ඇත්තට ම ඒක මාරයි | දිනමිණ

ඇත්තට ම ඒක මාරයි

ප්‍රබුද්ධි රණසිංහ

වෙනස්ම පිටකවරයක් අද වයි අතිරේකයේ පළ කළේ එක් විශේෂ හේතුවක් නිසයි. දුම්කොළ භාවිත කරන සියලු පුද්ගලයන් මේ මස 31 දින, ඒ කියන්නේ අද දවසේ දුම්කොළ භාවිතයෙන් වැළකී සිටින ලෙසත් ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් වැළකී සිටින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමක් කළේ පසුගිය සතියේ.

මේ උදාර ඉල්ලීමට වයි අතිරේකයෙන් පූර්ණ සහාය පළ කිරීමත් ඒ මාහැඟි කටයුත්තට පූර්ණ ගෞරවාචාරය පුද කිරීම උදෙසාත් තමයි අද මේ විදිහට වයි අතිරේකයේ මුල් පිටුව වෙනස් ම ආකාරයකින් පළ කරන්න අප තීරණය කළේ.

මේ රටේ ජාතික ව්‍යසනයක් බවට පත්වෙලා තියෙන දුම්කොළ භාවිතය නිසා දවසකට මිය යන සංඛ්‍යාව 20,000ක් බව මේ වන විට හඳුනාගෙන තියෙනවා.

අපේ රටේ සමස්ත ජනගහණයෙන් 12%ක් දුම්වැටි භාවිත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ඇත්තට ම කලාපයේ සෙසු රටවල් හා සසදද්දී ශ්‍රී ලංකාව දුම්වැටි භාවිතය අවම රට වුණත් දුම්වැටි භාවිතයෙන් රෝගී වූවන්ට ප්‍රතිකාර කරන්න ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් වසරකට වෙන් කරන්න රජයට සිදුවෙලා තියෙනවා.

අද තරුණ ප්‍රජාව දුම්වැටි හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කිරීමෙන් බොහෝදුරට ඈත් වෙලා සිටියත් ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන බහුජාතික සමාගම්, තරුණයන් බිලිගන්නා ජඩ මාෆියාව නම් කිසිසේත් ම අඩු කර නෑ. සිගරට් පැකට්ටුවේ රූපමය අවවාදය ඇතුළු කරන්න එදා කෙතරම් අරගලයක යෙදෙන්න සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටි වත්මන් ජනපතිවරයාට සිදු වූවාදැයි අපට අමතක කරන්න බෑ.

සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටවල් අල්ලේ නැටවිය හැකි රූකඩ ලෙස සලකා කටයුතු කරන එවැනි බහුජාතික සමාගම්වල ගහලයන් තරුණ ජීවිත බිලිගනිමින් තමන්ගේ මඩි තරකර ගන්නේ රජයට ද අසීමාන්තික බලපෑම් එල්ල කරමින් බව නොරහසක්. දුම්කොළ සහ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ තහනම් කළ යුතු, ජාතිය වනසන උවදුරක් වුවද රජයකට එතරම් එඩිතර තීන්දුවක් තවමත් ගත නොහැකි වී තිබෙන්නේ මේ ධීනයන්ගේ දඬු අඬුවට අප වැනි රටවල් තදින් ම හිරවී තිබෙන නිසා බව ද අප දන්නා කරුණක්. එහෙත් තුන්වන ලෝකයේ රටක් වුව ද අප රට මේ වන විට දුම්කොළ සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව සිදුකරගෙන යන අරගලය සුවිශාල එකක්.

අතීතය හා සසදද්දී වර්තමානය වන විට එහි ප්‍රශස්ත ප්‍රතිඵල අප අද යම්තාක් දුරට භුක්ති විඳිමින් සිටින බව ද සිහිපත් කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට පිළිබඳව පැසසුම් සහගතව කතා කරන්නේ ද එහි ප්‍රතිඵලයක් වශයෙන්. කොහොම වුණත් දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයට තරුණයන් පෙළඹවීමේ බහුජාතික සමාගම්වලට කොන්ත්‍රාත්තුව දැන හෝ නොදැන සිය උරමතට ගෙන ක්‍රියා කිරීමේ වරද මේ රටේ බොහෝ විද්‍යුත් මාධ්‍යයන් ද භාරගත යුතු බවයි මගේ පෞද්ගලික හැඟීම.

ඉන්දියාවේ කසිකබල් චිත්‍රපටත් ටෙලිනාට්‍යයත් අපේ රටේ විද්‍යුත් මාධ්‍ය අරක්ගෙන තිබෙනවා විතරක් නෙවෙයි ඒවායේ උජාරුවට පෙන්වන දුම්වැටි හා මත්ද්‍රව්‍ය පාවිච්චිය මහා වීරකමක් ලෙසට හුවා දැක්වීමත් ඒ හරහා පරිණත නොවූ තාරුණ්‍ය්‍ය ඒ කරා ඇදී යෑමට ඇති ඉඩ ප්‍රස්ථාවන් බහුල වීමත් මහා අභාග්‍යයක්. ඒ සෑම දර්ශනයක දීම රූපවාහිනියේ යට තීරුවේ

"දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය සියල්ල අඩපණ කරයි", "ඔබේ දරුවා දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකා ගන්න."

වැනි පාඨයන් ප්‍රදර්ශනය කිරීමත් එක්තරා අයුරකින් ඒ සඳහා අනුබල දීමක් ලෙසයි අප දකින්නේ. මෙවැනි වැකි ප්‍රදර්ශනයෙන් දරුවා තුළ අනවශ්‍ය කුතුහලයක් රෝපණය කිරීමටත් එවැනි දේ අත්හදා බැලීම සඳහා දරුවා යොමු වීමටත් ඉවහල් වන ප්‍රවණතාව වැඩියි. සුද්දා අපට ඉතිරි කර ගිය මේ පිළිලය සහමුලින් ම උදුරා දැමිය නොහැකි තැනට ලංකාව අද පත්වෙලා.

හැන්දෑවේ සුපිරි වෙළඳසැල්වල, වයින් ස්ටෝස්වල, තැබෑරුම් අසල පොදිකන මිනිසුන්ගේ ප්‍රමාණය දුටු විට මේ තරම් මත්ද්‍රව්‍යයන්ට යට කිරීමට මිනිසුන්ට සල්ලි කොහෙන්දැයි හිතෙන අවස්ථා නම් අනන්තයි. අප්‍රමාණයි.

සෑම අයවැය වාර්තාවකින් ම මත්ද්‍රව්‍ය මිල වැඩි කළත් තැබෑරුම් අසල පොරකන මිනිසුන් අඩු කිරීමට නම් ඒ බදුවලට හැකියාවක් ලැබිලා නෑ. කිරිපිටි පැකට්ටුව මිල ඉහළ ගිය විට බෙරිහන් දෙන මිනිසුන් අරක්කු බෝතලය රුපියල් දහස ඉක්මවා ඉහළ ගියත් කිසිම ලෝබකමක් නැතිව ඒ සඳහා පසුම්බියේ මුදල් විසි කරන්නේ දරුවාට දෙන කිරිපිටි පැකැට්ටුවට වඩා තමාගේ බේබදුකම උත්කෘෂ්ට කොට සලකන නිසයි. ලංකාවේ බොහෝ අපරාධවලට වක්‍රාකාරයෙන් සුරාවත් වගකිව යුතු සාධකයක් වෙලා.

මතින් විකෘති වුණු මනසක් ඇති මිනිසකු ඕනෑම ජඩකමක්, පාදඩකමක් කරන්න දෙවතාවක් හිතන්නේ නෑ. තමාගේ ලෙයින් උපන් දරුවා පවා දූෂණය කර දමන අමනයන් බවට පත් වන්නේත් මේ මත්ද්‍රව්‍යවලින් විකෘති කළ මනසක් ඇති මිනිසා ම බව බොහෝ අවස්ථාවල දී අනාවරණය වී තිබෙනවා. මේක පුංචි කතාවක්.

එක්තරා පෙදෙසක දැහැමි මිනිසෙක් සියලු පස්පවින් වැළකී, සිල්වත් ජීවිතයක් ගත කරමින් උන්නා. මොහුගේ ධාර්මිෂ්ට භාවය ගැන පැහැදී එය සැබෑවට ම අවබෝධ කරගන්න සිතූ එක්තරා දෙවිකෙනෙක් ඔහු හමුවට පැමිණ, වර තුනක් ලබා දෙනවා.

ඒ තමයි මත්පැන් බෝතලයක්, මස්ගාතයක් සහ ගැහැනියක් මවා ඉන් එකක් තෝරාගන්නා ලෙස ඔහුට පවසනවා. මේ දැහැමි මිනිසා මුලින් ම ලැබුණු ගැහැනිය ප්‍රතික්ෂේප කරන්නේ ඇයව කෙළෙසා දැමීම ඉතාමත් තිරිසන් ක්‍රියාවක් නිසයි. ඉන්පසු ඔහු මස්ගාතය දිහා බලා එයත් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රාණගාතයත් දැඩි සේ පිළිකුල් කරන ඔහු මළකුණක් අනුභව කිරීම ඊටත් වඩා තදින් පිළිකුල් කරනවා.

ඉන්පසු ඔහුට තෝරා ගැනීමට ඉතුරු වෙන්නේ මත්වතුර බෝතලයයි. එයත් පාපයක් ලෙස සැලකුවත් මේ දැහැමි මිනිසා කල්පනා කරන්නේ මත්වතුර ස්වල්පයක් බිව්වාම එය කිසිම කෙනෙකුට හානිදායක නොවන නිසා ඉන් ස්වල්පයක් පානය කිරීමටයි. දෙවියන්ගේ වරය ප්‍රතික්ෂේප කරන්නත් ඔහු කැමති වෙන්නේ නෑ.

ඒ නිසා මත්වතුර බෝතලය අතට ගත් මේ දැහැමි මිනිසා ඉන් උගුරක් පානය කරනවා. තමාගේ නහර පුරා ඒ මත්වතුර ගලාගෙන යද්දී ඔහුට තවත් ඉන් උගුරක් බීමේ ආසාව ඇතිවෙනවා. ඉන්පසු ඔහු තවත් උගුරක්, තවත් උගුරක් ආදී වශයෙන් එම බෝතලයෙන් අඩක් ම හිස් කරනවා. ඉන්පස්සේ මේ මිනිසාට මස් කැබැල්ලක රස බැලීමට ආසාවක් ඇති වෙනවා.

මතින් අඩක් සිහිසන්ව සිටි ඔහු මුළු මස්ගාතයත් සුරා බෝතලයත් පැයක් තුළ දී කා බී අවසන් කරනවා. දැඩි ලෙස මත් වතුරින් මත් වී සිටි මේ සිල්වත් මිනිසා ඉන්පසු අර සුරූපී තරුණිය දකිනවා.

මතින් සිහි විකල්ව සිටි ඔහු ඒ ගැහැනිය හා කාම සිත් ඇතිව ඇය වෙත ගොස්, ඇයව අමානුෂික අයුරින් දූෂණය කර දමනවා. මේ මම කාලයකට ඉහත දී ඇසූ කදිම උපදේශාත්මක කතාවක්. අරක්කුවලට ඕනෑම දැහැමි මිනිසකු තිරිසනකු කරන්නට ගත වෙන්නේ එක් නිමේෂයක් පමණයි.

ඔහු තදින් ම පිළිකුල් කරනා දෙයක පවා ඒ නිමේෂයේ දී ඔහු තදින් ම ඇලුම් කරන දෙයක් බවට පත්වෙන්නේ කඩිනමින්. සිගරට් භාවිතය වගේ ම අරක්කු භාවිතයත් ජීවිතයට ළඟා කරගත හොත් ඉන් ඔබට කවදාවත් සැනසීමක් නම් උදාවෙන එකක් නෑ. තමන්ට මුදල් පමණක් නෙවෙයි ජීවිතයේ වටිනා කියනා බොහෝ දේවල් නැති වී යෑමට එය ම හේතුවක් වේවි.

තමන්ගේ ආදරණීය ප්‍රියයා, දරුවන්, සමාජයේ ඇති කරගත් පිළිගැනීම පවා එක් නිමේෂයකින් විනාශ කර දමන්න මේ රකුසාට හැකි බව හිතට ගන්න.

තාවකාලික සිහිවිකල් වීමක් නිසා ජීවිත කාලය ම විඳවන මිනිසුන් ගැන ඇස් දෙකෙන් ම බලාගන්න ඕන නම් මහරගම අපේක්ෂා රෝහලට එක මොහොතකට පියනඟා බලන්න. ආතල් එකට සිගරට් බිව් මිනිසුන් පිළිකා රෝගයට ගොදුරු වෙලා ජීවිත කාලය ම පණුවෝ දමමින් සැරව ගලමින් කතා කිරීමටවත් නොහැකිව විඳින අපා දුක කෙතරම් දැයි ඔයාලට ම බලාගන්න පුළුවන් වේවි.

ඔබත් දුම්වැටි උරන, කෙනෙක් නම් අනිවාර්යයෙන් ම මහරගම අපේක්ෂා රෝහලට දවසක ගොඩවී බලන්න. උරද්දී ආතල් යැයි හිතුවත් පිට කරද්දී තියෙන රඟේ කොහොම දැයි එවිට ඔයාලට ම තේරේවි. බහු ජාතික සමාගම්වල ජඩ මාෆියාවට තව දුරටත් වහල් වෙන්න යන්න එපා. ඒක ආතල් එකක් නෙවෙයි. මේ බණ කියනවා නෙවෙයි. මේ හැමදේ ම කියන්නේ අත්දැකීමෙන්.

මොකද කාලෙකට ඉස්සර හොඳ හැටි සූර්වෙලා, උතුර දකුණ සිහිය නැතිව හතරගාතෙන් ගෙදරට යන අතීතයක් මටත් තිබුණා. ඒත් ඒ අතීතය වළ දාලා මතකවස්ත්‍ර පවා පූජා කරන්න මට ආත්ම ශක්තිය තිබුණා. අද ඒ නිසා ම මම වෙන කවරදාකටත් වඩා සතුටින් ඉන්න මිනිසෙක් බවට පත් වුණා.

ඒකට හේතුව අර තිරිසන් පුරුද්දෙන් මම සදහට ම අත්මිදුණු හින්දයි. අද ඉඳලා ඒ පුරුද්ද නැති කරගන්න උත්සාහ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

තවදුරටත් වහලෙක් නොවී නිවහල් මිනිසෙක් විදිහට හෙට දින පිබිදෙන්න සිතට සවියක් ගන්න.

ඉන් මිදුණම දැනෙන සතුට, සැහැල්ලුව වගේ ම ආත්ම තෘප්තිය කවදාවත් සල්ලිවලට නම් ගන්න බෑ. ඇත්තට ම ඒක මාරයි.

 

නව අදහස දක්වන්න