ශ්‍රීදේවි සමු ගනී | දිනමිණ

ශ්‍රීදේවි සමු ගනී

ෆවුස් මොහොමඩ්

 

ප්‍රධාන නළු චරිතයකින් තොරව චිත්‍රපටයක් බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තැබිය හැකි ජනප්‍රියත්වයක් කරා රැගෙන යා හැකි ඉන්දීය නිළියන් සිටින්නේ අතලොස්සකි. ඒ අතර ඉහළින්ම සිටි රංගන ශිල්පිනියක වූ ශ්‍රීදේවි පෙරේදා රාත්‍රී දිවිමගෙන් සමුගත්තාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැති ඇගේ ඥාතිපුත්‍රයකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙමින් සිටි අතරතුර හදිසියේ හටගත් හෘදයාබාධයකින් මේ සුරූපි නිළිය ජීවිතය හැරදා යද්දී 54 හැවිරිදි වියෙහි පසුවූවාය.

දශක 5ක දීර්ඝ කාලපරිච්ඡේදයක් පුරා සිය අපූරු රංගන ප්‍රතිභාව දෙමළ, හින්දි ඇතුළු භාෂා 4ක ඉන්දීය සිනමා කර්මාන්තය තුළ විදහා දැක්වූ ශ්‍රී දේවි ජීවිතයෙන් සමුගනිද්දී චිත්‍රපට 300කට රංගනයෙන් දායක වී තිබිණි. ඇගේ අවසන් රංගනය ඇතුළත් වූයේ ෂා රුක් ඛාන් සහ කත්රිනා කයිෆ් ප්‍රධාන චරිත රඟපෑ ‘සීරෝ‘ චිත්‍රපටයටය.

ෂා රුක්ගේ බිරිය ගෞරි නිශ්පාදනය කළ මේ චිත්‍රපටයේ ඇය රංගනයෙන් එක්වූයේ ආරාධිත ශිල්පිනියක ලෙස සුළු චරිතයකිනි. එය මේ වසරේ දෙසැම්බර් මාසයේ තිරගත වීමට නියමිත එකකි. ඊට පෙර පසුගිය වසරේ ජූලි මාසයේ තිරගතවූ ‘මම්‘ හින්දි චිත්‍රපටය ශ්‍රී දේවි සිය සිනමා දිවියේ ප්‍රධාන චරිතය රඟපෑ අවසන් චිත්‍රපටය බවට පත්විය.

බොලිවුඩ් සිනමාවේ නිළියන් අතර පළමු සුපිරි නිළිය ලෙස ( first female superstar of Bollywood) කාගෙත් ගෞරවයට පාත්‍රවී සිටි ශ්‍රීදේවි සිය ජීවිත කාලය එහෙම පිටින්ම සිනමාවට කැප කළ නිළියකි.

ශ්‍රී අම්මා යන්ගිර් අයියප්පන් නමින් 1963 අගෝස්තු මාසයේ 13 වැනිදා එවකට මදුරාසියේ උපන් මේ විශිෂ්ට නිළියගේ උපත සිදුවූයේ ශ්‍රී ලංකාවේදී බවට මතයක් පළවී තිබුණත් එය තහවුරු කිරිමට අවශ්‍ය සාධක සොයාගත නොහැකිය. එසේ වුවත් ශ්‍රී දේවිය ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලාංකීය සිනමාලෝලීන් අතරත් එක ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටියාය.

1969 වසරේදී ‘තුනෙයිවන්‘ දෙමළ චිත්‍රපටයේ රංගනයට සිනමාවට එක්වෙද්දී 6 හැවිරිදි වියෙහි පසුවූ ඇය එතෙක් මෙතෙක් රංගනයෙන් නිම් වළලු පුළුල් කරගත්තේ දෙමළ හා හින්දි සිනමාවෙන් පමණක් නොවීය. මලයාලම් සහ තෙලිඟු චිත්‍රපට රැසකුත් ඇගේ රංගනයෙන් පිරී ගියේය.

ශ්‍රීදේවි ජීවිතය හැරදා ගිය පුවත ඊයේ උදෑසන තහවුරු කරනු ලැබුවේ ඇගේ සැමියා වන බොනී කපුර්ගේ බාල සොයුරු සංජේ කපූර් විසිනි.

‘ඔව්. ඒක ඇත්ත. ශ්‍රීදේවි මිය ගියා. මම ඩුබායි ඉඳලා ආවා විතරයි. දැන් ආපහු ඩුබායි යනවා. මං හිතන්නේ ඇය මියගොස් ඇත්තේ පෙරේදා රාත්‍රී 11ට හෝ 11.30ට වගේ. ඒත් හරියටම කියන්න බෑ.‘ ඊයේ ඔහු ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවයට ප්‍රකාශයක් කළේ එලෙසය.

මුල් කාලයේ දෙමළ, මලයාලම් සහ තෙලිඟු චිත්‍රපටවල රඟපෑ ශ්‍රීදේවි එකළ සිනමාවට නැතුවම බැරි නිළියක බවට පත්වූයේ 1976දී රඟපෑ ‘මූන්ඩෘ මුඩිච්චි‘ දෙමළ චිත්‍රපටයේදී පෙන්නුම් කළ අපූරු රංගන ප්‍රතිභාවයෙනි. එය ඇය ළමා චරිතවලින් මිදී පළමුවරට ප්‍රධාන කාන්තා චරිතයක් නිරූපනය කළ පළමු චිත්‍රපටය විය.

සුපිරි දෙමළ නළු රජිනිකාන්ත් සමග ඇය ඒ චිත්‍රපටයේ රඟපාද්දී 13 හැවිරිදි පාසල් සිසුවියකි. ඊළඟ වසරේදී දෙමළ සිනමාවේ විශිෂ්ට අධ්‍යක්ෂවරයකු වූ පී.භාරතිරාජාගේ ‘පදිනාරු වයදිනිලේ‘ චිත්‍රපටයේ කමල්හසන් සහ රජිනිකාන්ත් සමග රංගනයෙන් එක්වූ ශ්‍රීදේවි ලාබාල නිළියක ලෙස එවකට දෙමළ සිනමාවේ අධිපත්‍යය පතුරුවාලමින් සිටි බොහෝ නිළියන් අභිබවා ගිය විශිෂ්ට රංගනයක නිරතවූයේ අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් අත්කර ගනිමිනි.

70 දශකයේදි දෙමළ සිනමාවේ පෙම්වතුන් යුවළ බවට පත්වූයේ කමල්හසන් සහ ශ්‍රීදේවිය. මේ දෙදෙනා එක්ව දශක දෙකක ආසන්න කාලයක් පුරා දෙමළ සිනමාව ඉහළට ඔසවා තැබීමට සමත්වූ චිත්‍රපට රැසක් රංගනයෙන් ඔපවත් කළහ. එය එවකට එම්.ජි.ආර්. සහ ජයලලිතා පෙම්වතුන් ලෙස සිනමාවෙන් ලැබූජනප්‍රියත්වය එහෙම පිටින්ම උඩුයටිකුරු කරවීමට සමත්වූ එකකි.

සිංහල සිනමාවේ විජය- මාලනී මෙන් යුගය මෙන් දෙමළ සිනමාවට කමල්හසන් - ශ්‍රීදේවි යුගයක් බිහි වූ 70 දශකයේ අගභාගයේ තමිල්නාඩුවට මේ දෙදෙනාගෙන් තොර සිනමාවක් තිබුණේම නැත.

සිවප්පු රෝජාහල්, කල්යාන රාමන්, ගුරු, මීන්ඩෘම් කෝකිලා, මුන්ඩ්‍රාම් පිරෙයි වැනි බොක්ස් ඔෆීස් වාර්තා පිට වාර්තා තැබූ දෙමළ චිත්‍රපට රැසක පෙම්වතුන් බවට පත්වූ කමල්හසන් සහ ශ්‍රීදේවි ලැබූ දැවැන්ත ජනප්‍රියත්වය අදටත් දෙමළ සිනමා ඉතිහාසයේ ස්වර්ණමය මතක සටහන් පෙළකි. මේ පෙම්වතුන් යුවළට සිනමාවේ ඉල්ලුම අඩුවූයේ ඇය 1985 වසරේදී බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වූ මිතුන් චක්‍ර බෝර්ති සමග විවාහ වීමෙන් පසුවය. එහෙත් ඒ විවාහය වසර තුනකට පසුව නිමාවට පත්විය.

ශ්‍රීදේවිගේ සිනමා ජිවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයත් වෙනස් කළ සිදුවීම් පෙළක ආරම්භය සිදුවූයේ 1986දී ඇය විසින් රඟපාන ලද ‘නගීනා‘ චිත්‍රපටයත් සමගය. එය හින්දි සිනමාවේ එවකට තිබූ සියලු ආදායම් වාර්තා බිඳ දැමූ එකකි. මේ චිත්‍රපටයේ නාග කන්‍යාවක ලෙස ශ්‍රීදේවි කළ රංගනය ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවෙත් ඇයට වෙනම රසික රසිකාවියන් පිරිසක් ඇතිකර ගැනීමට තරම් ජනප්‍රියත්වයක් ගෙන දුන්නේය.

පසුකලෙක හින්දි සිනමාවේ කීර්තිමත් නිශ්පාදකයකු වන බොනී කපූර්ගේ ආදායම් වාර්තා පිට වාර්තා තැබූ ‘මිස්ටර් ඉන්ඩියා‘ චිත්‍රපටයේ ඔහුගේ බාල සොයුරු සුපිරි හින්දි නළු අනිල් කපූර් සමග ප්‍රධාන චරිතය රඟපෑ ශ්‍රී දේවි ඉන් පසුව බොනී කපුර්ගේ චිත්‍රපටවලට පමණක් නොව ඔහුගේ පෞද්ගලික ජිවිතයටත් නැතුවම බැරි චරිතයක් බවට පත්විය.

ඒ වනවිට මෝනා කපූර් සමග විවාහ වී සිටි බොනී තම බිරියත්, දරුවනුත් අතහැර ශ්‍රීදේවි සමග යුග දිවිය ආරම්භ කළේ 1996 වසරේදීය. එය එවකට බොලිවුඩ් සිනමාවේ ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීමක් විය.

බොනී සමග විවාහ වීමෙන් පසුව සිය රංගන ජීවිතයට විරාමයක් තැබූ ශ්‍රී දේවී යළි රංගනයට පිවිසියේ වසර 15කට පසුවය. ඒ වෙද්දී ඇගේ ප්‍රතිවාදී නිළියන් වූ ජුහී චවුලා, මධුරි ඩික්සිත් සිනමාවේ සිටියේ නැත. යොවුන් වියේ පසුවූ නිළියන් දුසිම් පිටින් බොලිවුඩය ආක්‍රමණය කර තිබිණි. වසර 15කට පසුව වුවත් සිය රංගන ප්‍රතිභාව ඒ අයුරින්ම විදහා දැක්වූ මේ සුපිරි නිළිය එසේ රංගනයෙන් එක්වූ ‘ඉංග්ලිෂ් වින්ග්ලිෂ්‘ සිනමා පටය මිලියන 780ක ආදායමක් ගෙන දීමට තරම් සමත්වූ එකකි.

ෆිල්ම් ෆෙයාර් සම්මාන 10කට නිර්දේශ වී ඉන් සම්මාන 5ක්ම අත්පත් කරගැනීමට සමත්වූ ශ්‍රීදේවි සිනමාව වෙනුවෙන් සිදුකළ මෙහෙය උදෙසා 2013 වසරේදී ඉන්දීය රජයේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවාය. එය ඉන්දියාවේ පුරවැසියකු ලබන සිවුවැනි ඉහළම සම්මානය වෙයි.

ඉන්දීය සිනමාවට ශ්‍රීදේවිය නැතිවම බැරි නිළියක වූවා සේම ඇයටත් සිය ජීවිතයේ වැඩිම කාලයක් ගෙවා දැමූ සිනමාව අමතක කරන්නට තරම් බැරි එකක් බව පසුකලෙක ඇය කීවාය.

බොනී කපූර් සිය බිරියට සිනමාවේ දෙවැනි ගමන ආරම්භ කිරීමට අවස්ථාව සලසා දුන්නේ එබැවිනි. ජන්වි සහ කුෂි නමින් තරුණ දූවරුන් දෙදෙනකු සිටියත් ජීවිතයෙන් සමුගන්නා මොහොතේදිත් මන බඳින රූ සපුවෙන් අඩුවක් නොතිබූ මේ නිළියගේ බලාපොරොත්තු වූයේ සිය ජීවිතයේ සැඳෑ සමයේ දී තවත් චිත්‍රපට රැසකට දායකත්වය ලබාදීමටය.

 

 

නව අදහස දක්වන්න