සහනයක් මිස හානියක් නැත | දිනමිණ

සහනයක් මිස හානියක් නැත

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ
සාලිය පීරිස්

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රීලංකාව අත්සන් තැබීමත් සමඟ ශ්‍රීලංකා රජය අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම පිණිස වෙනම කාර්යාලයක් ස්ථාපිත කිරීම පිණිස පනතක් හඳුන්වා දෙනු ලැබුවේ 2016 වසරේ මැයි මාසයේදීය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පනත පසුගිය මාර්තු මස සම්මතවූ අතර මේ වන විට එහි වැඩකටයුතු සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ (Office on Missing Persons) කාර්ය භාරය විශ්ලේෂණය කිරීමේදී එය ප්‍රධාන කුලුනු හතරක් මත ගොඩනැගී තිබෙන ස්වරූපයක් පෙන්නුම් කරයි.අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම,ඔවුන් වෙනුවෙන් වන්දි ප්‍රතිපූර්ණය කිරීම,සත්‍ය සෙවීමේ ක්‍රියාවලිය හා යුක්තිය පිළිබඳ යාන්ත්‍රණය ලෙස මේවා විශ්ලේෂණය කළ හැකිය.ආරම්භයේ සිටම මෙම කාර්යාලය පිහිටුවීම පිළිබඳව සැකයෙන් බැලූ පිරිසක් සිටි අතර ඔවුන්ගේ විග්‍රහය වූයේ මෙය ශ්‍රීලංකා රජය විසින් ස්ථාපිත කරනු ලැබුවේ ජත්‍යන්තර වගකීමක් ඉටු කිරීම සඳහා බවයි. ජීනීවා මානව හිමිකම් කාර්යාලය මගින් ශ්‍රීලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවලින් මිදීම පිණිස මෙම කාර්යලය පිහිටවනු ලැබූ බවටද ඇතම්හු මත පළ කළහ.

අපේම ජනපිරිසක් වසර ගණනාවක් මුළුල්ලේ මුහුණ දෙමින් සිටින ප්‍රශ්නයකට යම් විසඳුමක් ලබා දීම සඳහා මෙය ස්ථාපිත කරනු ලැබූ බව මෙම පිරිස පිළි නොගන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් වන්නේ අතුරුදන් කිරීම ශිෂ්ට සම්පන්න ජන සමාජයක නොතිබිය යුතු ක්‍රියාවලියක් බව ලොවම පිළිගෙන තිබීම හේතුවෙනි.

වැරදි මතයක්

අතුරුදන් වුවන්ගේ කාර්යලය මගින් සිදු කෙරෙන්නේ තිස් වසරක් පුරා පැවැති යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් අතුරුදන් වූවන් පිළිබඳ සෙවීම පමණක් බවටද වැරදි මතයක් සමාජ ගතව තිබේ. මෙය මුළුමනින්ම අදහසක් වන අතර කාර්යාලය මගින් විශේෂයෙන් සොයා බලන කණ්ඩායම් හතරක් පිළිබඳව පනතේ විග්‍රහ කර ඇත. උතුරු නැගෙනහිර යුද්ධය පැවැති සමයේදී හා ඉන් පසු කාලයේදී සිදුවූ අතුරුදන් වීම් පිළිබඳ සෙවීම එහි එක් වගකීමකි.

සිවිල් හා දේශපාලන කලහයන් පැවැති අවස්ථාවල සිදුව තිබෙන අතරුදන් වීම් සෙවීමද මෙමඟින් සිදු කෙරෙන අතර එහිදී විශේෂයෙන් 1971,87 හා 89 කාලවල සිදුවූ පුද්ගල අතුරුදන් වීම් සම්බන්ධව සොයා බැලීමට නියමිතය.සන්නද්ධ සේවයේ,පොලීසියේ හා සිවිල් ආරක්ෂක සේවයේ නියුක්තව සිටි පිරිස් ක්‍රියාන්විතයේදී අතුරුදන් වූයේ නම් ඒ පිළිබඳව සොයා බැලීමටද මෙම කාර්යාලයට පනත මගින් බලතල පවරා තිබේ.මෙයට අමතරව සුදුවෑන් වැනි සිදුවීම් කරළියට පැමිණි බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම් සොයා බැලීමද මේ යටතේ සිදු කෙරෙයි.මේ අනුව මෙම කාර්යාලය ශ්‍රීලංකාවේ එක් ජන කොටසක් ඉලක්ක කර ඔවුන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම සඳහා පමණක් ස්ථාපිත කළ එකක් ලෙස කෙරෙන අර්ථකතනය පනතේ අන්තර්ගතය තුළින් බැහැර කෙරේ.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) මගින් කෙරෙන්නේ කවුරුන් හෝ අතුරුදන්ව සිටීනම් ඔහු හෝ ඇයට එසේ සිදුවූයේ ඇයිද ඔහු හෝ ඇය තවමත් ජීවත්ව සිටින්නේද මියගොස් ඇත්තේ නම් මියගියේ කෙසේද යන්න පිළිබඳ සොයා බලා ඔවුන්ගේ පවුල්වලට ඒ පිළිබඳ නිශ්චිත විශ්වාස කළ හැකි තොරතුරක් ලබා දීමයි.එය සමාජයේ තවත් ජන කණ්ඩායමක් වරදක් ලෙස දකින්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි.ඔවුන් අතුරුදන් කිරීම් අනුමත කරනවාද කියන ප්‍රශ්නය පෙරළා ඔවුන්ගෙන් අසන්නට සිදුව තිබේ.ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන කිසිදු ශිෂ්ට සම්පන්න රටක් පුද්ගල අතුරුදන් කිරීම් අනුමත නොකරති .

වෙනස් වන සංඛ්‍යා ලේඛන

තමන්ගේ පවුලේ කෙනකු අතුරුදන්ව ඇත්නම් ඔහුට හෝ ඇයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සත්‍ය දැන ගැනීම අවශ්‍යතාව තදින් දැනෙන්නේ එම පවුල්වල ජීවත්ව සිටින අයටය.මෙරට අතුරුදන් වූවන් සම්බන්ධ නිශ්චිත සංඛ්‍යා ලේඛනයක් නොමැති අතර කොමිෂන් සභා මගින්ද ඒ සම්බන්ධව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ එකිනෙකට පරස්පර සංඛ්‍යා ලේඛනය. අයි.සී.ආර්.සී සංවිධානය මගින් 16000 ක පමණ පිරිසක් අතුරුදන්ව සිටින බව කියයි.ක්‍රියාන්විතයේදී 5100 ක් අතුරුදන්ව තිබෙන බව ඔවුන්ගේ සංඛ්‍යා ලේඛනවල දැක්වෙයි. පරණගම කොමිසම මගින් අනාවරණය කරන්නේ අතුරුදන් වූවන් 21000-23000 ත් අතර පිරිසක් සිටින බවයි.දකුණේ 30000 ක පමණ පිරිසක් අතුරුදන්ව තිබෙන බවට තොරතුරු අනාවරණය වුවත් මෙම සංඛ්‍යා ලේඛන කොමිසමෙන් කොමිසමට වෙනස් වන බවක් පැහැදිලිව පෙනෙන්නට ඇත.

අතුරුදන් කිරීම උතුරට පමණක් නොව දකුණට ද බලපා තිබෙන ප්‍රශ්නයකි.එහි ඇති බරපතළකම,දුක,වේදනාව දන්නේ අතුරුදන්ව සිටින පුද්ගලයින්ගේ පවුල්වල උදවිය පමණි.මෙයට දශක ගණනාවකට පෙර සිදුවූ අතුරුදන් වීම් සම්බන්ධව සෙවීම පලරහිත බව පවසන්නෝද රටේ සිටිති.වින්දතයින් පවා අතුරුදන් වූවන් සොයන්නට උනන්දු නොවන බැවින් මෙය සාර්ථක කර ගැනීම අසීරු බව කියන්නෝද සිටිති.දකුණේ ක්‍රියාත්මකවූ භීෂණය තුළ 87-89 කාලයේ අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් තවමත් තම පවුලේ සාමාජිකයා එනතුරු බල සිටි සිටින අවස්ථා තිබේ.

මෙම කාර්යාලය වැඩ කටයුතු සම්බන්ධව මාතර පැවැති දැනුම්වත් කිරීමේ උත්සවයකට මෙයට වසර 30 කට පෙර අතුරුදන්වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයෝ 150 දෙනෙකු පමණ සහභාගි වූහ.වසර තිහකට පසුත් අදාළ කරුණ පිළිබඳ ඔවුන් උනන්දු වන බවට මෙය කදිම සාක්ෂියකි.මෙය දේශපාලනමය හෝ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය ලෙස නොදැක අතිශයින් මානුෂීය ප්‍රශ්නයක් ලෙස අප දැකිය යුතුය.තමන්ගේ සැමියා හෝ දරුවා කාට හෝ බාරදුන් පසු නැවත දක්නට නොලැබුණේ නම් ඔහුට හෝ ඇයට සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීම අවහිර කරන්නට වුවමනාවක් තිබිය හැක්කේ ඔවුන් අතුරුදන් කිරීමට මුල් වූවන්ටම පමණි.

මුලතිව් පොලීසියේ රාජකාරි කරමින් සිටි නිලධාරියකු යුද සමයේ එල්ලවූ ප්‍රහාරයකින් පසු අතුරුදන්ව සිටින අතර ඔහුගේ බිරිඳ අදත් තම සැමියා නැවත පැමිණෙතැයි අපේක්ෂාවෙන් පසුවෙයි.මේ අනුව අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්නය දෙමළ ජනතාවට පමණක් නොව මෙරට සිංහල හා මුස්ලිම් ජනතාවටද පොදු වූවකි. වයස අවුරුදු 15,16 හා 18 දරුවන් තිදෙනකු අතුරුදන් වීම සම්බන්ධයෙන් තිස් වසරක් පුරා දුකෙන් වේදනාවෙන් පසුවන මවක් අද ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නේ කිසිවකුගේ සරණක් නොමැතිවය.ඇයට අහිමිව ගොස් තිබෙන්නේ දැන් ඇය රැකබලා ගැනීමට සිටි ඇගේම දරුවන්ය.අතුරුදන් කිරීම් තුළ දුක,වේදනාව පමණක් නොව අසරණ භාවයද ජනිත වන බවට මෙය එක් සාක්ෂියක් පමණි.

කාර්යාලයේ වගකීම

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය දඬුවම් නියම කිරීමේ හෝ අපරාධ විමර්ශන ආයතනයක් නොවන්නේය.අතුරුදන්ව සිටින පුද්ගලයින් පිළිබඳ කරුණු විමර්ශනය කර ඒ ඔස්සේ එළඹිය හැකි නිගමන උපයෝගීකර ගනිමින් අදාළ පවුල්වල සාමාජිකයින් දැනුවත් කිරීම කාර්යාලයේ ප්‍රමුඛතම වගකීමකි.විමර්ශනවලදී අපරාධමය වරදක් සිදුව ඇත්නම් එම තොරතුරු ඉදිරි පරීක්ෂණ සඳහා පොලීසියට හෝ අධිකරණයට ලබා දීමේ හැකියාවද කාර්යලය සතුය.එම කරුණු ඔස්සේ පරීක්ෂණ පවත්වා වැරදි කළ අයට දඬුවම් ලබා දීම අදාළ ආයතනවල කාර්යභාරයකි.වින්දිත පවුල් සාමාජිකයින් වෙත සහන නිර්දේශ කිරීමද අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ වගකීමකි.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතුරුදන්වූ පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයින් වැඩි පිරිසකට වන්දි ලබා ගැනීමේ අවශ්‍යතාවකට වඩා ඇත්තේ අතුරුදන්වූ පුද්ගලයා වෙනුවෙන් ඇත්ත යුක්තිය ලබා ගැනීමය.දකුණේ ප්‍රශ්නය මෙයට වඩා තරමක් වෙනස් වන අතර ඔවුන් බොහෝ දෙනකු ආර්ථික ගැටලු හේතුවෙන් ජීවත් වීමේ අසීරුවෙන් පසුවෙති. වන්දි ප්‍රදානය කිරීමේ අතීතිය දෙස බැලීමේදී 87-89 කාල සීමාවේ සිදුවූ අතුරුදන් සම්බන්ධයෙන් කළ ගෙවීම් විශ්ලේෂණය කළ හැකිය.එහිදී අවුරුදු 18 ට වැඩි විවාහක පුද්ගලයකු නම් රුපියල් ලක්ෂයත් පනස් දහසත් අතර මුදලක්ද අවිවාහක නම් රුපියල් 25000.00 ක්ද ගෙවා තිබේ. වයස අවුරුදු 18 අඩු අතුරුදන් වූවන් සඳහා කිසිදු ගෙවීමක් කර නොමැත.නැවත මෙවැනි සිදුවීම් නොවන්නට වගා බලා ගැනීම අපේ වගකීමකි.

මෙම කාර්යාලය මගින් අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කෙරෙන අතර තුර එවැනි දේ යළි රටේ ඇති නොවන්නට පසුබමික් සැකසීමද සිදු කෙරේ. සයිප්‍රස්හි හැත්තෑව දශකයේ 4000 ක පමණ පිරිසක් අතුරුදන්වූ අතර ඔවුන් පිළිබඳ සෙවීමට අනූව දශකයේ මෙවැනි කාර්යාලයක් ස්ථාපිත කරනු ලැබීය.අදටත් එම කාර්යාලය මගින් විමර්ශන සිදු කරනු ලබයි.

අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශන කඩි මුඩියේ කළ නොහැකි අතර එය දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියකි.දකුණු ආසියාවේ වැඩිම අතුරුදන් වීම් සිදුව තිබෙන රට ශ්‍රීලංකාව වන අතර මෙය උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේද විශ්වාසය තහවුරු වනසේ ඉදිරියට පවත්වා ගෙන යෑම අභියෝගයකි.ඉදිරියේදී අතුරුදන් වූවන් පිළිබඳ ප්‍රාදේශීය කාර්යාල 12 ක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් මෙම කාර්යාලය පිළිබඳව මහජන විශ්වාසය ගොඩනැගීම එක් ප්‍රධාන අරමුණකි. විවිධ කොමිෂන් පත් කළත් තමන්ගේ ගැටලුවලට මෙතෙක් විසඳුම් නොලැඹුණු බව කියන අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම ප්‍රශ්නයට විසඳුම ලැබෙන්නේ ජත්‍යන්තර යාන්ත්‍රණයකින් බව පවසන අවස්ථාද තිබේ.එහෙත් එය ප්‍රායෝගික සත්‍යයක් නොවන බව එවැනි යාන්ත්‍රණ දියත් කළ රුවන්ඩාව,සියරාලියෝන්,යුගොස්ලොවියාව වැනි රටවලින් ආදර්ශ ගත හැකිය.

අවසන් වාර්තාවක්

වින්දිතයින් මෙන්ම සාක්ෂිකරුවන්ද ආරක්ෂා කිරීම කාර්යාලයේ තවත් වගකීමකි.විමර්ශන මගින් සොයා ගන්නා තොරතුරු ජිනීවා හෝ වෙනත් කිසිදු ජාත්‍යන්තර කාර්යාලයකට වාර්තා කිරීමට අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය බැඳී නැත.මෙරට අතුරුදන් වූවන් පිළිබඳ අවසන් වාර්තාවක් සකස් කිරීමද කාර්යාලයේ වගකීමක් වන අතර එහිදී 1971 සිට මේ දක්වා සිදුව තිබෙන අතුරුදන් වීම් සැලකිල්ලට ගැනීමට නියමිතය.පනත අනුව 1815 දක්වාම වුවත් ගමන් කර අතුරුදන් කිරීම් පිළිබඳ සොයා බැලීමේ බලතල පැවතියද එය ප්‍රායෝගිකය කළ නොහැකිය.

ජනපති කොමිෂන් සභා මගින් යම් කරුණක් පිළිබඳ විමර්ශනය කර අවසන් වාර්තාව සකස් කර බාර දීමෙන් පසු එම කොමිෂන් සභාව අහෝසි වි යයි.එසේ වුවත් මෙම කාර්යාලය ස්ථිර එකකි.ආණ්ඩු මාරු වුවත් මෙම කාර්යාලය එලෙසින්ම පවතී.මේ නිසා අනාගතයේ සිදුවිය හැකි අතුරුදන් වීම් පවා මෙම කාර්යාලයේ විමර්ශනයට ලක්වෙයි.ශිෂ්ටසම්පන්න පුරවැසියන් ලෙස අප මෙම කාර්යාලය ශක්තිමත් කළ යුතු වන්නේ එබැවිනි.

ඉන්ට නිව්ස් ආයතනය මගින් සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධව පැවැත්වූ වැඩසටහනකදී කළ දේශනයක් ඇසුරිනි.

සටහන
අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න