පුහුණුව නැත බිල්පත් ඇත | දිනමිණ

පුහුණුව නැත බිල්පත් ඇත

රාජ්‍ය අංශයේ උසස් නිලධාරීන් ‍ගැන ප්‍රසාදයක් මහජනයා ළඟ නැත. නිලධාරියා යනු මහජන සම්පත් කොල්ලකන හා රජයෙන් මහත් වරප්‍රසාද ලබන පුද්ගලයකු යැයි හැඟීමක් ජනතාව තුළ පවතී. මේ අදහස වඩාත් සාධාරණීකරණය කිරීම සඳහා මෙබඳු සංස්කරණයකින් යුතුව ඉහත වාක්‍යය නැවත ලියා දැක්විය හැකිය. එනම්; රාජ්‍ය අංශයේ බොහෝ නිලධාරීන් සම්බන්ධයෙන් ජනතාව තුළ කැමැත්තක් නැත යන්න ය. එහි යටි පෙළ ලෙස ගත හැක්කේ රාජ්‍ය අංශය තුළ ද යහපත් නිලධාරීන් ස්වල්ප දෙනකු සිටිය හැකි බව ය. එම පිරිසට කෘතඥතාව දක්වමින් අපගේ ලියැවිල්ල ආරම්භ කරන්නට කැමැත්තෙමු.

අපගේ වැකියේ මාතෘකාව වන්නේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් දෙදෙනකු විසින් සිදු කරන ලද අතේ පත්තුවන මුදල් වංචාවකි. මේ දෙදෙනා ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවැති සම්මන්ත්‍රණයකට, වැඩමුළුවකට හා පුහුණුවකට සම්බන්ධ වන බව දක්වමින් රුපියල් ලක්ෂ දොළහක වංචාවක් සිදුකර තිබේ. එහෙත් නිලධාරීන් දෙදෙනා බැංගලෝරයට ගොස් නැත. පුහුණුවක් හෝ අලුත් දැනුමක් ද ලබා නැත. එහෙත් ඊට අදාළ ගාස්තු හා වෙනත් ගෙවීම් ලබාගෙන ඇත. බැංගලෝරයට නොගොස්; පුහුණුව ද නොලබා එම මුදල් ලබාගන්නේ කෙසේ ද?

නිලධාරීන් දෙදෙනාම ආයතනයේ මුදල් අංශවලට සම්බන්ධ අය බව කියති. එවිට මුදල් වංචා සිදු කිරීම පහසු ය. ඒ පමණක් නොව එබඳු නිලධාරීන් සිදුකරන මූල්‍යමය කටයුතු ගැන සොයා බලන්නට කෙනකු ඉදිරිපත් වන්නේ ද කලාතුරකින් ය. කෙසේ වුව අමාත්‍යාංශ ලේකම්වරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට පසුව නීතිය ඉදිරියට ගොස් තිබේ. ලේකම්වරයාගේ තීරණ ගැනීම ගැන ද, ක්‍රියාත්මක වීම ගැන ද අපගේ කෘතඥතාව හිමි විය යුතුය. වංචාව සිදුකළ නිලධාරීන් දෙදෙනාම දැනට රිමාන්ඩ් භාරයේ පසුවෙති. මේ රාජ්‍ය අංශය තුළ සිදුවන එක සිද්ධියක් පමණි. තවත් බොහෝ වංචාසහගත දේවල් නිතිපතා සිදුවෙයි.

රාජ්‍ය නිලධාරියා වරෙක දූෂිත වූයේ දේශපාලන බලපෑම් නිසාය. තව වරෙක දූෂිත වූයේ වංචාසහගත අරමුණු නිසාය. තවත් වරෙක දූෂිත වූයේ සාමූහික ලෙස සිදු කරන වංචා නිසාය. මේ කිසිවකට සමාවක් දිය නොහැකි ය. සුද්දාගෙන් ආරම්භ වූ අපේ රාජ්‍ය සේවාව තුළ දිගින්-දිගටම පැවැති එක් ප්‍රධාන ලක්ෂණයක් වූයේ රජයට පක්ෂපාතීත්වය දැක්වීම හා වංචා හා දූෂණවලින් තොරව නීතිගරුක මහජන සේවාවක නිරත වීමය. ලෙනාඩ් වුල්ෆ් වැනි රාජ්‍ය සේවකයෝ මහජන සුබ-සිද්ධිය උදෙසා සැතැපුම් ගණනින් පයින් ගියෝය.

එක අතෙකින් රාජ්‍ය නිලධාරියා වරප්‍රසාද රැසක් ලබයි. ඔහුට විශ්‍රාම වැටුපක් තිබේ. ස්ථාවර මාසික වැටුපක් තිබේ. ගමන් වියදම් තිබේ. ආරක්ෂාව හා රැකවරණය තිබේ. ඒ හැරෙන්නට ඔහුගේ රාජකාරියට කිසිවකු බාධා කරන්නේ ද; එය නීති විරෝධී කටයුත්තක් ලෙස සැලකේ. මේ ක්‍රමය තුළ නිලධාරීන්ගේ බල අධිකාරිත්වය ස්ථාවර වී තිබේ. එලෙසම ඔහු බලපෑම්කාරී පුද්ගලයකු බවට ද පත්වේ. ඒ සියල්ලට වඩා වටින්නේ ඔහුට ලැබෙන අමතර වරප්‍රසාද ගොන්නය. රාජ්‍ය අංශයට අයත් විධායක නිලධාරියකුට ආනයන බද්දෙන් තොරව රථවාහන මිලට ගැනීමේ අවසර පත්‍රයක් ලැබේ. මේ අවසර පත්‍රයෙන් ඇතැම් නිලධාරීහු හොඳ - හොඳ ප්‍රයෝජන ලබති.

රථවාහන අවසර පත්‍රය කපාදැමිය යුතු යැයි යෝජනාවක් මීට ටික කාලයකට පෙර ඉදිරිපත්වී තිබිණි. රාජ්‍ය නිලධාරීන් මීට කෙතරම් වි‍රුද්ධ වූයේ ද යත්; අකුරට වැඩ කිරීමක් ද ආරම්භ කළ බව අපට මතක ය. අවසන් ප්‍රතිඵලය වූයේ වාහන ‘පර්මිට්’ එක ඔවුන් වෙත ලැබීම ය. එහෙත් බොහෝදෙනකු එම වාහන පාවිච්චි කරන්නේ නැත. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ එම වාහනය වැඩි මුදලකට විකුණා ගැනීම ය. නිලධාරීන්ගේ හැටි එහෙම ය.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ නඩුව විභාග කරනවිට පැහැදිලි වී ඇත්තේ බැංගලෝරයේ පුහුණු වැඩසටහනකට සහභාගී වූ බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බවය. එහි අර්ථය වන්නේ ඉහත කී නිලධාරීන් දෙදෙනා ඉන්දියාවෙන් පවා බිල් ආදිය ගෙන්වාගෙන මේ වංචාව සිදුකර ඇති බව ය. එක අතෙකින් බලනවිට එය අන්තර්ජාතික වංචාවකි. මෙලෙස ඉන්දියාවෙන් බිල්පත් ආදිය ලබාදුන් ආයතන ‍ගැන ද සොයා බැලීම වැදගත් ය. ඊළඟට මේවා අධීක්ෂණය කළ නිලධාරීන් ගැන ද සැකයක් මතු‍ෙව්. අමාත්‍යාංශ ලේකම්වරයා මේ ගැන විමර්ශනයක් සිදුකරනතුරු අනෙක් නිලධාරීන් වංචනිකයන්ට සහාය දී ඇති බවක් පෙනෙන්නට තිබේ.

රට සවාරි යනු රාජ්‍ය නිලධාරීන්ගේ ආදායමේ හොඳ ඉල්ලමකි. සමහරු රට සවාරි සඳහා පොරකති. ඒ එහි වාසිය දන්නා නිසාය. බොහෝදෙනකු රට සවාරි ලබා ගන්නේ ද අයුතු ක්‍රම ඔස්සේය. සමහරු දේශපාලන බලය පාවිච්චි කරති. තවත් සමහරු තම කල්ලියේ ඇත්තන්ට මේ සවාරි ලබා දෙති. ශ්‍රී ලංකාව වැනි රටක රාජ්‍ය අංශයට ලබාදෙන රට සවාරිවලින් බොහෝමයක ප්‍රයෝජනය රටට ලැබෙන්නේ නැති බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති. රට යන්නේ පුහුණුවකට වුව එම පුහුණුවෙන් ආයතනයට ප්‍ර‍‍යෝජනයක් ලැබෙන්නේ නැත. රට සවාරිවලට යන ඇතැම්හු පුහුණුව නිමා නෙකර යළි සිය රට බලා එති. තව ඇතැම්හු රාජ්‍ය අංශයේ මුදල් කාබාසිනියා කරමින් විදේශ රටවලම නවතිති. මේ අනුව විදේශ සංචාර සම්බන්ධයෙන් වන රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාවලිය ඒ තරම් සුබදායක නැත.

වංචාවට, දූෂණයට හා අක්‍රමිකතාවට තිත තැබිය යුතු යැයි’ හඬක් අද පවතී. එය රාජ්‍ය අංශයේ ප්‍රධානීන්ගේ සටන් පාඨයක් බවට ද පත්ව තිබේ. එබඳු පසුබිමක් තුළ රට සවාරි පෙරට දමා මහජන මුදල් කොල්ලකෑම කිසිසේත්ම සමාව දිය නොහැකි බලවත් වරදකි. මේ නිලධාරීන් දෙදෙනා ගැන කිසිදු අනුකම්පාවක් අපට නැත. ඔවුන් සඳහා උපරිම දඬුවම් නියම විය යුතුය. 

නව අදහස දක්වන්න