එක්ගල්ඔය ඛේදවාචකය | දිනමිණ

එක්ගල්ඔය ඛේදවාචකය

තමන්ගේ ජීවිතය ගැනත් අනුන්ගේ ජීවිත ගැනත් සැහැල්ලුවෙන් සිතන - මතන පුද්ගලයා නායකත්වයට සුදුසු වන්නේ නැත. ජීවිතය බරසාර හා අර්ථවත් දෙයකි. අනුන්ගේ ජීවිතවලින් සමන්විත සමාජය ගත්කල ඊටත් වඩා බරපතළ හැඟීමක් ඇතිකරගත යුතු ය. එහෙත් හාත්පස සමාජය දෙස බලනවිට පුද්ගලයන් එසේ හැසිරෙන බවක් පෙනෙන්නට නැත. සාමාන්‍ය පුද්ගලයන් පමණක් නොව; සමාජයේ නායකත්වය උසුලන පුද්ගලයන් ද ජීවිතය හා සමාජය සැහැල්ලුවෙන් සලකන බවක් පෙනෙන්නට තිබේ. මේ නිසාම බරපතළ ඛේදවාචක සිදුවෙයි. විනාශ ඇතිවෙයි. වටිනා මිනිස් ජීවිත අහිමිවෙයි.

එක්ගල්ඔය ඛේදවාචකය සිදුවී පැයක් යන්නටත් පෙර එය මුළු ශ්‍රී ලංකාව පුරාම පැතිර ගියේ ය. අද පවත්නා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවට හා වේගයට අනුව එය එසේ ම සිදුවිය යුතුය. සිද්ධියෙන් කියැවෙන්නේ එක්ගල්ඔය වැවේ විනෝදයට ඔරු පදින්නට ගිය පිරිසක ඔරුව පෙරැළී ඛේදවාචකයකට මුහුණදුන් බව ය. මේ පිරිස විදුහල්පතිවරයකුගෙන්, ගුරුවරයකුගෙන්, පාසලේ මුරකරුවකුගෙන්, ශිෂ්‍යයකුගෙන් හා තවත් අයවලුන්ගෙන් සමන්විත වූ බව ද ප්‍රවෘත්තියේ සඳහන් ය. ඔරු පැදීමේ මූලිකත්වය ගෙන ඇත්තේ විදුහල්පතිවරයා බව ද කියැවේ. තත්ත්වය එසේ නම්; මේ භයානක විනෝදයේ වැඩි වගකීම ද විදුහල්පතිවරයා වෙත පැවරෙන බව කනගාටුවෙන් වුව කිවයුතු ය.

පාසලක් සම්බන්ධකොට චාරිකාවක් යනවිට එහි මූලිකත්වය හා වගකීම දරන්නේ විදුහල්පතිවරයා ය. එහි උපදේශකයා වන්නේ ද විදුහල්පතිවරයා ය. ඔහුගේ උපදේශනයට අනුව සෙස්සෝ හැසිරෙති. බදුල්ල, කඳන සිරිසීවලී විද්‍යාලයයේ චාරිකාව ද ඊට වෙනස් වන්නේ නැත. මේ චාරිකාව විදුහලේ සුබසාධක සංගමය සංවිධාන කර තිබූ බව කියති. චාරිකාවේ අරමුණ ප්‍රායෝගික වශයෙන් භූගෝලීය අධ්‍යාපනයක් ලැබීම හා ආස්වාදයක් ලැබීම යැයි කියන්නට පුළුවන. එහෙත් ආස්වාදයේ කෙළවර මහා ඛේදවාචකයක් නම්; එය පලක් නැති ආස්වාදයකි. කොටින්ම ඉහත කී චාරිකාව ප්‍රදේශයක් හා රටක් හඬවන සිද්ධියක් බවට පත්ව තිබේ. අප සොයාබැලිය යුත්තේ ඛේදවාචකයට හේතුව කුමක් ද යන්න ය.

තමන් නොදන්නා ජලාශවල දියනෑම, ඔරු පැදීම හා විනෝද ක්‍රීඩාවල යෙදීම නුසුදුසු බව අනන්තවත් කියති. ජනමාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳ උපදේශන ලබාදෙති. ගුරුවරුන් මේ ගැන අවදියකින් සිටිය යුතු අතර විදුහල්පතිවරුන් ඊටත් වඩා මේ ගැන උනන්දු විය යුතුය. තව අතෙකින් ඔවුන් ශිෂ්‍ය පරපුරට ආදර්ශයක් ලබාදෙන අයුරින් තම ජීවිත පැවැත්ම සකස් කර ගත යුතු ය. ඉහත කී සිද්ධියේදී ඒ කිසිවක් සිදුවී නැති බව ඉතා පැහැදිලි ය. විදුහල්පතිවරයා ඇතුළු පිරිස ඔරු දෙකක් එකට ගැටගසා රිටක ආධාරයෙන් වැව මැදට ගොස් සිටියහ. ඔවුන් තමන්ගේ ජීවිත අවදානම ගැන තඹදොයිතුවක සැලැකිල්ලක් දක්වා නැත. වැව මැදදී ඔරුව හසුරුවාගත නොහැකිව පෙරැළී ඇත.

වැව ගැන දන්නා කෙනකු ඔරුවේ සිටියේ නැත. ඔරු පැදීමට පළපුරුදු කෙනකු ද එහි සිටියේ නැත. ඒ හැරෙන්නට ඔරුවට ගොඩවූ අයගෙන් වැඩිදෙනා පිහිනීමට නොදනිති. මේ වැවේ මධ්‍යය රොන් මඩවලින් පිරී ඇති බව ද ඒවායෙහි අඩි ගණනින් ගිලාබසින තැන් හා එරුම් ඇති බව ද කියති. විදුහල්පතිවරයා ඇතුළු පිරිස ඔරු පැදීමට ගොස් ඇත්තේ මේ කිසිවක් නොදැන ය. අනුනට උපදේශන සපයන හා ජීවිතය ගැන පාඩම් කියාදෙන ගුරුවරුන් මෙලෙස හැසිරීම යුක්තිසහගත ද? විදුහල්පතිවරයා ඇතුළු තවත් තිදෙනෙක් මියගොස් සිටිති. එක පුද්ගලයකුගේ සිරුර මෙය ලියන මොහොත වනතුරු ද සොයාගෙන නොතිබිණි. ඔහු එක්ගල්ඔය වැවේ අතුරුදන්වූ පුද්ගලයකු ලෙස සටහන් වී තිබිණි.

වැව්වල, ජලාශවල, දියඇලිවල ජල ක්‍රීඩා කිරීමට ගොස් ශ්‍රී ලංකාවේ සැලැකිය යුතු පිරිසක් වාර්ෂිකව මියයති. තව පිරිසක් මුහුදේ නෑමට ගොස් දියේ ගිලී මියයති. මෙලෙස මියයන අයගෙන් වැඩිදෙනා තරුණ වයසේ පසුවන්නෝ වෙති. ඉහත සිද්ධියෙන් මියගිය තිදෙනකුම තලතුනා වයසේ පසුවන්නෝ වෙති. ඉන් කියැවෙන්නේ තරුණයන් පමණක් නොව; වැඩිහිටි පුරුෂයන් ද වීරක්‍රියා හා විනෝද ක්‍රියා කිරීමට ගොස් අකාලයේ මියයන බව ය. වැඩිහිටියන් අකාලයේ මියගිය විට ඔවුන්ගේ පවුල් අනාථය. එක්ගල්ඔය සිද්ධියෙන් මියගිය විදුහල්පතිවරයා දෙදරු පියෙකි. සිද්ධියෙන් මියගිය චිත්‍ර ගුරුවරයා ද දෙදරු පියෙකි. සිද්ධියෙන් මියගිය පාසලේ මුරකරුවා ද දෙදරු පියෙකි. අන්තරාදායක විනෝදයක ප්‍රතිවිපාකය මේ තොරතුරුවලින් හෙළිදරව් වෙයි.

වියළි කලාපයේ සංචාරක බංගලා හා හෝටල් ඉදිවන්නේ වැව් ආශ්‍රිතවය. එයින් බංගලාවට හා හෝටලයට බලවත් ආකර්ෂණයක් ලැබෙයි. කඳුකර කලාපයේ බංගලා හා ‍හෝටල් ඉදිවන්නේ දියඇලි ආශ්‍රිතව ය. එයින් ද එම සංචාරක ස්ථානවලට වැඩි ආකර්ෂණයක් ලැබෙයි. එහි වරදක් දැකිය නොහැකි ය. සිරිසීවලී විද්‍යාලයයේ සංචාරක පිරිස ද නවාතැන් ගෙන තිබුණේ එක්ගල්ඔය අසබඩ සංචාරක ‍බංගලාවක ය. වැවේ දර්ශන දකින වාරයක් පාසා එහි ඔරු පැදීමේ ආශාවක් පිරිසට ඇතිවන්නට පුළුවන. ඇතැම්විට සංචාරක බංගලාවේ වගකිවයුතු පුද්ගලයකු වැවේ තත්ත්වය ගැන සංචාරකයන්ට පැහැදිලි කර දී තිබුණේ නම්; මෙබඳු ඛේදවාචකයක් නොසිදුවන්නට ඉඩ තිබිණි. එබඳු දැනුම්වත් කිරීමක් ද සිදුවී නැති බව පැහැදිලි ය.

ජලාශ අසල සංචාරකයන්ගේ දැනගැනීම සඳහා දැන්වීම් ප්‍රදර්ශනය කරන ක්‍රමයක් පැවැතිය ද එය හරියටම ක්‍රියාත්මක නොවන බවක් පෙනෙයි. රටේ ප්‍රධාන ජලාශ හා වැව් ආශ්‍රිතව ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවන ක්‍රමයක් පැවැතිය ද එය හරිහැටි ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. සෑම ජලාශයක් ළඟම ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමේ හැකියාවක් ද නැත. එහෙත් දැන්වීම් ප්‍රදර්ශනය පහසුවෙන් කළ හැකි දෙයකි. දැන්වීම් තිබුණ ද ඒවා ගණනකට නොගෙන දියට පනින අය සිටිති. එහෙත් දැන්වීම් නිසා කෙනකු දෙවරක් සිතන්නට පෙලඹෙනු ඇත. එය වැදගත් දෙයකි.

ශ්‍රී ලංකාවේ වැඩි පිරිසකට පිහිනන්නට බැරි යැයි කිවහොත් විදේශිකයන් සිනාසෙනු ඇත. රට වටේට ඇත්තේ මුහුද යි. ඒ හැරෙන්නට මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වී රටේ සිව්කොන දක්වා විහිදෙන ගංගා විශාල ප්‍රමාණයක් ද රට සතුය. එහෙත් පිහිනීමට අසමත් පිරිස අධික ය. ඒ ගැන අප කනගාටු විය යුතු ය. පිහිනීමේ අසමත්කම ඉහත මරණවලට ප්‍රධාන හේතුවකි. පිහිනීම පාසල්වල ප්‍රායෝගික විෂයයක් ලෙස ඉගැන්වීම වුව වරදක් නැත. පිහිනුම් තටාක නැති පාසල්වලට ඒ සඳහා ළඟපාතක වැවක් හෝ ගඟක් හෝ යොදාගත හැකි ය. වාර්ෂිකව දියේ ගිලීමෙන් මියයන පිරිස දෙස බලනවිට මේ පුහුණුවේ වැදගත්කම පෙනී යනු ඇත. අපගේ වැටහීමට අනුව පිහිනීමට දක්ෂ කෙනකු දියේ ගිලී මියයන්නේ ඉතා කලාතුරකින් ය.

 

නව අදහස දක්වන්න