රාජ්‍ය ඖෂධ සංස්ථා සේවක වැටුප් 50%කින් ඉහළට | දිනමිණ

රාජ්‍ය ඖෂධ සංස්ථා සේවක වැටුප් 50%කින් ඉහළට

සන්ධ්‍යා කරුණාරත්න

රට පුරා පිහිටි රාජ්‍ය ඔසුසල් 36 ක් මඟින් ඖෂධ අලෙවි කර රුපියල් මිලියන 6232 ක මුදලක් උපයා ගැනීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවට පසුගිය වසරේදි හැකියාව ලැබී ඇත.

රාජ්‍ය ඖෂධ සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමෙන් එහි සේවය කරන කාර්ය මණ්ඩලයෙහි වැටුප් සියයට 50 කින් ඉහළ නැංවීමට හැකි වූ බව සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා පවසයි. තත්ත්වයෙන් බාල හා කල් ඉකුත් වූ ඖෂධ රාජ්‍ය ඖෂධ සංස්ථාව සතුව පවතින බවට විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වන බවත් තත්ත්වයෙන් උසස් ඖෂධ රෝගීන්ට ලබාදීම සඳහා සංස්ථාව නිරන්තරයෙන්ම කටයුතු කරන බවත් ලියනගේ මහතා පැවැසුවේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලාභ පරමාර්ථයෙන්ම කටයුතු කරන ආයතනයක් නොවන අතර රෝගී සත්කාරක සේවා සඳහා ඖෂධ සපයන ආයතනයක් බව සභාපතිවරයා අවධාරණය කර සිටියි.

පසුගිය වසර 03 තුළදි කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල බවට හඳුනාගත් ඖෂධවලට සැපයුම්කරුවන්ගෙන් සම්පූර්ණ මුදල හෝ එම ප්‍රමාණයටම ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අය කර ගැනීමට පියවර ගෙන තිබේ.

ඖෂධ තත්ත්වයෙන් බාල බවට හඳුනා ගැනීමත් සමඟ රෝගීන් වෙතට පත් වීමට ඉඩ නො දී යළි ගෙන්වනු ලබන එකම ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වන බවත් එම නිසා රජයට පාඩුවක් වී නොමැති බවත් ඒ මහතා පවසයි.

ලොව පුරා ඖෂධ නිෂ්පාදන කිරීමේ දී ඇතැම් ඖෂධවල ජීව කාලය වසර දෙකකට වඩා අඩුය. නැව්ගත කිරීමෙන් පසු ඖෂධ ශ්‍රී ලංකාවට ළඟා වන විට මාසයකට ආසන්න කාලයක් ගත වේ. ඖෂධ ආනයනය කිරීමට පෙර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් නිර්දේශ කළ යුතුය. ඇතැම් ඖෂධ රෝගීන්ගේ අවශ්‍යතාව මත ජීව කාලය ඉක්ම යාමට පෙර මිල දී ගෙන රෝහල්වල රෝගී සත්කාරක සේවාවන් සඳහා ලබාදෙනුයේ ඖෂධ හිඟයකින් තොරව සැපයීමේ අරමුණෙනි. ඔස්ට්‍රේලියාවේ ද තත්ත්වයෙන් බාල ඖෂධ සියයට 15 ක් ඇති බව එම රටේ ඖෂධ දත්ත වාර්තා සඳහන් කරයි.

නව අදහස දක්වන්න