අත ළඟ දොස්තර ෆිට්නස් බෑන්ඩ් | දිනමිණ

අත ළඟ දොස්තර ෆිට්නස් බෑන්ඩ්

තඹරු විජේසේකර

ලොකු ප්‍රමාණයේ ඔරලෝසුවක් අත බැඳගෙන එය පෙනෙන සේ ඡායාරූපයකට, සෙල්ෆියකට පෙනී සිටීමට අතීතයෙන් ආ පුරුද්ද තවමත් සමාජ ජාල වෙබ් අඩවිවල නිරන්තරයෙන් දකින්නට ලැබෙනවා. අතීතයේ කොටු පවුරෙහි සැකසූ අඩි ගණනක් උස, වයින් තබන කටු ඔරලෝසු තමන්ගේ අතේ බැඳිය හැකි තරමට පැමිණි පසු එය එකල තාක්ෂණයේ දැවැන්ත පෙරැළියක් වුණා. ගෙදර බිත්ති ඔරලෝසු දෙක තුනක් සහ රත්තරං පැහැති ඔරලෝසුවක් අත බැඳිවිට තත්ත්වයේ ඉහළ යාමක් ද ඇති වුණා. ඉන්පසු පෞරාණික වස්තු ඇගයීමේ කාල වකවානුවක් එළැඹි අතර එය හරහා නැවතත් පැ‍රැණි පෙනුමැති විශාල ඔරලෝසු නිවසේ විසිත්ත කාමරයටත්, විශාල ප්‍රමාණයේ මුහුණත ඇති ඔරලෝසු අතේ බඳින්නටත් පටන් ගත්තා. ඩිජිටල් ඔරලෝසු පැමිණ තිබූ කාලයකත් බොහෝ දෙනෙක් කටු ඔරලෝසු අත බඳින්නට පුරුදුව සිටියේ අතීතකාමයෙන් මිෙදන්නට නොහැකි වූ නිසාමයි. නමුත් තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවක් ඇති සමයක, දුරකතන ඇමතුම් ගැනීමට පමණක් සීමා නොවූ ස්මාර්ට් දුරකතනයක් අතේ තබාගෙන ඉපැරැණි කටු ඔරලෝසුවක් අත බැඳීම හරියට, වම් අතින් ගෑරුප්පුවත් අනිත් අතින් පොල්කටු හැන්දකුත් අරගෙන කෑම කන්නට උත්සාහ දරන්නාක් වගේ දෙයක්. ඒ අනුව දෑස් හැර තාක්ෂණය දෙස බලා බුද්ධිය හරහා විලාසිතාව මෙහෙය වූ විට අතේ බැඳිය යුත්තේ කටු ඔරලෝසුවක් නොව ස්මාර්ට් උපාංගයක් බව පැ‍රැණි ඔරලෝසුවක ටික්-ටික් හඬ පවා කෑ ගසා කියාවි.

රටේ නමෙහි ‘සමාජවාදය’යන කොටස තිබුණත් ධනවාදය හරහා මධ්‍යම පන්තිය බහුලව ගිය අපිට තාක්ෂණය කෙතරම් දියුණු වුවත් එහි හිණි පෙත්තෙහි ඇති උපාංගයක් අප සතු කරගන්නට තරම් වත්කමක් නැහැ. ස්මාර්ට් දුරකතයක් වෙනුවෙන් රුපියල් තිස් දහසක් වැය කරන්නට සිදු වුවහොත් දෑස් නළල පරදවා හිස් මුදුනට ගන්නා අපට පනස් දහසක් පමණ වැය කොට හොඳ ස්මාර්ට් ඔරලෝසුවක් ගැන සිතීම සිහිනයක්. නමුත් ඒ දේවල්ම, ඊට ආසන්න මට්ටමකින් හෝ රුපියල් දෙදහසකට - තුන්දහසකට පමණ කරගන්නට පුළුවන් අවස්ථාවක් ශරීර සුවතා අත් පැළඳුම් හරහා ලැබෙනවා. මෙම උපාංග මූලික වශයෙන්ම නිපදවා තිබෙන්නේ ශරීර සෞඛ්‍යය වර්ධනය කර ගැනීම පිණිස උදේ පාන්දරම නැගිට නගරයේ පාරවල් දිගේ දුවන, කාර්යබහුල නිසා දරුවන් ගැනවත් සොයන්නට වේලාවක් නොමැති, මේදය ඇඟ පුරා පටවා ගත් නූතන මිනිසාටයි. ව්‍යායාම කරනවා යැයි සිතා අපි විවිධ චලන සිදුකළත් ඒවායෙන් නිසි ආකාර ප්‍රතිඵලයක් ලැබෙනවා ද නැද්ද යන්න හොඳින් විශ්ලේෂණාත්මකව බලන්නට සහ ව්‍යායාම සහායකයෙක් මෙන් අඩු ලුහුඬුකම් පෙන්වා දෙන්නට, ඉලක්ක සපයාදී අපව උනන්දු කරවන්නට ශරීර සුවතා පැළඳුම් හෙවත් ෆිට්නස් බෑන්ඩ් (Fitness Band) හරහා පහසුකම් සපයනවා. නගරය වටේ නොදිව්වාට, කොච්චර ගෙදර වැඩ කළත් ඇඟ බහින්නේ නැත්තේ මේ ආකාරයට අප නිසි ආකාර ක්‍රමවේදයකින් සහ අවධානයක් යොමන්නේ නැතිව ව්‍යායාම කරන නිසායි. එනිසා සිහින් හැඩැති සිරුරක් ලබා ගන්නට හුදෙක් ගෙදර දර පැලීමෙන්, රෙදි සේදීමෙන් සහ අතු ගෑමෙන් හැකිවන්නේ නැහැ.

ෆිට්නස් බෑන්ඩ්වලට බ්ලූටූත් හරහා ස්මාර්ට් දුරකතනයේ ස්ථාපනය කරන ලද, එයට ම අදාල ඇප් එකත් සමඟ සම්බන්ධ වන්නට පුළුවන්. මෙම සම්බන්ධතාව හරහා බෑන්ඩ් එකේ සැකසුම් වෙනස් කරන්නට, එය හරහා එක්රැස් කරන ලද දත්ත පිළිබඳ විශ්ලේෂණාත්මක තොරතුරු, ප්‍රස්තාර සහ වගු සහ දෛනික ව්‍යායාම් ඉලක්ක ආදිය ගැන දැකගන්නට පුළුවන්. රුපියල් දෙදහසකට පමණ මිලදී ගත හැකි නමුත් හොඳ නිමාවක් හා කල් පැවැත්මක් ඇති ෆිට්නස් එකකින් අපේ පියවර තබා ඇවිද ගිය ප්‍රමාණය, දුවන ලද ප්‍රමාණය, නිදාගත් ප්‍රමාණය ආදී දේ දැකගන්නට පුළුවන්. නිදා ගන්නා විට මෙය පැළඳගත් විට උදේට ඇප් එක හරහා අපි කෙතරම් කාලයක් නිදාගත්තා ද යන්න නින්නද කොටස් තුනකට බෙදා පෙන්වනවා. ගැඹුරු නින්ද, සාමාන්‍ය නින්ද සහ නින්ද අතරතුර ඇහැරී සිටි කාලය මෙම තොරතුරුවලට අඩංගු වෙනවා. රුපියල් තුන් දහසකට පමණ ලබාගත හැකි ඒවායේ හෘද ස්පන්දන සංවේදකයක් තිබෙන නිසා ඉන් දිනය පුරාවට අපේ හෘද ස්පන්දන වේගයන් සමාන කාල ප්‍රාන්තරයන්ගෙන් සටහන් කරගෙන විශ්ලේෂණාත්මක දත්ත ඉදිරිපත් කරනවා. එවිට නින්ද අතරතුර අපි භයානක හීනයක් දැක්කා නම් ඒ කුමන වේලාවේදී ද යන්න නින්ද සහ හෘද ස්පන්දන දත්ත දෙස බලා අපට තීරණය කරන්නට පුළුවන්. විශේෂයෙන් වියපත් කෙනෙක්ට හෘද ස්පන්දන සහ ශරීර සුවතා දත්ත හරහා තමන්ගේ එදිනෙදා ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානයෙන් සිටීමට හැකියාව ලැබෙනවා.

ශරීර සුවතාවය පිළිබඳ අංශු මාත්‍රිකව හෝ තැකීමක් නොකරන කෙනෙක්ට වුවත් මින් ලැබිය හැකි ප්‍රායෝජන බොහොමයි. සාමාන්‍ය අවස්ථාවේදී මෙය ඔරලෝසුවක් ලෙස ක්‍රියා කරනවා. දුරකතනය සමඟ බ්ලූටූත් හරහා සම්බන්ධ කළ විට ඊට ඇමතුමක් පැමිණි විට බෑන්ඩ් එක දෙදරමින් (වයිබ්‍රේට් වෙමින්) ඒ බව දැනුම් දෙන අතර දිගු තිරයක් සහිත බෑන්ඩ්වල ඇමතුම ලබා දෙන කෙනාගේ නම ද පෙන්වනවා. බස් එකේ යද්දී ෆෝන් එක බෑග් එකේ දමාගෙන යන්න ඔබ පුරුදුව සිටිනවා නම් මඟ හැරුණු දුරකතන ඇමතුම් ගණන අනන්ත ප්‍රමාණ වෙන්නට ඇති. රිය ධාවනය කරමින් සිටින අවස්ථාවක ඇමතුම එන්නේ කාගෙන් දැයි දුරකතනය අතට ගෙන මාර්ගයෙන් දෙනෙත ඉවතට ගන්නා තත්පරය රිය අනතුරකට මඟ පාදන්නක් විය හැකියි. නමුත් ෆෝන් එකෙන් ශබ්දයක් ආවේ ඇමතුමක් නිසා ද, SMS පණිවිඩයක් නිසා ද, අනවශ්‍ය ෆේස්බුක් පණිවිඩයක් නිසා ද ආදී සෑම දෙයක් ම බෑන්ඩ් එක හරහා පෙන්වන නිසා හැමවිටම ෆෝන් එක අතට ගන්නට කරදර විය යුතු නැහැ. එය බෑන්ඩ් හරහා ම කියවන්නට සහ ඇමතුම් විසන්ධි කිරීම කරන්නට පුළුවන්. මේ නිසා තව දුරටත් අහවල් නිළිය සමඟ සවාරියක් යන්නට මෙහෙම රිප්ලයි කරන්න යැයි ලැබෙන විකාර SMS එකක් බලන්නට බෑග් එකේ පතුලට බැස ෆෝන් එක සොයන්නටත්, වාහනය අනතුරට ලක් කර ගන්නටත් අවශ්‍ය වන්නේ නැහැ. අද කෙතරම් දුරක් ඔබ ඇවිද්දා ද? කෙතරම් කැලරි දහනය කළා ද? ඔන්න, ෆිට්නස් බෑන්ඩ් එකක් තිබුණා නම් ඒ ගැන පහසුවෙන් ම දැනගන්නට තිබුණා.

නව අදහස දක්වන්න