ජල කෙළිය පරිස්සමින්... | දිනමිණ

ජල කෙළිය පරිස්සමින්...

අප ජීවත්වන ශ්‍රී ලංකාව සිව්දිගින් ම මුහුදින් වට වූ දිවයිනකි. රටේ සිව්දිගින් සාගරයට ගලා යන ගංගා, ඔය, ඇළ, දොළ ආදිය ගණනින් සියයකට අධික ය. දිග සහ ගලා යන ජල ප්‍රමාණය අනුව ගොඩබිම ඔස්සේ මුහුදට ඇදෙන ප්‍රධාන ගංගා ලෙස සැලකිය හැකි ගංගා ගණනින් තිස් හතරක් බව අප ඉගෙනගත්තේ පාසල් යන අවදියේ ය. මෙම ගංගාවලට එකතුවන ලොකු කුඩා ගංගා, ඔය, ඇළ, දොළ ආදිය ද විශාල ප්‍රමාණයකි. වියළි කලාපීය ප්‍රදේශවල පුරාණයේ පටන් කණින ලද විශාල, මධ්‍යම හා කුඩා පරිමාණයේ වැව් රාශියක් දකින්නට ලැබේ. නූතන ජලසම්පාදන යෝජනා ක්‍රම යටතේ ඉඳිවූ ජලාශ ද රාශියකි.

අපේ පූර්විකාවෙන් අනාවරණය වන්නේ අප ජීවත්වන ශ්‍රී ලංකාව රට වට කොට පිහිටි මහ සයුරට අමතරව රට අභ්‍යන්තරයේ පිහිටි විශාල ජල පෘෂ්ඨයකින් ද හෙබි රටක් බව ය. රටේ විවිධ ප්‍රදේශවලට යන එන විට මහවැව්වල ද ගංගා ආදියේ ද දිය කෙළින ළමා, තරුණ, වැඩිහිටි ආදී විවිධ වයස් සීමාවලට අයත් අය දක්නට ලැබෙත්. මුහුදු වෙරළ ආශ්‍රිත පෙදෙස් ඔස්සේ යන විට මුහුදේ දිය නාමින් විනෝද වන පිරිස් ද දක්නට ලැබේ. විශාල ජල පෘෂ්ඨයකින් යුත් රටක ජීවත් වුව ද අපේ අය විනෝද ගමනක් ගිය ද මුහුදක, වැවක, ගඟක දිය කෙළිමින් විනෝද වන්නට රිසි සිතැත්තවුන් බව පැහැදිලි ය.

ජල කෙළිය හැම විට ම සතුටින් සැහැල්ලුවෙන් කෙළවර වන්නේ නො වේ. අපේ ජනමාධ්‍යවල රිය අනතුරුවලින් මිය යන්නවුන් ගැන මෙන් ම දිය නෑමෙන් මරණයට පත්වන්නන්ගේ මරණ පිළිබඳව ද බෙහෙවින් වාර්තා පළ වේ. පසුගිය දවසක ‘රැස’ පුවත්පතින් අනාවරණය කර තිබුණු ආකාරයට ජලාශ්‍රිත අනතුරුවලින් මියයන්නවුන්ගේ සංඛ්‍යාව වසරකට එක්දහස් පන්සියයක් පමණ ය. පැය හතරකට එක් අයෙක් ජලාශ්‍රිත අනතුරුවලින් මරණයට පත් වන බව ද වැඩිදුරටත් එහි සඳහන්ව තිබිණි. මෑතක දී විනෝද චාරිකාවක් අතරතුර අම්පාර එක්ගල්ඔයේ පාරුවක ගමන් කරන්නට යාමෙන් දියේ ගිලී මියගිය බදුල්ලේ ස්ප්‍රිංවැලි සිරිසීවලී විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු සතරදෙනාගේ ඛේදජනක මරණ මෑතකාලීනව සිදුවූ එවන් සිද්ධියකට එක් උදාහරණයක් පමණි.

විශාල ජලතලයකින් හෙබි රටක ජීවත්වුව ද එවන් රටක ජීවත්වන්නන්ට තිබිය යුතු පිහිනීමේ හැකියාව අපේ බෙහෝ දෙනෙකුට නැත. පිහිනීමේ හැකියාව තිබුණ ද අනතුරකට මුහුණ පාන විට හැසිරෙන හා ක්‍රියා කරන ආකාරය පිළිබඳ පුහුණුවක් ද බොහෝ අයට නැත. විවේක බුද්ධියෙන් ස්නානයට සුදුසු තැන සොයා ගැනීමේ හැකියාවක් හෝ දිය නෑමට සුදුසු තැන පිළිබඳව ඒ අවට පදිංචිකරුවන් වෙතින් විමසා බැලීමේ පුරුද්දක් ද නැත. එකෙක් ‘නාමු’යි කී පමණින් කිසි කලෙක ගඟක්, වැවක් දැක නැති පිරිසක් මෙන් නොඉවසිල්ලෙන් දියට පැනීමේ පුරුද්දක් පමණි බෙහෝ දෙනෙකුට ඇත්තේ.

අප ජීවත්වන අද දවසෙන් ටිකක් ඈතට එබිකම් කර බැලුවොත් එදවස ගංගා වැව් වැනි ජලාශ ආශ්‍රිතව ජීවත් වූ හැම කෙනකුට ම පිහිනීමේ හැකියාව තිබිණි. කොල්ලෝ කුරුට්ටෝ පාසල් වෙලාව හමාර වූ පසු වැවට නැත්නම් ගඟට ගොස් හිතේ හැටියට දිය කෙළියහ. දිය බුං ගැසූහ. උනට අනතුරු සිදු වූයේ ද නැති. කුටුම්භයක සිටින දරුවන්ගේ සංඛ්‍යාව වැඩි බැවින් තිස්සේ ම උන් පසුපස යන පුරුද්දක් ද මාපියන්ට ද තිබුණේ නැති. කොලු සමාගමට සම්මාදම් වී නාන්නට නැත්නම් සෙල්ලමට ගිය එකා බොහෝ වෙලාවක් ගෙදර නාවොත් පමණක් එක්කෝ අම්මා ඌ සොයන්නට ගියා ය. නැතහොත් තාත්තා ගියේ ය. ගෙදර වැඩුණු පිරිමි දරුවෙක් සිටියහොත් සොයාගෙන ඒම ඔහුට පැවරෙයි. කෙල්ලන්ට කොලුවන්ට මෙන් රංචු ගැසී යන්නට ඉඩකඩ නොලැබුණත් උහු ද අම්මා සමඟ ගඟේ හෝ වැවේ නාන්නට ගොස් පිහිනීම හුරු වූහ. ගම්වල දරුවෝ මහවැසි වැටීමෙන් ඉක්බිති වෙල් ජලයෙන් පිරෙන විට කෙසෙල් කොට හරස් කොට අමුණු බැඳ හිතේ හැටියට දිය කෙළියහ. කොහොමටත් එදවස පිරිමි දරුවෝ සිය පරිසරය ආශ්‍රිත පිහිනීම, ගස් නැඟීම වැනි ක්‍රියාකාරකම්වලට හුරුපුරුදු වූවෝ වූහ.

අද එවන් ක්‍රියාකාරකම් කෙරෙහි දරුවන් යොදවන්නට මාපියෝ අකැමැතියහ. පවුලකට ඉන්නේ එක්කෝ එක් දරුවෙකි. නැත්නම් දෙදෙනෙකි. ඊට වඩා වැඩිවන්නේ කලාතුරකිනි. ඉතින් ඒ දරුවා හෝ දරුවන් සිය දෑස් මෙන් රකින මාපියෝ අවදානම් සහගත ක්‍රියාවලීන්ට යාමෙන් සිය දරුවන් වළක්වන්නට වෙහෙසෙත්. අනෙක් පැත්තෙන් අද දරුවන්ට උදේ සිට රෑ වන තුරු පන්ති පැවැත්වේ. උදේ පාසලටත් සවස ටියුෂන් කැලෑසියටත් යන දරුවාට ඉවරපවර නැත. රැයේ HOME WORK කළ යුතු ය. නැතහොත් දෙමාපිය පැතුම් බිඳ වැටෙයි.

මට මෑතක දී දැන හඳුනන කෙනෙක් මෙසේ කීවේ ය.

“ කාලෙකින් අද ගඟෙන් නෑව. පුදුම සනීපයක් දැනෙන්නෙ. මම නෑවට ළමයි යවන්ට බයයි. ඉස්සර වගේ නෙමේ. වැලි ගොඩදාන නිසා ගඟ වෙනස්. අපි පුරුදුකාරයො හින්ද නෑවට ළමයි යවන්නෙ කොහොම ද?”

ඔහුගේ කතාව ද සත්‍යයකි. නිරන්තර වැලි ගොඩදැමීම වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා ගඟේ භූ විෂමතාව වෙනස් වෙයි. ඊයේ දිය නාන්නට උචිතව තිබුණු තැන අද මහ වළක් බවට පත්ව තිබිය හැක. අද පරපුර පිහිනුම් කෞශල්‍යයෙන් විතැන් කරන්නට මෙවන් කාරණා ද බලපායි. පිහිනුම් තටාක අද බෙහෙවින් ජනප්‍රිය ය. එහෙත් ගඟක, වැවක නිරන්තරයෙන් වෙනස්වන පරිසරයක ලබන හුරුව ඒකාකාරී පිහිනුම් තටාකයෙන් ලැබිය හැකි ද? ගඟ, වැව, කණින ලද ඇළ (වැව්වලින් ජලය ගෙනනයන) වැනි ජලතල පවා එකිනෙකින් වෙනස් වෙයි. චාරිකාවේ යෙදී ඉමක් කොනක් නැතිව ස්නානයට යන්නන් ඒ බව ද දැනගත යුතු ය.

තවත් එකක්. අනතුරකට පත් වූ විට ඊට මුහුණදෙන ආකාරය ළමයින්ට පුහුණු කරන ලද ගුරුවරුන්ගේ මාර්ගයෙන් කියා දිය යුතු ය. අනතුරුවලින් සිදුවන මරණවලට නොදන්නා කම ද එක් හේතුවක් වෙයි.

මහානාම දුනුමාල
[email protected]

නව අදහස දක්වන්න