ශ්‍රී ලංකාව-පාකිස්තානය හා ඉන්දියාව අතර ක්‍රිකට් තරග මාලාවක් | දිනමිණ

ශ්‍රී ලංකාව-පාකිස්තානය හා ඉන්දියාව අතර ක්‍රිකට් තරග මාලාවක්

කාලගුණ වෙනස්කම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු කරන බව පාකිස්තානු කාලගුණ වෙනස්කම් පිළිබඳ ඇමැති මුර්ෂිදුල්ලාහ් කාන් පවසයි.

හත්වැනි දකුණු ආසියානු කලාපීය සනීපාරක්ෂාව පිළිබඳ සමුළුවට සහභාගි වු නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවූෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ධූත පිරිස සමඟ පැවැත්වූ සුහද සාකච්ඡාවේදී මුර්ෂිදුල්ලාහ් කාන් මහතා මේ බව අනාවරණය කළේය.

පාකිස්තානයේ ජලසම්පාදන හා ජලාපවහන කටයුතු,එම රටේ පිළිපදින ගංවතුර කළමනාකරණ හා තාක්ෂණ ක්‍රමෝපායන් මුහුදු ජලයෙන් පානීය ජල නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව ද ඇමැති රවූෆ් හකීම් මහතා සමඟ සාකච්ඡා කරන ලදී. තවද එම රටේ ඇතිවන කාලගුණ වෙනස්කම් පිනිකඳු සහ ජලාශ මගින් පානීය ජලය ලබාගැනීම චීන කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාකරවීම පිළිබඳව ද පාකිස්තාන් ඇමැතිවරයා විසින් පැහැදිලි කළ අතර දේශගුණ විපර්යාස නිසා ඇතිවන ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සහ එයින් ඇතිවන ස්වාභාවික හානි සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා "සශ්‍රීක ක්‍රිකට් " තරගාවලියක් සංවිධාන කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. දෙරට අතර පැවැත්වීමට අදහස් කරන මේ තරගාවලියට ඉන්දියානු කණ්ඩායම ද සහභාගි කරවා ගැනීමටද යෝජනා කරන ලදී .

පාකිස්තානයේ කාලගුණ වෙනස්කම් පිළිබඳව කටයුතු ඉටුකිරීම සඳහා වෙනම අමාත්‍යාංශයක් පිහිටුවා තිබීම , සහ ස්වාභාවික විනාශ පාලනය කිරීමේ ක්‍රමවේද සහ උපාය මාර්ග පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බවත් කාලගුණ වෙනස්කම් පිළිබඳව කලාපීය රටවල ජනතාව අවදි කිරීම සඳහා යෝජනා කර ඇති "සශ්‍රීක ක්‍රිකට් "තරගාවලියක් පැවැත්වීමේ යෝජනාව පිළිබඳව ද ඇමැති රවූෆ් හකීම් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ප්‍රශංසාව පළකරන ලදී. මේ තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව සඳහන් කළ ඇමැති රවූෆ් හකීම් මහතා ශ්‍රී ලංකාවේ ජලසම්පාදන හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද පැහැදිලි කළහ.

මේ සාකච්ඡාවට අමතරව ඇමැති රවූෆ් හකීම් මහතා මාලදිවයිනේ පරිසර හා බලශක්ති රාජ්‍ය ඇමැති අබ්දුල් මතීන් මොහමඩ් සමඟ ද සාකච්ඡාවක් පැවැත්වුහ. එහිදී දෙරට අතර ඇති ඓතිහාසික සම්බන්ධතා පිළිබඳව සහ මුහුදු ජලය හා වැසි ජලය පානීය ජලයට පරිවර්තනය කිරීම පිළිබඳව මාලදිවයින යොදාගන්නා තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව කරුණු විමසා බලන ලදී. තවද අනාගතයේදී ඒ පිළිබඳව තාක්ෂණික දැනුම සහ අත්දැකීම් බෙදා හදා ගැනීමට ද එකඟතාවක් ඇතිකර ගැනීමට ද යෝජනා විය.

පාකිස්තාන් අගනුවර වන ඉස්ලාමාබාත් නුවර පැවැත්වු 7වැනි දකුණු ආසියානු සනීපාරක්ෂක සමුළුවට 700ක් පමණ දේශීය හා විදේශීය නියෝජිතයන් සහභාගි වූ අතර නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවූෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ධුත පිරිසට නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.සි.එම් .නෆීල්, පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර හා උප සභාපති (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී) එම්.එච්.එම්. සල්මාන්, අධ්‍යක්ෂ සංවර්ධන කේ.සී.සී. ප්‍රියංගා, නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැතිගේ පෞද්ගලික ලේකම් එම්. නයිමුල්ලාහ්, ශ්‍රී ලංකාවේ සකොසාන් මධ්‍යස්ථානයේ උපදේශක ආනන්ද ජයවීර හා අධ්‍යක්ෂ ඒ.එම්.ගුණපාල නැඟෙනහිර පළාත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු වේලුප්පිල්ලේ චිත්‍රා දේවි ඇතුළු කණ්ඩායමක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න