ලුකස් හපනා | දිනමිණ

ලුකස් හපනා

මදාරා මුද­ලිගේ

උප්පත්තියෙන් අබාධිත දරුවකු ලෝ ප්‍රකට ළමා ආහාර නිෂ්පාදන සමාගමක ප්‍රචාරණය සඳහා යොදා ගත් පුවතක් පිළිබඳව පසුගිය දිනක වාර්තා වී තිබුණි. ඩවුන් සින්ඩ්‍රෝම තත්ත්වයෙන් යුක්ත ලූකස් වොරන් නමැති දරුවා උපන්නේ ජෝර්ජියාවේ ඩාල්ටන්හි දී ය. අවුරුද්දක් වයසැති ලූකස් ලොව ප්‍රකට ගාබර්ස් නමැති ළමා ආහාර නිෂ්පාදන සමාගමෙහි නිෂ්පාදන ප්‍රචාරණය සඳහා තෝරා ගෙන ඇත. දෙදහස් දහ අට වර්ෂයේ ගාබර්ස් ළමා ආහාර නිෂ්පාදන සමාගමේ ප්‍රචාරණ කටයුතු සඳහා ඩවුන් සින්ඩ්‍රෝම අබාධිත තත්ත්වයෙන් යුක්ත දරුවකු තෝරා ගැනීම සුවිශේෂී සිද්ධියක් බවට පත් විය. මේ සඳහා දරුවකු තෝරා ගැනීමට එක් ලක්ෂ හතළිස් දහසක් පමණ දරුවන් පිරිසක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවන ලදී.

අවුරුදු අනූවකට වඩා පැරණි ගාබර්ස් ළමා ආහාර නිෂ්පාදන සමාගම ලූකස් වොරන් ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීමෙන් පසු ලෝකයේ ඩවුන් සින්ඩ්‍රෝම දරුවන් පිළිබඳව මිනිසුන් තුළ පැවති ආකල්පය වෙනස් වූ බව මාධ්‍ය වාර්තා කරයි. නිරෝගී දරුවන් අතරින් මෙවැනි දරුවකු ආහාර ප්‍රචාරණය සඳහා තෝරා ගැනීම සාමාන්‍ය මිනිසුන්ගේ දැඩි අවධානයට ලක් ව ඇත. මෙම ආහාර නිෂ්පාදන සමාගම විසින් ලුකස්ගේ මවුපියන්ට $ 50,000 ක මුදලක් පරිත්‍යාග කර තිබේ. සමාජ මාධ්‍ය බොහෝමයක මේ වන විට ලූකස් කැපී පෙනෙන ළමා තරුවක් වී ඇත.

ලූකස් වොරන් මිනිසුන් හඳුනා ගෙන තිබෙන්නේ Gerber's First Spokesbaby With Down Syndrome යනුවෙනි. ගාබර්ස් ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ ඔහු පිළිබඳව විවිධ ප්‍රතිචාර දක්වා තිබේ. තව ද පසුගිය දිනක NBC Today වැඩසටහනට සහභාගී වූ ජාසන්ගේ පියා තම දරුවාගේ ජයග්‍රහණය පිළිබඳව මෙසේ අදහස් පළ කළේ ය.

"ලූකස්ගේ මව ඔහු පිළිබඳව ලොකු දුකකින් සිටියේ. ඒත් ගාබර්ස් සමාගමත් සමඟ ලූකස් එකතු වුණාට පස්සේ ඇය ගොඩාක් සතුටු වුණා. ඇත්තටම ලූකස් දැන් දිනලා ඉවරයි" යනු‍වෙන් ලූකස්ගේ පියා වන ජාසන් වොරන් ප්‍රකාශ කළේ ය.

"සෑම වසරකම අපි ගාබර්ස් දරුවකු තෝරා ගන්නවා. මේ අවුරුද්දේ ලූකස්ව තෝරා ගැනීම සැබවින්ම සුවිශේෂී දෙයක්. විශේෂ අවශ්‍යතා ඇති දරුවකු වන ලූකස් අපගේ ආහාර නිෂ්පාදන සමඟ මුළු ලෝකයේම හදවත් දිනා ගෙන තිබෙනවා. මේ අවුරුද්දේ ලූකස් අපිට හොඳින් ගැලපුණා" යනුවෙන් ගාබර්ස් සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී බිල් පාට්කර් ප්‍රකාශ කළේ ය.

අන්තර්ජාලය ඇසුරිණි

නව අදහස දක්වන්න