නවකතාවක් දර්ශනයක් උගන්වනවා | දිනමිණ

නවකතාවක් දර්ශනයක් උගන්වනවා

බන්දුපාල ගුරුගේ

ලංකාවේ ලියන මිනිස්සු අතරින් පරිසරවාදය ඇතුළු කර ගන්නේ ඉතා සුළු පිරිසක් විතරයි. අපි පුංචි කාලේ ඉදලා පරිසරයට ආදරය කරන මිනිස්සු. මම පරිසරයට අතිශය ලෙස ආදරය කරනවා. ඒ නිසා මම ගස් විනාශ කරනවාට කැමැති නෑ. බුදු හාමුදුරුවොත් පාරිල්‍යෙය වනයේ වැඩි කාලයක් වාසය කළා. ස්වභාවධර්මය කියන්නේ වනාන්තර. අපි වනාන්තර විනාශ කරලා ආයුෂ අඩු කරගෙන තියෙන්නේ. ඉස්සර මිනිස්සු වැඩි ආයු කාලයක් ගත කළා. වින්ටර් අක්කර 1000ක් ගන්නකොට, සිංහරාජ වනාන්තරය බද්දේගමටම පැතිරිලා තිබුණා.

යටත් විජිත පාලනයේ සිට ගාලු දිස්ත්‍රික්කයේ විකාශනය ගැන නිර්මාණය වුණ ‘දෝනා නැන්සිහාමිනා’ බන්දුපාල ගුරුගේ මහතාගේ නවකතාවෙකි. අතීත සමාජ ක්‍රමය තුළ පැවැති සිදුවීම් එකිනෙක අළලා නවකතාව ගොඩනඟා තිබේ. එකල වැවිලි කර්මාන්තය ගාලු දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කළ ජෝර්ජ් වින්ටර් නැමැති සුදු ජාතිකයා හා සිංහල ජන සමාජය අතර ළැබැදියාව ඔස්සේ දිවෙන නව කතාව ප්‍රේම කතාවකට වඩා වෙනස් ආරක් ගෙන තිබේ. යටත් විජිත සමයේ සමාජ පරිණාමය පිළිබඳ සිද්ධි සමුදායක් ඔස්සේ දෝනා නැන්සිහාමිනා පාඨක ජනතාවට තිළිණ කළ බන්දුපාල ගුරුගේ මහතා සමඟ කළ කතා බහකි මේ.

දෝනා සහ නැන්සිහාමිනා නව කතාව, අප මෙතෙක් කියවා ඇති නවකතාවලට වඩා අසාමාන්‍යයයි. ඒ ගැන යමක් සඳහන් කළොත්?

මේ නව කතාවේ සන්දර්භය වෙනත් නවකතාවලට වඩා අසාමාන්‍යයි කියලා නව කතාව කියවපු පාඨකයන්ගේ අදහස්වලින් මම අවබෝධ කර ගත්තා. මේ කතාව තෝරා ගත්තේ, අපේ රටේ නව කතාවලට භාවිත කරන පොදු ක්ෂේත්‍ර සහමුලින්ම ඉවත් කරලයි. මේ කතාවේ කිසි තැනක ගැහැනියක්, පිරිමියෙක් ආලය කරන දෙබසක් හෝ නැහැ. අපේ රටේ අලුත් නවකතාකරුවා හුරුවෙලා තියෙන්නේ, එක් ආකෘතියකට පමණක් සීමා වෙලා, නවකතා ලියන්නයි. අද ඉන්න ලේඛකයෝ හින්දි චිත්‍රපටයක්, දමිළ චිත්‍රපටයක්, පුවත්පත්වල පළවන අනුවේදනීය කතාවක් ආශ්‍රයෙන් නිර්මාණ කරනවා. ඒත්, මේ නව කතාව සියයට සියයක්ම ඉතිහාසයේ අත්දැකීම් සහිත හේතුඵල සම්බන්ධයක් යුක්ත නව කතාවක් කියලා මට කියන්න පුළුවන්. මෙය ඉතිහාස කතාවක් කියලා වරදවා තේරුම් ගන්න එපා. මෙය නවකතාවක්.

මේ කෘතියට පදනම වෙලා තියෙන්නේ, අපේ රටේ යටත් විජිත පාලන කාලය පුරාවට සිදුවුණු, අපේ සමාජයේ පරිණාමයයි. මෙතැන තියෙන ඓතිහාසික සිදුවීම තමයි, 1817 මේ රටට ආපු ජෝර්ජ් වින්ටර් නමැති එංගලන්ත ජාතිකයා. ඔහුට, උඩරට සුදු මිනිස්සුන්ට වඩා, පහතරට විප්ලවයක් ඇති කරන්න මේ මඟින් හැකි වුණා. ජෝර්ජ් වින්ටර් ලංකාවට ඇවිත් මාස දෙකකින් උඩරට කැරැල්ල ඇති වුණා. ඒක වුණේ එංගලන්ත ආණ්ඩුවේ වරදින් කියන දැඩි මතයේ මොහු හිටියා. එංගලන්ත ආණ්ඩුව වින්ටර් ලංකාවට එවලා තියෙන්නේ උපදේශන සඳහායි. ඔහු පහත රට වැවිලි කර්මාන්තය ගොඩනඟාගන්න විශාල කැප කිරීමක් කළා. ඒ හා සමානව විශාල සමාජ පරිණාමයක් ඇති වුණා. මෙන්න මේ කතාව තමයි නවකතාව ගොඩනඟන්න මම උපයෝගි කරගත්තේ.

යටත් විජිතවාදය සහ සමාජ පරිණාමය, නවකතාවකට මුසු කළේ කවර ආකාරයකින් ද?

මෙය තමයි තියෙන බරපතළ ප්‍රශ්නය. සාර්ථක නවකතාවකට හේතුඵල සම්බන්ධයක් සහිත ඉතිහාසයක් තියෙනවා. සෑම සාර්ථක නවකතාවකටම එහෙම සුළු සිද්ධියක් හෝ තියෙනවා. මිනිස්සු කන බොන හැටි, අදින පළඳින හැටි, ජීවත් වන හැටි, පවුල් කන හැටි, පවුල් අතර අර්බුද ඇතිවෙන හැටි, පවුල් දික්කසාද වන හැටි, සමාජ ගැටුම්, දේශපාලන ගැටුම්, මේවා සියල්ල අප අතර තියෙන දේවල්. මේවයින් බැහැර කාටවත් නවකතාවක් ලියන්න බෑ.

යටත් විජිත යුගයේ සිට අප නිදහස ගන්නා තෙක් විහිදුණු පරම්පරා තුන හතරක කතාවක් නේද ඔබගේ නවකතාව?

ඒක පරම්පරා තුනක් හෝ හතරක් වෙන්න පුළුවන්. ජෝර්ජ් වින්ටර් ලංකාවට ඇවිත් පදිංචි වුණා. අද අරලියගහ මන්දිරය එදා අයත් වුණේ මේ ජෝර්ජ් වින්ටර්ට. ඔහුගේ ඥාති පරම්පරා තුනක් අරලියගහ මන්දිරයේ ඉපදිලා තියෙනවා. ඊට පස්සෙ තමයි ලංකා ආණ්ඩුව අරලියගහ මන්දිරය පවරා ගත්තේ. ජෝර්ජ් වින්ටර් තමයි ලංකාවේ පළමු වැනි ඉංග්‍රීසි පුවත්පත වන ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ. ජෝර්ජ් වින්ටර් ඉතා සාධාරණ ආකාරයට දැක්මක් ඇති පුද්ගලයෙක්. වින්ටර්ගෙන් පස්සෙ ඔහුගේ දරු පරපුර ලංකාවේ වතු ක්ෂේත්‍රය ඉගෙන ගෙන, ඉදිරියට ගෙන ගියා. ඔවුන් ලංකාවේ කාන්තාවන් විවාහ කරගෙන, දරු මුණුබුරන් හදා වඩා ගත්තා. මේ පරම්පරාව යුග තුනක් විතර වෙනවිට ලංකාව අතැර ටික දෙනෙක් ගියා. ටික දෙනෙක් නැවතුණා. ලංකාවේ නැවතුණු පිරිස බුදු දහමට ලැදිව කටයුතු කළා. බුදු දහම නඟා සිටුවන්න බොහෝ සේ වැඩ කළා. ඔවුන් නිතරම අගය කළේ සිංහල මිනිස්සුන්ගේ කෘතවේදිත්වයයි. මේ පරම්පරා තුන හෝ හතර ලංකාවේ සිංහල පළාත්වල වර්ධනය වුණා. බෞද්ධ දිස්ත්‍රික්කයක් වන ගාල්ලේ එංගලන්ත විරෝධී සටනක් කිසි දිනෙක ක්‍රියාත්මක වුණේ නෑ. ඒ තරම්ම ජෝර්ජ් වින්ටර් සිංහල ජනතාවට හා බුදු දහමට ළෙන්ගතුව වැඩ කළා. වින්ටර් පරම්පරාවේ තියෙන පොදු සාධකය තමයි ඒ.

පහත රට තෙත් කලාපයේ වනාන්තර විනාශ කිරීමෙන් ගත වූ වසර 150 තුළ, අපේ රට කාන්තාරයක් බවට පත්වන ඉඟියක් මෙහි සඳහන්. ඒ ගැන කතා කළොත්?

මේ කාරණාව අලුත් මාතෘකාවක්. ලංකාවේ ලියන මිනිස්සු අතරින් පරිසරවාදය ඇතුළු කර ගන්නේ ඉතා සුළු පිරිසක් විතරයි. අපි පුංචි කාලේ ඉදලා පරිසරයට ආදරය කරන මිනිස්සු. මම පරිසරයට අතිශය ලෙස ආදරය කරනවා. ඒ නිසා මම ගස් විනාශ කරනවාට කැමැති නෑ. බුදු හාමුදුරුවොත් පාරිල්‍යෙය වනයේ වැඩි කාලයක් වාසය කළා. ස්වභාවධර්මය කියන්නේ වනාන්තර. අපි වනාන්තර විනාශ කරලා ආයුෂ අඩු කරගෙන තියෙන්නේ. ඉස්සර මිනිස්සු වැඩි ආයු කාලයක් ගත කළා. වින්ටර් අක්කර 1000ක් ගන්නකොට, සිංහරාජ වනාන්තරය බද්දේගමටම පැතිරිලා තිබුණා. ඒ දේශගුණය ඉතා සෞම්‍යයි. එදා කපාපු ගහක වයස අවුරුදු 1000ක් විතර වෙන්න ඇති. එදා එංගලන්තයෙන් ගෙනාපු ලී මෝලෙන් ලී කපලා, අක්කර 1000ක් වගා කරන්න වින්ටර් සල්ලි හෙව්වා. ඒ කාලේ ගාල්ල දිස්ත්‍රික්කයේ තිබුණ විශාල භූමි ප්‍රමාණයක ගස් කපලා දැම්මා. අද ලෝක කාන්තාර ලැයිස්තුවේ අන්තිමට ලංකාව තියෙනවා. අපේ රට කියන්නේ තෙත් කලාපයේ හොඳ ම රටක්. ඒත්, පරිසරය විනාශ කිරීමේ ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳිනවා. මේ සියල්ල සිදු වුණේ, යටත් විජිතවාදයේ අනියම් ප්‍රතිඵලයක් විදිහටයි. ඉස්සර අපේ මිනිස්සු ගස් ගල් වගේ ඉවසීම ප්‍රගුණ කරපු අය. අද එහෙම නෑ. ක්ෂණයෙන් කේන්ති යනවා. ඒකට හේතුව තමයි අපේ වනාන්තර පද්ධතිය විනාශ වී යාම. මේ කාරණා විද්‍යාත්මක හේතු, ඒ ගැන ඉතා සූක්ෂ්මව නවකතාවේ අන්තර්ගත කරලා තියෙනවා.

මේ නවකතාවෙන් පුළුල් දර්ශනවාදයක් ගොඩනඟා තිබෙනවා?

දොස්තයෙව්ස්කිගේ අපරාධය හා දඩුවම කියවනකොට පේනවා, දැවන්ත දර්ශනවාදයක්. ඔහු මාක්ස්වාදියෙක් නෙමෙයි. මාක්ස්වාදයට අමතරව තවත් සමාජවාද ගොඩක් තියෙනවා. මගේ නව කතාවේ පතුලේ තියෙන්නේ බුදුදහම. ඒත්, කතාවට බෞද්ධ චරිත අරගෙන ලියලා නෑ. එදිනෙදා ජීවිතයේ මුහුණදෙන සිද්ධි හා විසැඳුම් වටා ලියැවුණ එකක් තමයි මගේ කතාව. එහෙම බැලුවහම, මේ කෘතියෙන් මම මාක්ස්වාදය, විවිධ දර්ශනවාද, බුදු දහම, විද්‍යාව, ඉස්ලාම් ආගම, කතෝලික ආගම, පරිණාමවාදය වගේ 18 වැනි සියවසේ (සංකල්ප යුගය) හැම කාරණයක්ම ස්පර්ශ කරලා තියෙනවා. නව කතාවක් කියන්නේ, දර්ශනයක් උගන්වන කෘතියක් කියලයි මම හිතන්නේ.

සාකච්ඡා කළේ දුමින්ද අලුත්ගෙදර
ඡායාරූපය-සිරිපාල හල්වල

නව අදහස දක්වන්න