මා... මියගිය ගලිගමුව දළ පූට්ටුවා වෙමි | දිනමිණ

මා... මියගිය ගලිගමුව දළ පූට්ටුවා වෙමි

ස්වභාව සෞන්දර්යයට අපූරු චමත්කාරයක් එක්කළ ඇත්රජු ගලිගමුවේ දළ පූට්ටුවා මා බව කවුරුත් දනී. ඒ බව මට වැඩිපුර දැනුණේ මෙලොව හැර ගිය පසුවය. ඒ මන්ද කියනව නම් දළ පූට්ටුවා කියන මට මිනිස්සු මොන තරම් ආදරය කරල තිබෙනවද කියල දැනුණේ ඊට පසුවය. ඒ ගැන මට ආඩම්බරයක් දැනේ. ඒත් මනුලොව සිටින ඔබ ගැන මම දුක් වෙමි. මා වෙනුවෙන් කඳුළු හෙළූ, පින් අනුමෝදන් කළ ස්වාමීන් වහන්සේලා ඇතුළු හැමටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.

මට අතීතය නිතරම සිහියට නැ‍ඟේ. සමහර දේවල් ඉතාම සුන්දරය. සමහර ළමයින් ඉස්කෝලෙ යද්දී මට කෑම ගෙනත් දෙනවා. එයාලා එනකම් මම පාර බලාගෙන ඉන්නවා. දරුවො මට බය නැත්තෙ එයාල දන්නව මම එයාලට ආදරෙයි කියලා. ඒ... එක් සුන්දර කතාවක්... තව දුක හිතෙන ආදරණීය කතාවක් තියෙනවා. මට තුවාලයක් හැදිලා හිටියා. වනජීවී මහත්තුරුයි, මොකක්දෝ ධාරා වැඩසටහන කරන අයයි ඇවිත් මට බෙහෙත් කළා. ඒ තරම්ම මාව රැකගන්න ඒ අය උත්සාහ කළා. එහෙම කළේ මගේ වටිනාකම ඒ අය දන්න නිසයි. ඊට පස්සෙ මට පුදුම සහනයක් තමයි දැනුණේ. එවන් මිනිසුන් වාසනාවන්. ආ.... තව කියන්නම ඕන දෙයක් තියෙනවා. එෆ්. එම්. සේවයක මැණික්ගල කියල වැඩසටහනකිනුත් මං ගැන කතා කළා.

එවන් දෙවි දේවතාවුන් වැනි මිනිසුන් වගේම තිරිසන්නුන්ටත් අන්ත ඈයො සිටින නිසාම මගේ එක් ඇහැකට වෙඩි තියල අන්ධවෙලා හිටියෙ. ඒත් පූරුවෙ පිනකට එක ඇහැක් හරි පෙනුණා. මාව මරාගන්න කාලෙක ඉඳන් ගජමුතු කෑදරයො මාන බැලුවා. මතකද මාව පේන්න නැහැ කියල හෙව්වා...! ඔව් ඒ වන විටත් පාපතරයො මාව වෙඩි තියල මරලා. එසැනින් මම එලොව කෙනෙක් බවට පත්වුණා. පුදුමෙ කියන්නෙ ඇ‍ඟේ රස්නෙ යන්නටත් කලින් ගඟක් වගේ ලේ ගලා යද්දී ඒගොල්ලො අඹරව, අඹරවා මගේ දළ දෙක ගැලෙව්වෙ රාක්ෂයො වගේ. ඊට පස්සෙ මගේ වටිනාම සම්පත, මගේ ආඩම්බරය ගජමුතු ද ඩැහැ ගත්තා. පොඩි වෙලාවක් ඇතුළත මාව කෑලි කෑලිවලට කැපුවා. අමනුස්සකම පෙන්වලා කෙළත් ගහල යන්න ගියා. ගජමුතුවලින් ඔය පෙන්ඩන් එහෙමත් හදාගෙන ගෙල සරසාගෙන හිටියෙ. මගේ සිරුර කුණුවෙලා ගියා කියමුකො! මතකද ගස්කොළං ඇඹරිලා මහා විපතක් සිදු උනා...! හැමෝගෙම විශ්වාසය උනෙත් ඒකම නේද...? ඒ තමයි ඇත්ත. ඒ... තමයි සොබාදහමෙ සාපය! මොකද අපි සොබාදහමේ චමත්කාරයොනෙ. වැස්සට සේදිල ගිහින් ඉතිරි වූ ඇටකටුවට අපේ ස්වාමීන් වහන්සේලා පිරිත් සජ්ඣායනා කළා මට ඇහුණා. පැන් වැඩුවා. මං බලාගෙන. රූප පෙට්ටි මහත්තුරු ඇවිත් මං ගැන ආදරයෙන් ගෞරවයෙන් කතා කළා. ඇඬුවා..! කොපමණ දුගන්ධයක් හැමුවත් කෙළ ගැසුවෙ නෑ. අවසානයට නිවේදකවරයා කීවා ඇත් රජුනි ඔබට නිවන් සුව කියා. මම ලෙඩ වෙලා සිටියදී ඒ අය සති තුනක් මේ මහ වනයෙ දුක් විඳිමින් බෙහෙත් කළා. ඒ රත්තරං මිනිස්සු මා දේවත්වයෙන් අදහන බව සිහිපත් කරන්න කැමතියි.

ඊට පසුවත් කැලෑ පාළුවො අපේ වරිගයෙ ඇත්තො කී දෙනෙක් මරා ගත්තද? මං ඒ සියල්ල බලාගෙනයි සිටියා. දෙකක් නෑ, ලැබෙයි ප්‍රති විපාක.... අපිටත් ආත්ම මතකයන් තිබෙනව හො‍ඳේ.... මහා සද්දන්ත වන විනාසයක් කරමින් ඕං.... කෙසෙල් ගස් හිටවලා.

ඔයාලා කැලෑ ‍එළිපෙහෙළි කරනව! අපේ කැලෑවලට මිනිස්සු රිංග ගත්තම අපේ අය යන්නෙ කොහෙටද...? වෙන කැලෑවකට ගියත් එතනිනුත් එළවනව...! මිනිස්සු තමන්ට ගැළපෙන තැන්වල හිටිය නම් හරි‍නෙ. ආ. අමතක වුණා. සමහර අය මිනිස්සු නෙමෙයිනෙ. වැඩිය ඕන නෑ මතකනෙ සංචාරයකට ආව උකුසු නංගි කෙනෙක් හමගහපු හැටි. මෙහෙදි එයා මට මුණ ගැහුණා...! කෑගහද්දී පිහාටුවලින් ඇද්ද හැටි කියද්දි දුක හිතෙනවා...! අපි හැමෝම ස්වභාවධර්මයත් එක්ක ඉන්නෙ. ඒ බව අමතක කරන්න එපා. වනාන්තර විනාශ කරල ලක් දෙරණෙ අගය අඩු කරන්න එපා. එහෙම කළොත් තව වැඩි කලක් ගතවෙන්නට මත්තෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රී නාමය පැත්තකට කරන්න වෙයි කාන්තාරයක්... බවට පත් වුණොතින් එහෙම වෙන්නෙ නැද්ද?

දැන් ඔන්න ආයෙත් අලි මල්ලිල දෙන්නෙක් අල්ලන්න ලෑහැස්තිය. ඔය ලෑහැස්ති කොහෙට හරි කුදලල දාන්න. හඃ හම්බ වෙයි. එයාල අල්ලන්න බෑ. විපත කියන එක මිනිස්සුන්ට වඩා අපිට දැනෙනව...! පරිසරයට කැමැත්තක් දක්වන රත්තරං මිනිස්සු එයාලව කොහෙටවත් ගෙනියන්න දෙන්නැහැ. මමත් මෙහේ ඉඳලා බලන් ඉන්නේ. මට ආදරේ කරපු හැම කෙනෙක්ම ඒ දෙන්නව වෙන කොහෙටවත් ගෙනියන්න දෙන්නැහැ. හෙට ඉර හඳ පායනවටත් වඩා මට ඒ බව විශ්වාසයි. අපේ අයට ගස්වල තියෙන ගෙඩි කඩල දෙන්න කවුරුත් මහන්සි වෙන්න ඕන නෑ. ආයෙ හ්... අ... මොකද මීට ඉස්සර වන සතුන්ට කන්න දේවල් ගෙනත් දුන්න යැ මේව දකින අපිට එළොව ඉඳල හිනහා යනවා. හි... හි.... හි... හී... හී.... හරි.... මම මෙහෙම අහනව ඔය අලි දෙන්න වනයෙ නොසිටියොත් මුවෝ ගෝන්නු වගේ සතුන් දඩයම් කරන්න මස් වැද්දො නොඑයිද...? සමතලාම වෙලා යනව දෙකක් නෑ, මට ඉවෙන් වගේ දැනෙනව...! ඔය නිර්මාණකරණයෙ යෙදෙන අයත් උනන්දු විය යුතුමයි. ස්වභාව සෞන්දර්යයෙ චමත්කාරය නැතිව කොහොමද ඔයාල නිර්මාණ කරන්නෙ. ඔන්න මම අනතුරු ඇ‍ඟෙව්වා!

මම දැන් ගොඩක් දේවල් ලිවුවනෙ. වන රොදේ අසිරිය ගැන ටිකක් කියන්නද..? වෙනසකටත් එක්ක. ඇත්තටම ස්වභාවයෙ අපූරු චමත්කාරය කාටත් දැනේවි මේ වනාන්තරවල තිබෙන ලස්සන දන්නෙ සතුන් වන අපි විතරයි. දුර්ලභ ගස්වැල්, බෙහෙත් පැළෑටි. මොකද කැලේ සත්තු ඉස්පිරිතාලවලට ගිහින්යැ ලෙඩ හොඳ කරගන්න බෙහෙත් ගන්නෙ. බෙහෙත් පැළෑටි විකලනෙ ලෙඩ සනීප කර ගන්නෙ. හවස් වන විට වඳුරො, රිලව් රංචු පිටින් වැල් පොටවල්වල එල්ලිල ඔන්චිලි පදිනවා. හාවො, මුවෝ පඳුරු අස්සෙ හැංඟි, හැංඟි කොමළ කරනව. සෙල්ලම් කරනවා. පොඩි පොඩි වතුර කඩිතිවලට බැහැල කුරුල්ලො නානව. මොනරු පිල් විදහන විට බලන්න එපාය ලස්සන. සමහර දේශපාලකයො වගේ උඩින් විතරයි.

මේ.. අහන්නකො පොද වැස්සට තමයි මාර ලස්සන හරියට කුරුල්ලන්ගෙ රාජධානිය වගේ ඒ අය සිතූ සේ පියාඹනව, අර ගහෙන් මේ ගහට හිතෙන හිතෙන ගස්වලට. කොටි නාම්බො, මුවෝ වගේ අහිංසකයො ‍කටට දෙකට ගිලල දමනව...! ඒත් ඉතිං අපි මොනව කරන්නද...? සත්ව ලෝකයෙ හැටි ඔහොම තමා බේරගන්න අවස්ථාවනුත් නැතිව නෙමෙයි.

උදේ පාන්දරට පුදුම ලස්සනයි. කුරුල්ලො ගීත ගයනව වළි කුකුළො හඬලනව. කැලෑ මල් පිපිල ලස්සනේ බෑ. පොඩි පොඩි පීලි එහෙමත් තියෙනව. ඒවගෙන් නරි රාළල නානව. කම්මැලියො සීත වැඩියි කියල නොනා ඉන්නව. මිදි තිත්තයි වගේ තමයි නේද...? මේ පින විඳගන්නහැකි වුණේ මටත් ටික කාලයයි. වන සතුන් විඳගන්න සුන්දරත්වය නැති කරන්න හදන්න එපා ඒක මහා පාපයක් සමහර විට මෙලොවදීම ඔයාලට ඒවට දඬුවම් ලැබේවි.

මාව මැරුවට මම ඒ අයත් එක්ක තරහ නෑ. ඒ... මම ඒ අයට වඩා ගුණවත් නිසා.

මං ඔයාලගෙ ආදරණීය දළ පූට්ටුවා (කැලේරජා)

ස්තූතියි

ශ්‍රියානි සුභා වික්‍රමආරච්චි

නව අදහස දක්වන්න