දේව අඩවියේ ශූද්ධ ජල කඳ මැණික් නදිය | දිනමිණ

දේව අඩවියේ ශූද්ධ ජල කඳ මැණික් නදිය

 ඌවේ නමුණුකුළ කන්දෙන් ආරම්භ වන කතරගම මැණික් ගඟ කිලෝමිටර් 160ක් දුර ගෙවා ගොස් මුහුදට වැටි අවසන් වේ. ශුද්ධ වූ ජලය ඇති ගංඟාවක් ලෙස මැණික් ගඟ සැලකේ. කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් මැණික් ගඟෙන් දිය නා පිරිසුදු වී දේවාලය වන්දනාමාන කිරීම පිණිස පැමිණෙති. කතරගම දේවාලයේ දෙවියන්ගේ පූජාව සඳහා ද අෂ්ඨඵල බෝධියේ නානුමුරය සඳහා ද ජලය ලබා ගන්නා මැණික් ගඟෙන් අතීතයේ දී කිසිදු අයකු නිවාස තැනීමක් හෝ දිය නෑමක් සිදු නොකළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. නමුත් වර්තමානයේ ගඟ උඩ කොටසේ රෙස්ට් හවුස් පවා සාදවා ඇති අයුරු දැකිය හැකිය.

දේවාලයේ චාරිත්‍රයන් මුල් කර ගනිමින් මැණික් ගඟටද තොටු පොළවල් නම් කර ඇත. රදා තොට (රෙදි සෝදන ස්ථානය), දහියා තොට (දෙවියන්ගේ වී කොටා දහයියා ටික නොපෑගීම සඳහා මැණික් ගඟට දැමූ ස්ථානය) ආදී වශයෙනි.

අතීතයේ දී කප්පකන්දර න දී ලෙසත් කප්පකන්දර ඔය, පරා නදිය ලෙසත්, මැණික් ගඟ හැඳින්වු අතර මැණික් ගඟ හා සම්බන්ධ ජනප්‍රවාද රැසකි.

කතරගම දේවාලය, කිරි වෙහෙර, අෂ්ඨඵල බෝධිය හා සමානව ඓතිහාසිකත්වයෙන් බැතිමතුන්ගේ පිදුම් ලබන උතුම් මැණික් නදිය මුල් කරගෙන කඳ කුමරු හා වල්ලී දෙවඟනගේ විවාහ මංගල්‍යය සිදු වු බව ජනප්‍රවාදයන්හි සඳහන් වේ. කඳ සුරිඳුන්ගේ හා වල්ලී දෙවඟනගේ විවාහ මංගල්‍යයට උපකාර කළ, උදවු කළ නිසාම අදටත් ඇත් මුහුණකින් පෙනී සිටීමට සිදු වී ඇති ගණ දෙවියන්ට අයත් දේවාලය පිහිටා ඇත්තේ ද මැණික් ගඟ මැද වීම තවත් විශේෂත්වයකි. කතරගම දෙවියන් හා දුටුගැමුණු රජතුමා මුණගැසීම වැනි විශේෂ අවස්ථා රැසක් සිදු වී ඇත්තේ මැණික් ගඟ මුල් කරගෙනය.

කතරගම දෙවියන්ගේ කෙම්මුර දිනවල ස්කන්ධ කුමාර දිව්‍යරාජයා නානු මුරය කිරීම ද, ආලත්ති අම්මලා විසින් පැන් රැගෙන යෑම, බැතිමතුන් අෂ්ඨඵල බෝධිය නැහැවිම පිණිස පැන් රැගෙන යෑම වැනි උතුම් කටයුතු කරනු ලබන්නේ ද මැණික් ගඟෙනි.

අතීතයේ දී කතරගම ඇසළ මංගල්‍යය සිදුකිරීමට පෙර පෙරහර කඳවුරු ප්‍රදේශය ලෙස නම් කරනු ලබන මැණික් නදියේ සඵගල නම් ප්‍රදේශයේ සිට පහළ කොටස දක්වා පිරිසුදු කරනු ලබන අතර එහි දී කඳවුර භාර නිලධාරීන් විසින් අණ බෙරයක් ගසා දින කිහිපයක් මැණික් ගඟේ ජලය පරිහරණයෙන් වළකින ලෙස ජනයාට දන්වා මෑසි තෙල් ගසා මැණික් ගඟ කෘමි සතුන්ගෙන් හා විෂ බීජවලින් ආරක්‍ෂා කරනු ලබයි.

1873 වර්ෂයේ කතරගම ඇසළ කඳවුර බාරව සිටි ඉංග්‍රිසි ජාතික තෝමස් ස්ටීල් විසින් කතරගම පෙරහර සමයේ දී මැණික් ගඟට විශේෂ රැකවරණයක් ලබාදෙමින් මැණික් ගඟ ආරක්‍ෂා කිරීම සඳහා මුරකරුවන් යොදවා කිසිදු අයකුට මුත්‍රා කීරීම වැනි කටයුත්තකටවත් අවසරයක් ලබා නොදුන් අතර මැණික් නදියේ ඉවුරේ මුත්‍රා කළ අයකුට රුපියල් 50ක් දඩ ගැසූ අවස්ථාවන් ද අධිකරණයේ වර්තාවේ. පෙරහර සමයේ දී දෙවියන්ගේ පැන් තොටුපොළේ කිසිවකුට දිය නෑමට නොහැකි පරිදි කටු කම්බී ගසා ආරක්‍ෂා කළ අතර කතරගම දේවාලය වැඳීමට පැමිණෙන බැතිමතුන් ප්‍රථමයෙන් මැණික් ගඟට පැමිණ සුදු වැල්ලේ දී දෙහි ගා නා පිරිසුදුව දෙවියන් වැඳීම සඳහා දේවාල භූමියට පැමිණීම සිදුවේ.

1821 වර්ෂයේ දී කතරගමට පැමිණි ඉංග්‍රිසි ජාතික වෛද්‍යවරයකු වන ජෝන් ඬේව් මහතා සඳහන් කර ඇත්තේ ඔහුට දෙවරක් කතරගම පැමිණීමට මැණික් ගඟ තරණය කීරීමට සිදු වු බවයි. සුන්දර පරිසරයක් හිමි මැණික් ගඟ ජලයෙන් පිරි තිබුණු බවත් කතරගමට ඔවුන් ළං වූ විට දී ප්‍රදේශයේ ජනයා ලබු කැටවලට ජලය පුරවා ගෙනැවිත් දුන් පානීය ජලය මැණික් නදියේ ජලය බව ජෝන් ඬේව් තම සටහන්වල ඇතුළත් කර තිබේ.

කතරගම මැණික් ගංගාව සිංහල සාහිත්‍ය පෝෂණයෙහි ලා බොහෝ ලේඛකයින්ට උපස්ථම්භක වී ඇත. සංදේශ කාව්‍ය 06ක මැණික් ගඟ පිළිබඳව ඉතාම රසවත් වර්ණනා ඉදිරිපත් කර ඇත. අනාදිමත් කාලයක පටන් මිනිසුන්ගේ හා සත්ත්වයින්ගේ ගිම් පහස නිවූ, ශුෂ්ක කලාපයක් සරුසාර කළ පූජනීය මැණික් ගංඟා තොමෝ බැතිමතුන්ගේ කිළි කුණු පාරිශූද්ධියට උරදෙමින් තවත් කාලයක් දේව අඩවියේ ගලා බසිනු ඇත.

සටහන සහ ඡායාරූප -කේ.ඩී.දේවප්‍රිය කතරගම සංචාරක 

නව අදහස දක්වන්න