මිරිස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට පියවර ගත්තා | දිනමිණ

මිරිස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට පියවර ගත්තා

ජයසිරි පේදුරුආරච්චි

නීතියේ රාමුව තුළ නිසි අවසරය හා රැකවරණය මත මිරිස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට පියවර ගත් බවත් ඉදිරියේදී සංචාරක ව්‍යාපාරයට අදාල කටයුතු සිදුකිරීමේදී නිසි අවසරය වඩා වැදගත් වන බවත් තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවසීය.

පසුගියදා මිරිස්ස ප්‍රදේශයේදී විදේශකයින් පිරිසකට එල්ලවූ ප්‍රහාරයට සම්බන්ධවූවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ 19 මාතර, කඹුරුගමුවේදී පැවති සාකච්ජාවකට එක්වෙමින් එලෙස පැවසූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

මිරිස්ස ප්‍රදේශයේ සියලුම හෝටල් සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතුයි. මත්පැන් සහ ශබ්ද විකාශන බලපත්‍ර නීති 100% න් ක්‍රියාත්මක කළ යුතුයි. DJ සංගීතය ක්‍රියාත්මක කරනවානම් එය අවට සිටින්නන්ට, අවට නිවාස වලට හානියක් නොවන ආකරයට සැලසුම් කර භාවිත කළ යුතු වෙනවා. අප මුදල් උපයන්න කරනා වැඩ තුළින් වෙන්ත කෙනෙකුට හිරිහැරයක් නම් එය අපි පාලනයකින් හා කරදරය අවම වන ආකාරයට කටයුතු කළ යුතුයි. එවිට මෙවැනි දෑ සිදුනොවී හොද ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබෙනවා.

පසුගිය කාලයේ වැලිගම මිරිස්ස සංචාරක කලාපයේ හා මිදිගම ප්‍රදේශවලදී සංචාරකයින්ට සිදුවූ කරදර හිරිහැර කීපයක් සමග රටේත් ජාත්‍යන්තරයේත් කතාබහක් ඇතිවුනා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ඒ සිදුවීම් තුලින් කැලලක් ඇතිවුණා. මිරිස් ප්‍රදේශයේ සංචාරක වැඩසටහන පසුගිය වසර කීපය පුරා ඉතාම හොදින් වර්ධනය වෙම්න් ගොඩනැගෙමින් ආවා. ඒ තුලින් සංචාරක වැඩසටහන තුළ තිබුණු කේෂ්ත්‍රවල සංවර්ධනය ඇතිවුනා. ඉහළ මට්ටමේ රෙස්ටොරන්ට් හා හොද ක්‍රියාකාරකම් සහිත ස්ථානයක් නිසා මිරිස්සට සංචාරකයින් වැඩිවශයෙන් එන්න පටන් ගත්තා. මෙවැනි සිදුවීම් නිසා එම තත්වය කඩාවැටෙන්න ඉඩ තිබුනුත් රජයේ මැදිහත්වීමෙන් වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කර අපි එය යථාතත්වයට ගෙනඑන්න ක්‍රියාකළා.

මෙවන් තත්වයන් පාලනය කර ඉදිරියට යන්න රජයේ නීතිය ක්‍රියාත්මක කිරීම තුළ පමණක් නොවෙයි මේ කේෂ්ත්‍රෙය් ඉන්න පිරිස සමග එකට එකතුවෙලා මේක කොහොමද ඉදිරියට ගෙනියන්නෙ කියල අපි සාකච්ඡාකළා. ඒ අනුව ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු විශේස වැඩසටහන් පිළිබද අපි තීරණයකට ආවා. සංචාරක ආකර්ෂණය ඇදගන්නා ආකාරයට යමක් සිදුකරන විට ඊට නීතියේ අවසරය ලබාගන්නා ආකාරය එවැනි අවශ්‍යතා තිබෙනා අවස්ථා පිළිබද අපි තීරණ වලට ආවා. සංචාරක කටයුතු වල නිරතවෙනවානම් නිසි අවසර පත්‍රය ලබා ගැනීම, මත්පැන් අළෙවියේ යෙදෙනවානම් නිසි අවසරය ලබා ගැනීම ආදී අවස්ථා අපි සකච්ඡා කර තීරණ වලට ආවා.

මේ පිළිබද සාකච්ඡා කරන්න මාස්පතා හමුවන්න අපි කණ්ඩායමක් හදාගත්තා. රාජ්‍ය නිලධාරීන්, දක්ෂිණ සංවර්ධන මණ්ඩලය මෙන්ම මමත් හැකිවිට සම්බණ්ධවෙනවා. ගයාන් මන්ත්‍රී තුමා සම්බණ්ධවෙනවා. මංගල ඇමතිතුමාත් හැකි විට සම්බණ්ධ කර ගන්නවා. ප්‍රාදේශීය සභා සභාපති, නගරාධිපති හා මේ කේෂ්ත්‍රෙය් සංගම් නියෝජිතයින් ද සහභාගීකරගන්නවා. මෙය නිවැරදිව ගොඩනැගීම තුළ බොහෝ වාසි අපට අත්පත්කර ගන්න හැකියාව ලැබෙනවා. හොද අවස්ථා උදාවෙනවා. ඉන් උපරිම ප්‍රයෝජන ගන්න අපි මේ තුලින් බලාපොරොත්තු වෙනවා.

මෙම සාකච්ජාව සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක, දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රෑන්ක්‍රීන් ප්‍රනාන්දු, මාතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ජී. එච්. මාරපන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා සංචාරක කටයුතු වල නිරතවන්නන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

නව අදහස දක්වන්න