2020 අයවැයට සුරා බදු ආදායම නෑ | දිනමිණ

2020 අයවැයට සුරා බදු ආදායම නෑ

චන්ද්‍රිකා පෙරේරා

වර්ෂ 2020 ජාතික අයවැය සුරා බදු ආදායම නොමැතිව සැකසීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහන් කරයි. මේ අනුව ශ්‍රී ලංකාව මතින් නිදහස් රටක් බවට පත් කිරිමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිමය ක්‍රියාකාරී වැඩපිළිවෙළ අනුව වර්ෂ 2020 වන විට ඉටුකර ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ඉලක්ක හා අරමුණු 13ක් ක්‍රියාවට නංවා තිබේ.

2014 වර්ෂයට සාපේක්ෂව 2020 වන විට මෙම අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂිතය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය හා අලෙවිය අවම වශයෙන් 80%කින් අඩු කර ගැනීම, ඒක පුද්ගල මද්‍යසාර භාවිතය අවම වශයෙන් 25%කින් ද, දුම්කොළ නිෂ්පාදනය 50%කින් ද, මද්‍යසාර භාවිතයෙන් සිදුවන රිය අනතුරු අවම වශයෙන් 50%කින්ද, අඩුකර ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

මීට අමතරව නවකයන් මතට ඇබ්බැහි වීම වලකා ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගෙන් භාවිතා නොකරන්නන්ට වන හානි අවමකර ගැනීම, මද්‍යසාර භාවිතට වන බලපෑම් නැති සමාජයක් ස්ථාවර කිරීම, දුම්වැටි දුමාරයෙන් දූෂිත නොවූ පරිසරයක් සැකසීම, ආදිය ද 2014ට සාපේක්ෂව 2020 වන විට සපුරා ගැනීමට අපේක්ෂිත ඉලක්ක වේ. එම කාර්යයන් ඉටු කර ගැනීම සඳහා දුම්කොළ හා මද්‍යසාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජාතික ප්‍රතිපත්ති අනුව දුම්කොළ හෝ මද්‍යසාර සඳහා නව බලපත්‍ර ලබා නොදීම, මිල සංශෝධනය, රජයේ කිසිදු උත්සවයකට දුම්කොළ, මද්‍යසාර, භාවිතා නොකිරීම, මෙම නිෂ්පාදන සඳහා කිසිදු සහනයක් ලබා නොදීම, මත් ද්‍රව්‍ය භාවිතයට දිරි ගැන්වෙන කලා කෘති විකාශනය තහනම් කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, අත්අඩංගුවට ගන්නා නීති විරෝධී දුම්කොළ නිෂ්පාදන විධිමත් ලෙස විනාශ කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට දඬුවම් ලබන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට උසස් වීම් හා වැටුප් වර්ධක අත්හිටුවීමත් හෝ ප්‍රමාද කිරීමට ද තීන්දුවක් ගෙන ඇත.

සියලු ආගමික හා සංස්කෘතික උත්සව වලදී අවම වශයෙන් දින දෙකක් මත්පැන් අලෙවි සැල් වසා තැබීමට ද මීට සමගාමීව තීරණය කර ඇත. වයස අවුරුදු 21ට අඩු පුද්ගලයින්ට දුම්කොළ, මද්‍යසාර භාවිතා කරන සමාජ ශාලා, කාරොකේ ආදි ස්ථානවලට ඇතුල් වීම තහනම් කිරීමට ද මේ අනුව ප්‍රතිපත්තිමය තීරණයකට ආණ්ඩුව එළැඹී ඇත. මීට සමගාමීව ‘මතින් තොර රටක්‘ වැඩපිළිවෙළ අනුව මත්ද්‍රව්‍ය ඉල්ලුම හා සැපයුම අවම කිරීම සඳහා ප්‍රතිපත්ති හා නීති සම්පාදනයත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් රජය තීරණය කර ඇති අතර ඇබ්බැහි වූවන් මුදා ගැනීමේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතු ද සිදු කෙරේ.

 

නව අදහස දක්වන්න