පොහොට්ටුවට ගොස් වැඳගෙන හිටියත් ගෝඨාභයට බැට පිට බැට | දිනමිණ

පොහොට්ටුවට ගොස් වැඳගෙන හිටියත් ගෝඨාභයට බැට පිට බැට

* ජනපති පුටුවට ආ සමූපකාර සේවකයා
* සිංගප්පුරු අගමැතිට රනිල් සජිත් ගැන කියයි
* වෙල්ගම දිගටම සටනේ
* ජ වි පෙ තෙල් මිල බස්සන්න හදයි

අනූහයවැනි ජාත්‍යන්තර සමුපකාර දිනයේ ජාතික උත්සවය මෙවර පැවැතියේ මඩකළපුව මේබර් ක්‍රීඩාංගණයේදීයි. සමූපකාර ව්‍යාපාරයට සම්බන්ධ විද්වතුන් ක්‍රියාකාරීන් හා නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූ මෙම උත්සවයට ඇමැති රිෂාඩ් බදුර්දීන් , රාජ්‍ය ඇමැති ඒ. එල්. එම්. හිස්බුල්ලා නියෝජ්‍ය ඇමැතිවරුන් වන අමීර් අලි හා බුද්ධික පතිරණද සහභාගී වී සිටියා. උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී කතාකළ ජනාධිපතිවරයා කීවේ මීට පෙර අවස්ථා ගණනාවකදී සමුපකාර ව්‍යාපාරයේ ජාතික සමුළුවට තමන් සහභාගි වී ඇති බවයි. පළමුවෙන් සමුපකාර සේවකයකු වශයෙන් සහභාගි වූ තමා පසුව ඇමැතිවරයකු ලෙස සහභාගි වූ බවත් මේ වනවිට රටේ ජනාධිපති ලෙසත් මෙම උත්සවයට සහභාගී වන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. රටේ ජනාධිපති තනතුරට සමුපකාර සේවකයකු පත්වූ එකම අවස්ථාව මෙය බවද ජනාධිපතිතුමා කීවා.

සමූපකාර ව්‍යාපාරයේ ගැටලු හා ප්‍රශ්න විසඳා ගැනීමට මීට වඩා ක්‍රියාශීලි වැඩ පිළිවෙළකට යායුතු බව කී ජනාධිපතිතුමා ඒ සඳහා වැඩ පිළිවෙළක් දැන් සකස් වෙමින් පවතින බවත් ඉදිරි මාස කිහිපයේදී එම වැඩපිළිවෙළ සකසා ක්‍රියාවට නගන බවත් ප්‍රකාශ කළා. තමන් ගැන විතරක් හිතන අයට සමුපකාර ව්‍යාපාරයේ රැඳී සිටීමට නොහැකි බවත්, සමාජයේ අනෙක් අයට ගරු කරන අනෙක් අයගේ ප්‍රශ්න තේරුම්ගත හැකි අයට සමුපකාර ව්‍යාපාරයේ ඉදිරියට යා හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

පොළොන්නරුව ලංකාපුර අභයපුර ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ රන්කොත් චෛත්‍යයේ කොත නිරාකරණය කිරීමද ජනාධිපතිතුමා අතින් පසුගියදා සිදුවුණා. දේශමාන්‍ය දේශ බන්දු මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ හා පවුලේ උදවියගේ ධන පරිත්‍යාගයෙන් චෛත්‍යය ඉදිකොට තිබෙනවා.

එහිදී අතීතය සිහිපත්කළ ජනාධිපතිතුමා කීවේ 1968 දී අභයපුර ප්‍රදේශයට පැමිණි පළමු අවස්ථාවේ ගියේ මිත්‍රපාල මහතාගේ නිවසට බවයි. ඉන්පසු නිතර එම ප්‍රදේශයට පැමිණි තමනට ගමේ සෑම නිවසක්, පාරක්, අමුණක්ම මතක බවත්, ඇතැම්විට දැන් අලුත් පිරිස් පැමිණ සිටිය හැකි බවත් ජනාධිපතිතුමා කීවා. යහපත් සමාජයක් ගොඩනැගීමේදී මහ සඟරුවනේ අනුශාසනා ඉතාමත් වටිනා බවද ජනාධිපතිතුමා පැවසුවා.

වැලිකන්ද නව ගොවිජන සේවා මධ්‍යස්ථානය විවෘතකිරීමේ උත්සවයටද ජනාධිපතිතුමා සහභාගී වුණා. එහිදී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ මේ රටේ වැඩියෙන්ම දුක්විඳින පිරිස ගොවි ජනතාව බවයි. ගොවි ජනතාවගේ ගැටලු ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා සිදුකොට තිබෙන දැවැන්ත වැඩ පිළිවෙළ ගැන කතාකළ ජනාධිපතිතුමා ලබන අගෝස්තු 1,2,3 දිනවල සියලුම ඇමැතිවරුන් පොළොන්නරුවට පැමිණෙන බවත්, අලුත් ඉදිකිරීම් 170ක් විවෘත කිරීම එම දින තුනේ සිදුකරන බවත් කීවා. මෙබඳු දැවැන්ත සංවර්ධනයක් මීට පෙර රටේ කිසිදු ප්‍රදේශයක ක්‍රියාත්මක වී නැති බවත් ජනාධිපතිතුමා කීවා.

ලොව රටවල් 125 ක ප්‍රබල දේශපාලකයන් ව්‍යාපාරිකයන් විද්වතුන් එක්වූ ප්‍රධාන සමුළුවක ප්‍රධාන දේශනය සදහා පස්ගියදා සිංගප්පූරුවට ගිය අගමැතිවරයාට එහිදී ඉහල පිළිගැනීමක් ලැබිණා.

“ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රයක් ලෙස අප ගොඩනගනවා. ඒ හරහා මුළු ආසියාවටම ශක්තියක් වීමට නුදුරේදීම අපට පුළුවන් වේවි” යයි එහිදී ප්‍රකාශ කල අගමැතිවරයා ලංකාව ගොඩනගන වැඩ පිළිවෙළද විස්තර කළා.

දිවා හා රාත්‍රී නිල භෝජන සදහා අගමැතිවරයාට ලැබුණු ආරාධනාවල නිමක් නොමැති වුණා. ඒ අතර සිංගප්පූරු අගමැතිගේ නිල දිවා භෝජනය විශේෂ තැනක් ගත්තා.

“ රනිල් අගමැතිතුමා වැනි දැක්මක් ඇති නායකයකු අපේ මේ සමුළුවේ ප්‍රධාන දේශනයට පැමිණීම ඉතා අගය කරනවා.ඔබේ ඒ දේශනය තුළ අන්තර්ගත වූ වැඩ පිළිවෙළ සම්පූර්ණ වූ විට ලංකාව ලෝකයේම බලවත් රටක් වේවි. ” සිංගප්පූරු අගමැතිවරයා එහිදී විශේෂ ඇගයීමක්ද කළා.

සජිත් ප්‍රේමදාස ලංකාවේ අනාගතය බාර ගැනීමට සිටින නායකයෙකු ලෙස අගමැතිවරයා එහිදී සිංගප්පූරු අගමැතිට ඔහු හදුන්වා දුන්නේ හිටපු ජනාධිපති ප්‍රේමදාස ගැනද මතක් කර දෙමින්. සජිත් හා සිංගප්පූරු අගමැතිවරයා දිවා භෝජනයට එකලග අසුන් වල වාඩි වූයේ අනතුරුවය.

අගමැති රනිල්ගේ වැඩ පිළිවෙළෙ ඉදිරියටම ගෙන යාමට තමා සතු වැඩ පිළිවෙළ ගැනද සජිත් එහිදී සිංගප්පූරු අගමැතිවරයා දැනුවත් කළා.ඇමති මලික්ගේ සහභාගිත්වයෙන් සාර්ථක ආයෝජන සමුළුවක්ද පැවති අතර දෙරට අතර වන ආර්ථික ගිවිසුම ගැනද දෙරට අගමැතිවරු අතර ඉතා සුහද ලෙස අදහස් හුවමාරු වුණා.

“මේ ආරාධනාවෙන් පේන්නේ සිංගප්පූරුව අප ගැන තබා ඇති විශ්වාසය හා ගෞරවයයි. අපි කරන දේ එළි කිරීම නිසා මුළු ලෝකයටම ඒ පණිවිඩය ගියා. ඒක රටට ඉතා වාසි වේවි" අගමැතිවරයා අනතුරුව ශ්‍රීලංකා දූත පිරිසට කීවා.

යලි සියරට පැමිණි අගමැතිවරයා දකුණු ආසියාවේ කතානායක සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස එක්වූයේ කරු ජයසූරියගේ මහතාගේ ඇරයුමෙන්. බදාදා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරට ආවේ චම්පික රණවක හා නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ මූලිකත්වයෙන් දියත්වෙන ත්‍රිකුණාමලේ මහ සැලැස්ම එලිදැක්වේමේ උත්සවයට එක්වීමටය. චීන සමාගමක් සකස් කළ එය අගමැතිවරයාට මෙන්ම චම්පික රණවක, ආර් සම්බන්ධන් හා රෝහිත බෝගොල්ලාගමට බාර දෙනු ලැබුවා.

"මේ රටේ ආර්ථික කේන්ද්‍ර හතරක් ක්‍රියාත්මකයි. කොළඹ, හම්බන්තොට හා දකුණු තීරය, නුවර කුරුණෑගල තීරුව හා ත්‍රි මලේ මහ සැලැස්ම ඒවායි. උතුරටත් ඉක්මනින් මහ සැලැස්මක් ඇති කරනවා" අගමැතිවරයා එහිදී පැහැදිලි කළා.

අනතුරුව අගමැති හා රෝහිත බෝගොල්ලාගම අතරද කතාබහක් ඇතිවුණා.

"එදා කටුනායක කොග්ගල බියගම සීතාවක කර්මාන්තපුර ඇති කළා. ඒ අත්දැකීම් මත දැන් රට පුරා කර්මාන්ත දියත්කර රැකියා ඇති කිරීම අරමුණයි" අගමැති කීවිටබෝගොල්ලාගම ඒ සඳහා උපරිම ශක්තිය ලබාදීමට ප්‍රතිඥා දුන්නා.

බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණ රාජකාරී ඇරැඹිමට පෙර පැමිණසිටි මැති ඇමතිවරු සමගද කතාබහ කළා.

"ලක්ෂ්මන් ලන්ඩන් ගියේ පෞද්ගලික සංචාරයකටද" ලක්ෂ්මන් කිරිඇල්ල දුටු විගස අගමැතිවරයා විමසුවා.

"නෑ.ලන්ඩන් තේම්ස් විහාරය රටේ තත්වය ගැන මට දේශනයකට ආරාධනා කළා. අද ලංකාවේ ජනතාවට පූර්ණ නිදහස තිබෙනවා. මානව හිමිකම් රැකෙනවා. රාජ්‍ය පැහැරගැනීම් හා දූෂණ නෑ. බුදු දහම අනුව ආණ්ඩුව ක්‍රියාත්මකයි. හැමදේම මුදලින් තක්සේරු කරන යුගයක අද ලංකාවේ තිබෙන නිදහස හා සුබවාදී බව මිල මුදලින් තක්සේරු කරන්න බැහැ. ආණ්ඩුවේ යම් අඩුපාඩු ඇති. ඒත් ආර්ථිකය ඉක්මනින් හැදුවාම ඒ ප්‍රශ්න නිමාවේවි. ඒ නිසා යලිත් පවුල්වාදී භීෂණකාරී යුගයට ලංකාව ගෙනියන්න ජනතාව සූදානම් නෑ කියල මම ලන්ඩන් වලදී කිව්වම අපේ මිනිස්සු සාධුකාර දුන්නා" ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

"ඉන්ධන මිල අඩු කරනවා වැඩි කරනවා. මේක විහිලු ටෙලි නාට්‍යයක් වගෙයි" පී හැරිසන් කීවා.

"මිල සූත්‍රයට යන්න කැබිනට් තීන්දුවක් තිබුණා. අපි ඡන්දයේදීත් මිල සූත්‍රයක් ගැන ජනතාවට කිව්වා. ලෝකයේ මිල අඩු වුණාම වාසිය ජනතාවට දෙන්නත් මිල වැඩි වුනාම ආණ්ඩුවේ අලාභය සමනය කරගන්නත් ඒ හරහා පුළුවන්. ඉන්දියාව හා බොහෝ රටවල දිනපතා මිළ වෙනස් කරනවා. අගමැතිතුමාත් ලංකාවේ හිටියෙ නැති වෙලාවෙ මේ වගේ ටෙලිනාට්‍ය එලිදැකීම හොද නෑ" නවීන් දිසානායක කළ විග්‍රහය කවුරුත් අනුමත කළා"

"හම්බන්තොට වරායේ දැන් තත්වය ගැන අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළත් නිව්යෝර්ක් ටයිම්ස් වල පළමු කෝටි 112ක් චීන සමාගමෙන් පගාව ගත්ත චෝදනාවට අදාළව මහින්ද ප්‍රකාශයක් නොකිරීම තුළම ඒ චෝදනාවෙන් ඔවුන් මඟ හරින බව තහවුරු වෙන තරම්" දයා ගමගේ කීවා.

"චීන සමාගමකින් බැසිල්ගෙ බිරිද පුෂ්පාත් රු: ලක්ෂ 192ක් පගාව අරන්ලු. ඒ ගැනත් ඒකාබද්දෙ අය කට හොල්ලන්නෙ නෑ" චමින්ද විජේසිරි කීය.

"ලංකාව හා රටවල් 03ක ආණ්ඩු පෙරලන්න ඇමෙරිකාව ඩොලර් ලක්ෂ 585 ක් වැය කළා කියල ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කිව්වාය කියන කතාව මොකක්ද" රන්ජන් රාමනායක ප්‍රශ්න කළේ අගමැතිගෙන්.

"අලිබොරු. එහෙනම් චෙක් පෙන්නන්න කියන්න. මහින්දට ලැබුණු සල්ලි වල චෙක් හා බැංකුවල විස්තර පවා නිව්යෝර්ක් පත්තරේ පළවුණා. ඒක වහන්න දැන් ජෝන් කෙරී කිව්වය කියල බොරුවක් මවන්න හදනවා. ඇමෙරිකාව රහසින් තමයි යටි දේශපාලන ගේමක් ගහනව නම් ගහන්නෙ. එහෙම කළානම් ජෝන් කෙරී ඕක එළිපිට කියනවද? ඔවුන්ගෙ වාර්තාවල ඒ විස්තර ඇතුල් කරනවද? මිනිස්සු මුලා කරන්න හැදුවට ඒවා හරියන්නෙ නෑ." ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිවරයා වෙනුවෙන් පිලිතුරු දුන්විට අගමැතිවරයාද එය අනුමත කළා.

“හම්බන්තොට වරාය ගැන අගමැතිතුමා වත්මන් තත්වය ගැන කතා කලාම එදා පාර්ලිමේන්තුවේදී වීරවංශ නැගිටින කොට කවුරුත් හිතුවෙ වරායේ මුල් සිදුවීම් ගැනත් එනම් වරායෙන් ගත්ත පගා ගැනත් ඔහු කියාවි කියලයි. අන්තිමට විමල් නිසා එජාපය ඒ ගැන විවාදයක් ඉල්ලුවා. විමල් මහින්දගෙන් බැනුම් අහන්න ඇති මං හිතන්නෙ” නවීන් දිසානායක කීවේ සිනා මැදය.

“ දැන් කුඩු හා පාතාලය වගේම මිනීමැරුම් වැඩි වෙලා බවයි ජනමාධ්‍ය කියන්නෙ. එත් නිල වාර්තා අනුව රාජපක්ෂලගෙ කාලෙට වඩා ඒවා අඩුයි. දැන් කුඩු එන ප්‍රමාණය පොලීසියේ වැට බැදීම නිසා අඩු වෙලාලු. ඒ නිසා කුඩු වෙළෙන්දෝ ඔවුන් ඔවුන් මරා ගන්නවා. ඔවුන්ට මරණ දඩුවම දීම ගැන එජාප ස්ථාවරය වැදගත් වෙනවා. ” විජයදාස රාජපක්ෂ කීය.

“ දැන් අලුගෝසුවොත් නෑ. මරණ දඩුවම පැනෙව්වත් ලංකාව ජේ.ආර්.යුගයේ ඉදලා ඒක ක්‍රියාත්මක නොකරන රටක්.මහින්ද කලෙත් නෑ.ජාත්‍යන්තර තත්වය හා මානව හිමිකම් ප්‍රශ්නත් බලල අපි ඉක්මන් තීන්දුවක් ගන්න ඕනෑ.කුඩු සැපයුමයි මර්දනය කරන්න ඕනෑ. ඒක වේගවත්ව කෙරෙනවා. ” අගමැතිවරයා පැහැදිලි කළා.

“ සාමාන්‍ය උසාවියේදී තමාගෙ නඩු අහන්න එපෝ කියල වාරණ නියෝග ගන්න ගෝඨාභය අලුතින් හදන මහාධිකරණ වල එයාගෙ නඩු මුලින්ම අහන්න කියල ලගදී බොරු සෝබනයක් දැම්මා. මිනිස්සු ඒකට බඩ අල්ලගෙන හිනාවෙන්නෙ. ෆේස්බුක් වල මාර ඒව ඒ ගැන යන්නෙ” චමින්ද විජේසිරි කීවේ සිනා මැදයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ආටිස්මලේ “සිතුවම්කන්ද” උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සජිත් ප්‍රේමදාස ඇමතිතුමා සමඟ ඇලික් අලුවිහාරේ හිටපු ඇමතිවරයාගේ පුතුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ, කෘෂිකර්මාන්ත නියෝජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නද එක්ව සිටියා. රමණීය භූමිභාගයක පිහිටා තිබූ “සිතුවම්කන්ද” උදා ගම්මානයේ ගෙවතු ඉතා සශ්‍රීක ලෙස වගා කර ඇති ආකාරය සියල්ලන්ගේම සිත් ගත්තා. උත්සවය අවසන් වී දිනකට පසුව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් ලැබුණු පුවතකින් සජිත් ‍ප්‍රේමදාස ඇමතිවරයාගේ ඉවසීමේ රතු කට්ට පැන්නා. එනම්, උත්සවයේදී නිවාස ණය, නිවාස ආධාර සහ වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීමට ගලේවෙල කොට්ඨාසයෙන් පැමිණි අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගෙන් රුපියල් 2000/= බැගින් අයකර ගෙන ඇති බවයි. එසේ අයකර ගෙන ඇත්තේ ආහාර පාන සහ ප්‍රවාහන වියදම් සඳහා බව කියමින්. සජිත් වහාම නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සහ මාතලේ දිස්ත්‍රික් කළමනාකාරවරයා අමතා කීවේ මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙසයි. මෙය නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකළ වරදක් නොවන බව පෙනී ගිය නිසා සජිත් ඊළඟට කතා කළේ රංජිත් අලුවිහාරේටයි. “මේක බරපතළ කාරණයක්. මගේ වැඩසටහන්වලින් ප්‍රතිලාභ ලබන්න එන දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙන් මොනම හේතුවකටවත් සල්ලි අයකරන්න බෑ. මේ ගැන ඔයා වහාම සොයා බලන්න. අයකරගත්තු සල්ලි වහාම ආපසු දීලා මුදල් ලැබුණු බවට ඒ හැම කෙනෙක්ගෙන්ම ගත්තු රිසිට් මට බලන්න ඕනෑ බව සංවිධායකට කියන්න. එහෙම කරනතුරු ගලේවෙල කොට්ඨාසයට මගේ නිවාස සංවර්ධන වැඩසටහන් නෑ. මීට පස්සේ ගලේවෙල කොට්ඨාසයේ නිවාස වැඩසටහන් සම්බන්ධීකරණයත් මම ඔයාට පවරනවා. මට ඒ වැඩේ හරියට කරලා දෙන්න” සජිත් කීවා.

සිකුරාදා සවස අගමැති රනිල් වික්‍රමසිංහ සමග වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වුණේ ඊට මොහොතකට පෙර රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකුට පත්වීම් ලබාදීමෙන් අනතුරුවය. බියගම සංවිධායක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද මේ රැස්වීමට සහභාගී වී සිටියා.

බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කළ ඇමති වජිර සෙනසුරාදා උදෑසනම පොළොන්නරුවට ගියේ පිබිදෙන පොළොන්නරුව වැඩසටහනේ ප්‍රගතිය පරීක්ෂා කිරීමටයි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මෙහෙවනු ලබන ව්‍යාපෘතීවලත් අනිකුත් සංවර්ධන ව්‍යාපෘතිවලත් ප්‍රගතිය සොයා බැලූ වජිර අබේවර්ධන ඇමතිවරයා සංවර්ධන කටයුතු වඩාත් කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම සිදුකළා.

පසු දිනයේ ද ඇමති වජිර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩසටහන් සඳහා සහභාගී වූ අතර ඒ අතරින් කෑගලුගම නිල සෙවණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව සුවිශේෂි වුණා. කෑගලුගම ග්‍රාම නිලධාරීවසම යනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ග්‍රාම නිලධාරීවරයකු ලෙස සේවය කළ ග්‍රාම නිලධාරී වසමයි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රුපියල් ලක්ෂ 20ක මුදලින් මේ වසම වෙනුවෙන් නිල සෙවණ කාර්යාලයක් ඉදිකර තිබිණා. මේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිතිතුමා ද සහභාගීවන බව ඇමති වජිර අබේවර්ධනට දන්වා තිබුණා. ජනාධිපතිතුමා පොළොන්නරුවේ ජනතාවට අමුත්තකු නොවූව ද රටේ ඉහළම පුරවැසියා වූ ජනාධිපතිවරයා තමන් රාජ්‍ය සේවයට එක්වූ අවස්ථාවේ ග්‍රාම නිලධාරී වරයා ලෙස කටයුතු කළ වසමේ ක්ෂේත්‍ර නිලධාරී කාර්යාලය විවෘත කිරීම ඓතිහාසික අවස්ථාවක් විය.

නිල සෙවණ විවෘත කිරීමෙන් අනතුරුව එහි සිටි ජනතාව සමග සුහඳ කතා බහක නිරත වූ ජනාධිපතිවරයා සිය මොටර් රථයට නැග ඇමති වජිරත් එහි නංවා ගත්තා.

කාරයේ යන අතරතුර යාපනයේ නිල මෙහෙවර වැඩසටහන ආරම්භ කිරීමේ සැළැස්ම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමති වජිරගෙන් විමසා තිබිණි.

''වජිර, යාපනයේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. යුද්ධය නිසා අවුරුදු 30ක් බැටකාපු ඒ මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා අපේ රජයේ නිලධාරීන්ට උපදෙස් දෙන්න මානූෂීය විදියටත් මේ තත්ත්වය තේරුම්ගෙන ඒ මිනිස්සු ඉන්න තත්ත්වයත් හිතලා ප්‍රශ්න ඉක්මනට විසඳන්න කියලා." යැයි උපදෙස් දී තිබුණා.

සඳුදා උදෑසන යාපනය දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුම්වත් කිරීමේ රැස්වීමක් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබුණේ ඇමති වජිරගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා උතුරේ සියලුම දේශපාලන නියෝජිතයන්ට ආරාධනා කර තිබුණ ද උතුරේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ විජයකලා මහේෂ්වරන් මහත්මිය සහභාගීවූයේ නැහැ.

ජනාධිපති ලේකම් ධූරයට අභිනවයෙන් පත්වූ උදය සෙනෙවිරත්න මහතා මේ රැස්විමට සහභාගී වී සිටි අතර එය සුවිශේෂී අවස්ථාවක් වූයේ සෙනෙවිරත්න මහතා තම ධූරයේ රාජකාරී බාරගැනීමෙන් පසු සහභාගී වූ පළමු නිල රැස්වීම වීම හේතුවෙනි. ඒ අවස්ථාවේ දී සියලු අමාත්‍යාංශ ලේකම්වරු හමුවීමට ද ඔහුට අනගි අවස්ථාවක් උදා වී තිබුණා. පැමිණි සියලු දෙනා නව ජනාධිපති ලේකම්වරයාට සුබ පැතීමට අමතක කළේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැුස්වීමක් පසුගිය 10වැනිදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී රටේ වත්මන් දේශපාලන අර්බුදකාරීත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. මේ අතර ජාතික විද්ත්වත් සංවිධානය විසින් 14වැනිදා පවත්වන ජාතික කතිකාව පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වුණා. එම ජාතික කතිකාවේ කොටස් කරුවෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණද සිය දායකත්වය ලබාදෙමින් සිටිනවා.

”අද අපේ රටට හැම අතින්ම පිරිහිලා. ආර්ථික අර්බුදය පමණක් නෙවෙයි සමාජ අර්බුදය දේශපාලන අර්බුදය දිනෙන් දිනම බරපතළ තත්වයකට පත්වෙනවා. ආණ්ඩුවට කිසිම දෙයක් ගැන අවබෝධයක් නැහැ. විජිත හේරත් කියා සිටියා.

”රටේ ණය අර්බුදය වගේම වගේම ජනතාව විදියට විවිධ ණය උගුල්වල පැටලිලා. ජීවන වියදම දිනෙන් දින ඉහළ යනවා. දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කර ගන්න තමන්ගෙ ලෙඩට දුකට බේතක් ගන්න ජනතාවට හැකියාවක් නැහැ. කවුරු රට පාලනය කළත් අර්බුදයට උත්තර ලැබෙන්නේ නැහැ. සමහරු හිට්ලර් ඉල්ලනවා. තවත් සමහරු ප්‍රභාකරන් ඉල්ලනවා. මේ කවුරු ආවත් යන්නේ පරණ පාරේම තමයි. ඒ නිසා ජනතාවට රෝග නිධානය හොයාගන්නම වෙනවා. ජනතාවට ඒක තනියෙන් කරන්න බැහැ. අපි මේකට අලූත් පියවරක් තියන්න ඕනෑ. ඒකට හොඳම පියවරක් තමයි 14වැනිදා ජාතික කතිකාව.” බිමල් රත්නායක කීවේය.

”ඔව්, මේ කතිකාව මිනිස්සු අපෙන් බලාපොරොත්තු වුණා. අලූත් වැඩපිළිවෙළක් රටට ඕනෑ. ඒක දේශපාලන පක්ෂයක පමණක් වැඩක් විය යුතු නැහැ. විද්වතුන්, වෘත්තිකයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති, ගොවි, ධීවර සමිති නායකයින් මේ සියලූ දෙනා එක තැනකට එකතු වෙන්න ඕනෑ. අපි මේ වෙනුවෙන් සම්පූර්ණ සහායෝගය ලබාදීලා මේ වැඩපිළිවෙළ රට දිනවන වැඩපිළිවෙළක් බවට පත්කරන්න ඕනෑ. සුනිල් හඳුන්නෙත්ති කීවා. ”ඔව් අපි මේ සංවාදය 15වෙනිදා ඉඳලම ගම්මට්ටමට ගෙනියන්න ඕනෑ. ජනහමු, ගෘහස්ත සාකච්ඡුා, විද්වත් සාකච්ඡුා විදියට ගම්මට්ටමට ගෙනියන්න ඕනෑ.” ටිල්වින් සිල්වා යෝජනා කළේය. ඒ අනුව ජවිපෙ 15වැනිදා සිට රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් මැයෙන් ජනහමු දසදහසක් රට පුරා පැවැත්වීමට තීරණය වුණා.

දේශපාලන මණ්ඩල රැුස්වීම අතරතර ජවිපෙ නායකයින්ට දැනගැනීමට ලැබුණේ ඉන්ධන මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් විශේෂ රැුස්වීමක් එදින පස්වරුවේ පැවැත්වෙන බවත්ය. මේ සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු විය. ”පහුගිය පස්වෙනිදා තෙල් මිල වැඩිකරනවා කිවුවාම ජනාධිපතිවරයා ඒකට විරුද්ධ වුණා. දැන් දවස් දෙක තුනක් යනකොට ජනාධිපති තෙල් මිල ඉහළ දාන්න කැමතිවෙනවා. මේ මොන විගඩමක්ද?” විජිත හේරත් කීවා. ”ඇත්තටම අපේ රටේ දැන් ආණ්ඩුවක් නැහැ. තියෙන්නේ රණ්ඩුවක්. අගමැති ජනපති රණ්ඩු, ජනපති කැබිනට් මණ්ඩලය අතර රණ්ඩුවක්. මේ නිසා රටේ පාලනයක් නැහැ. රටේ නායකයාටත් දැක්මක් වැඩපිළිවෙළක් නැති බව මේ දේවල්වලින් ඔප්පු වෙනවා.” ටිල්වින් සිල්වා කීවා සිටියේය.

”මැයි මාසේ මිල වැඩි කළා ආණ්ඩුවේ බදු වැඩි කරලා. නමුත් මේ වතාවේ ආණ්ඩුව හේතුවක් කියන්නේ නැහැ. ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩිවීමක් නැහැ. ඒ නිසා ආණ්ඩුවට මේ විදියට අසාධාරණ වැඩ කරන්න දෙන්න බැහැ. අපි මේකට විරුද්ධව ලොකු විරෝධයක් පටන් ගන්න ඕනෑ.” ලාල්කාන්ත කීවා. ඒ අනුව ජවිපෙ රට පුරාම සියලූ ප්‍රධාන නගරවලදී එළඹෙන 16 සහ 17 දෙදින ආණ්ඩුව විසින් තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීරණය වුණා.

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් සමගි කිරීමට මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තද එම අරමුණු ඉටු වී නැති බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම මෙම තත්ත්වය පෙනෙන්නට තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ උත්සාහයට එම කණ්ඩායමේ ප්‍රබල පිරිසක් ප්‍රසිද්ධියේම විරෝධය ප්‍රකාශ කිරීම නිසායි.

තත්ත්වය සමනය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමකට පසුගියදා සහභාගී කර ගත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ සැලසුමකට අනුවයි. එහිදී මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ එකට සිට ඡායාරූපවලට පෙනී සිටියා. එම රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතා කීවේ ‘වියත් මග’ කියා එකක් තවදුරටත් නැති බවයි. තිබෙන්නේ මහින්ද චින්තනය පමණක් බවයි. එය ගෝඨාට ‘වියත්මග’ අතහැර දමා පොහොට්ටුවේ වැඩ පිළිවෙළට එකතුවන්නට කළ දැනුම් දීමක් බව පෙනෙන්නට තිබෙනවා.

එසේ වුවද එම සිදුවීමෙන් පසුව පසුගිය සඳුදා පැවැති මාධ්‍ය හමුවකදී වාසුදේව නානායක්කාර මහතා කීවේ තම කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා චමල් රාජපක්ෂ මහතා විය යුතු බවයි. ජනාධිපතිවරණය ජයගත හැක්කේ ඔහුට පමණක් බව වාසු කියා සිටියා.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ වඩාත් බරපතළ කතාවක්. මිලිටරි ආණ්ඩුවකට තමා විරුද්ධ බවත්, එබඳු තත්ත්වයක් ඇති වුවහොත් පක්ෂයෙන් ඉවත් වී එයට එරෙහිව සටන් වදින බවත් කුමාර් වෙල්ගම මහතා කීවා. හිට්ලර් වගේ පාලකයකු වන්නැයි වෙඬරුවේ උපාලි අනු නා හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට කළ අනුශාසනාව තමන් හෙළා දකින බව වෙල්ගම මහතා කීවා. එබඳු පාලනයක් ඇති වුවහොත් නාමල් රාජපක්ෂ මහතාටද සිදුවන්නේ මැලේසියාව වැනි රටකට ගොස් රගර් ක්‍රීඩා කිරීමට බවද වෙල්ගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

නව අදහස දක්වන්න