බුෂ්ගේ නැවතුණු හදවත | දිනමිණ

බුෂ්ගේ නැවතුණු හදවත

මංජුලා විජයරත්න

ඇයට සිය අනාගත සැමියා හමුවුණේ නත්තල් නිවාඩුවේදී ඇමෙරිකාවේ ග්‍රීන්විච්හි පැවැති රැඟුමක් අතර තුරදී ය. එය අහඹු හමුවකි. එවක ඈ සොළොස් විය පිරූ තරුණියකි. ඇයට වඩා හරියටම අවුරුද්දකට වැඩිමල් ඔහු ඇමෙරිකා නාවුක හමුදාවේ ගුවන් නියමු වෙති. ඔහුගේ සේවා කාලය ගෙවුණේ දෙවන ලෝක යුද බිමෙහිය.

උසස් විද්‍යාලීය අධ්‍යාපනය ලබමින් සිටි ඒ තරුණිය සමඟ ඉන්මතු ඔහු සිය ප්‍රේමනීය සිතුවිලි හුවමාරු කරගත්තේ ලිපිවලිනි. ඔහුගේ ලිපි ඇරඹුණේ 'ආදරණීය බා(ර්)' යන ආමන්ත්‍රණය ඇතිවය. ලිපි අවසන් වුණේ 'පොපී' යන නමිනි. ආදරණීය බා(ර්) සමඟ දිනෙක විවාහ වී දරුවන් ලබමින් පවුල් ජීවිතය ගොඩනඟන බව ඔහු අප්‍රමේය ආහ්ලාදයකින් විටෙක ලියා යැව්වේය. මේ ලිපි හුවමාරුව දහඅට මාසයක් තරම් කාලයක් පැවැතියේ ය. ඊළඟට එළඹුණු නිවාඩුවේදී ඔහු ඈ සමඟ විවාහ ගිවිස ගත්තාය.

ඔහු තමන් පදවන ගුවන් යානා තුනක් බාබරා යන නමින් නම් කළේ ඈ පිළිබඳ ඉහිලුම් නොදෙන මතකය යුද බිමේදී තව තවත් අලුත් වන්නට ඉඩ හරිමිනි. මේ ගුවන් යානා යුද කටයුත්තකදී ජපානයේ චිචි ජිමා දූපත ආසන්නයේදී බිම හෙළන ලදී. ඒවායෙහි ගමන්ගත් නව දෙනකු අතරින් ජපනුන්ට හසු නොවී බේරෙන්නට සමත් වූයේ ඔහු පමණි. ඒ, බාබරා නම ඔහුගේ ජීවිතයට තවත් සමීප වූ සැටියකි. විවාහ ගිවිස ගැනීමෙන් දෙවසරකට පමණ පසු ඔහු ඈ බලන්නට පැමිණි විට ඈ සිය අධ්‍යාපනයට සමු දී ඔහුගේ ප්‍රියම්බිකාව වූවාය. ඒ 1945 වසරේ ජනවාරි 6වැනිදාය. පසුගිය ජනවාරියේදී ඔවුහු සිය යුග දිවි ගමනේ සැත්තෑ තෙවන සැතපුමත් පසු කළහ.

මේ කතාවේ ආදරණීය බා(ර්) අන් කිසිවකු නොව පසුගිය දා දිවි සැරිය නිමා කළ හිටපු ඇමෙරිකා ජනපති ආර්යා බාබරා බුෂ්ය. දහසය හැවිරිදි වියේදී ඇගේ සිත ප්‍රේමයෙන් ආතුර කළ 'පොපී' නැත්නම් ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් ඇමෙරිකාවේ 41 වන ජනාධිපතිවරයා හැටියට පසු කලෙක දිවුරුම් දුන්නේය.

ව්‍යාපාරික, රිපබ්ලිකන් පක්ෂ සාමාජික, කොංග්‍රස් සාමාජික, තානාපති, මධ්‍යම බුද්ධි අංශ අධ්‍යක්ෂක, සහ ඇමෙරිකා ජනාධිපති යන භූමිකාවලට පිවිසි ජෝර්ජ් බුෂ් කවදටත් ගත කළේ කාර්යය බහුල ජීවිතයකි; එමෙන්ම නිතර මිනිසුන් සමඟ ගැටෙන සමාජශීලී ජීවිතයකි. සැමියා ඔහුගේ සමාජ සහ දේශපාලන රාජකාරිවලට මැදිව දවස ගෙවන විට බාබරා සිය දරු දැරියන් හයදෙනා උස් මහත් කරන්නට හුදකලා සටනක් ගෙන ගියාය. මේ හුදකලා සටන මත වේදනාවේ කළු පැල්ලමක් දිග හැරෙන්නේ 1953දී ඔවුන්ගේ රොබින් දියණිය ලියුකේමියා රෝගයෙන් මිය යෑමත් සමඟයි. රොබින් දෙනෙත් පියා ගත්තේ තෙහැවිරිදි ළදරු වියේදීය. බාබරාට රොබින්ගේ මරණය දරාගත නොහැකි විණ. එයින් හටගත් කම්පනය නිසා තමන්ගේ හිස් කෙස් අකලට සුදුවන්නට පවා පටන් ගත් බැව් වරෙක ඈ අනාවරණය කළාය.

“ඒ කාලයේ මට තිබුණේ දිග දවස් සහ කෙටි අවුරුදු. සොටු පෙරෙන නාසයක්, කන් කැක්කුම්, ලිට්ටල් ලීග් තරග, උගුරේ අමාරු, රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකවලට අනපේක්ෂිතව දිව යෑම්, ඉරිදා ඉස්කෝලේ, පල්ලිය, දරුවන්ට ගෙදර වැඩ කරවීම් ... මේ වගේ වැඩ ගොඩක් ... ඒ අතරේ මගේ බෙල්ල වටේ එතෙන කෙටි පුංචි අත් ... මුහුණටම ඇලුණු හාදු”

දරුවන් පස්දෙනකු සමඟ යුද කළ හැටි ඈ 1985දී කතාවක් පවත්වමින් කියා තිබුණේ එපරිද්දෙනි. 1999 වසරේදී ජෝර්ජ් බුෂ් පළකළ පෞද්ගලික ලිපි එකතුවක අපූරු සටහනක් තිබිණ. එය, 1994 වසරේදී ඔහු ඇය වෙනුවෙන් තැබූ සටහනකි.

“ඔබ මා සංතෝෂයෙන් තබන බව දන්නේ අතළොස්සක් තරම් පිරිසක්.ආදරය සහ අවවාද දෙමින් ඔබ අපේ පුතුන් නියම මඟට ගත්තා. මේ ලෝකයේ සිටින ආදරණීයම සහ ශ්‍රේෂ්ඨතම දියණිය වන්නට ඩෝරොට (ඔවුන් දෙපළගේ ජීවතුන් අතර සිටින එකම දියණිය - ඩෝරති) මඟ පෙන්වූයේ ඔබයි. බාගදා මම මේ ලෝකයේ තියෙන උසම කඳු මුදුනට නැංඟා වෙන්න පුළුවන්. ඒත් බාබරාගේ සැමියා ලෙස විලක්කුව දල්වාගෙන සිටින්න බැරි වුණා”

එක් දහස් නවසිය හැත්තෑ ගණන් මැද භාගයේදී බාබරා විෂාදය රෝගයට ගොදුරු වූවාය.

“මම මට දැනෙන දේවල් ගැන ජෝර්ජ්ට කියද්දී ඒ හැම රැයකම ඔහු වැලපෙමින්, මාව ඔහුගේ දෑත් අතර රඳවාගෙන හිටියා. ඇයි ඔහු මාව දාලා නොයන්නේ කියලා මම පුදුම වුණා” කියා ඈ තවත් අවස්ථාවකදී පවසා තිබිණ.

ඔවුන් දෙදෙනා ගත කළේ ඇමෙරිකා ජනාධිපතිවරුන්ගේ ඉතිහාසයේ දීර්ඝතම විවාහ දිවියයි. යුග දිවිය බාබරාටත් බුෂ්ටත් රෝස මල් යහනාවක් නොවුණත් උනුන් කෙරේ උපන් ප්‍රේමය ඔවුන් දෙදෙනා අතර හැමදාම නොනැසී තිබිණ. “මම දැන් වයසට ගිහින් තමයි. ඒත් අවුරුදු 72කට පළමුව විවාහ වූ පුද්ගලයා සමඟ මම තවමත් ආදරයෙන්” යනුවෙන් පවසමින් ඈ ඒ බැව් පසුගිය දිනෙක යළිත් සපත කළාය.

දේශපාලනඥ භූමිකාව තුළ සැමියා මුදුන් හිනි පෙත්තටම ගමන් කරද්දී ඈ ඔහුගේ පසුපස හිඳිමින් ඊට උපකාර කළාය. බුෂ් මුනුබුරු ජෝර්ජ් පී බුෂ්, ඈ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයාගේ “ඉහළම උපදේශකයා සහ විශ්වාසවන්තිය” හැටියට හඳුන්වන්නේ එහෙයිනි. එසේ වුවත් ඕ වඩාත් ප්‍රිය කළේ ගෘහයෙහි කටයුතුය.

“මම ඔහුගේ කාර්යාලයට ගිහින් විගඩම් නටන්නේ නැහැ. ඔහු මගේ ගේ දොර වැඩවලට ඇවිත් විගඩම් නටන්නෙත් නැහැ” යනුවෙන් ඈ වරක් තම ස්ථාවරය වරක් ප්‍රකාශ කර තිබිණ.

ඇගේ ගෙලෙහි කවදාටත් සුදු මාලයක් දක්නට තිබුණේය. අකලට සුදු පැහැ ගැන්වුණු හිස කෙස් ඈ එපරිද්දෙන්ම තබා ගත්තා මිස ඩයි කරමින් බලයෙන් තරුණ වෙන්නට ගියේ නැත. වයසට යත්ම මුහුණෙන් මතුවන රැළිගැසීම්වලට රූප ලාවන්‍යයෙන් ඈ උත්තර නොසෙව්වාය. මවකගේ සහ අත්තම්මා කෙනකුගේ පෙනුම තම රුවෙන් ඉස්මතුවන්නට ඉඩහැර තිබුණා පමණක් නොව ඒ භූමිකාවන් පැසුණු බුද්ධියකින් යුතුව සිය ජාතිය ඉදිරියේ දිග හරින්නටත් ඇයට හැකි විය. දරුවන් පොත පත් කෙරෙහි නැඹුරු විය යුතු බව ඇයට වඩාත් දැනුණේ ඇගේ තෙවන පුත් නීල් බුෂ් ළමා කාලයේදී කියැවීමෙහි දුෂ්කරතාවකින් පසු වද්දීය. ඈ මවක ලෙස නීල්ගේ දුබලතාව මඟ හරවා ගන්නට විශාල සටනක් ගෙන ගිය බව සඳහන් වේ. ඉන් ලද අත්දැකීම් සහ පන්නරය බාබරා පසු කලෙක ආයෝජනය කළේ ඇමෙරිකාවේ දරුවන්ගේ කියැවීමේ පුරුද්ද වර්ධනය කිරීම සඳහායි. දරුවන්ගේ කියැවීම සහ සාක්ෂරතාව ප්‍රවර්ධනය කරන සංගම් කිහිපයකම ඈ ක්‍රියාකාරිනියකව සිටි බව නොරහසකි. එක්දහස් නවසිය අසූ ගණන්වලදී, ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් අද තරම් කරුණු කාරණා අනාවරණය කරගෙන නොතිබිණ. ඒඩ්ස් වැළඳුනු දරුවන් සමාජයෙන් කොන් නොකරන ලෙස ඈ එවක ඉල්ලා සිටියේ ඒ දරුවන් දෑතෙහි රුවා ගනිමින් පමණක් නොව ආදරයෙන් ද සිපගනිමිනි. ආඝ්‍රාණය හෝ ස්පර්ශය හෝ මඟින් ඒඩ්ස් බෝ නොවන බව ලෝකයට ඒත්තු ගන්වන්නට එදා ඕ දැඩි වෙහෙසක් ගත්තාය. මේ නිසා බාබරා බුෂ් මානව අයිතීන් වෙනුවෙන් හඬක් නැඟූ කාන්තාවක ලෙස හඳුන්වන්නටත් පුළුවන. ගැහැනු ළමයින් අඩු වයසින් ගැබ් ගැනීමට එරෙහිවත් ගබ්සාව නීතිගත කිරීම සම්බන්ධයෙනුත්, සමලිංගිකත්වය පිළිබඳවත් ඈ කළ ප්‍රකාශ සහ ගෙනගිය වැඩපිළිවෙළ රිපබ්ලිකන් දේශපාලන ප්‍රවාහයට ඔරොත්තු නොදුන් අවස්ථා ද තිබිණ. එනිසා නැඟුණ නිමක් නැති විවේචන බාබරා එතරම් ගණන් නොගත්තාය. ඇමෙරිකා දේශපාලන බල අධිකාරිය මාතෘ මූලික තැනකට කේන්ද්‍රණය කළ මූලිකයා ලෙස බාබරාගේ නම සඳහන් වන්නේ එබැවිනි.

ඇමෙරිකා ඉතිහාසයට ආලෝකයක් එක් කළ මේ ගැහැනිය ජීවිතයේ අවසන් භාගයේදී හදවත් සහ පෙනහළු රෝගවලින් පෙළෙමින් සිටියාය. ඉන් දැඩි ලෙස පීඩාවට පත්වන්නට පත් වූ විට වෛද්‍යය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරමින් නිදහස් සිතෙන් අවසන් නින්දට වැටෙන්නට ඈ සිය කැමැත්තෙන්ම නිවෙස වෙත ළඟා වූ බව සඳහන් වේ. ඉන් දෙදිනකට පසු ඈ සන්සුන්ව මෙලොව හැර ගියාය. කුමන විවේචන තිබුණත් ඈ ඇමෙරිකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ද සුවිශේෂ ගැහැනියකි. ඒ, ඕ ලොව බලවත්ම රාජ්‍යයේ 41 වන ජනාධිපතිවරයාගේ බිරිය මෙන්ම එහි 43 වන ජනාධිපතිවරයා වූ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේත් ෆ්ලොරිඩාහි 43 වන ආණ්ඩුකාරවරයා වන ජෙබ් බුෂ්ගේත් මව ද වන බැවිනි.

නව අදහස දක්වන්න