදි හැඩයක් ගන්නා බවට පෙනීගොස් ඇති හෙයින් නියම ප්‍රමිතියෙන් විද්‍යානුකූල පදනමක් ලබාදීම ක්‍රීඩා අමාත්‍යාංශයේ අරමුණවී ඇතැයි ඇමැතිවරයා පැවැසීය.

කායවර්ධන මධ්‍යස්ථානවලින් සම්පූර්ණ ශරීරයට ව්‍යායාම් ලබාදිය යුතු වුවද ඇතැම් අවස්ථාවන්වල දී එක් එක් කොටස්වලට ව්‍යායාම් ලබාදීමෙන් ශරීර තුලනය ගිලිහී යනු ඇති බව විශේෂඥ මතය බව සඳහන් වේ.

“පළමු පන්තියේ කායවර්ධන උපදේශකයකුට දෙවැනි පන්තියේ සහතික පත්‍රයක් නොමිලේ පුහුණුවකින් පසු ලබාදීමට අප ක්‍රියා කරනවා. ඒ සඳහා වෙනම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මකයි. මේ වසරේ ඒ වෙනුවෙන් මුදල් වෙන් කිරීමට කටයුතු කරනවා. සිවුවැනි හා පස්වැනි පන්තියේ සහතික පත්‍ර ලබා ගැනීමට යම් අයෙකු සමත් වුවහොත් ඔහුට විදෙස් රැකියාවකට යාමේ අවස්ථා උදාවෙනවා“ ඇමැතිවරයා පැවැසීය.

නියම ප්‍රමිතියෙන් යුතු කායවර්ධන මධ්‍යස්ථානවලට අවශ්‍ය ක්‍රීඩා හා ව්‍යායාම් උපකරණ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබාදීමේ සූදානමක් ද පවතී.

එහි ප්‍රතිඵලයක් ලෙස රටපුරා ඇති තෝරාගත් කායවර්ධන මධ්‍යස්ථාන 50කට ක්‍රීඩා ඇමැතිවරයා අතින් උපකරණ ප්‍රදානයක් ද සිදුවිය. 

නව අදහස දක්වන්න