ඉතියෝපියාවට සුවඳ විලවුන් | දිනමිණ

ඉතියෝපියාවට සුවඳ විලවුන්

ශ්‍රී ලංකාවේ ඔගාබෝ ග්ලෝබල් සමාගම ඉතියෝපියාවේ ඇලේටා ලෑන්ඩ් සමාගම අතර ගිවිසුමෙන් පළමු වසරේදී අමෙරිකානු ඩොලර් මිලියනයක රූපලාවන්‍ය ආලේපන හා සුවඳ විලවුන් අපනයනයක් කිරීමට බලාපොරොත්තු වෙයි

(වමේ සිට) ඔගාබෝ ග්ලෝබල් ජාත්‍යන්තර (පුද්ගලික) සමාගමේ සභාපති දීපාල් නෙල්සන් සහ ඇලේටා ලෑන්ඩ් සමූහ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී හබ්ටමු සිලා මහත්වරුඅතර ගිවිසුම් අත්සන් කළ මොහොත. ව්‍යාපෘති සම්බන්ධිකාරක ටී.බණ්ඩාර, බෙලෝස් රූපලාවන්‍ය නිශ්පාදන ආයතනයේකළමනාකාර අධ්‍යක්ෂ චතුර පෙරේරා, ඉතියෝපියාවේ සහ අප්‍රිකා සංගමයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක සහ ඉසබෙලා සොක්ස් ව්‍යාපාරයේ සභාපති හේමන්ත කුමාර් මහත්වරු ද මෙහි වෙති.

ඉතියෝපියාවට රූපලාවන්‍ය ආලේපන හා සුවඳ විලවුන් අපනයනය කිරිම සඳහා මෙන්ම එරට රූපලාවන්‍ය ආලේපන හා සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඔගාබෝ ග්ලෝබල් ජාත්‍යන්තර (පුද්ගලික) සමාගම ඉතියෝපියාවේ ඇලේටා ලෑන්ඩ් සමූහ ව්‍යාපාරය සමග පසුගියදා ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් කළේය. ඉතියෝපියාව තුළ ඇති යටිතල පහසුකම් භාවිත කරමින් අප්‍රිකා සංගමයේ සෙසු රටවලත් සිය අපනයනය කටයුතු ව්‍යාප්ත කිරීමට ඔගාබෝ ග්ලෝබල් ජාත්‍යන්තර (පුද්ගලික) සමාගම අපේක්ෂා කරයි.

ඔගාබෝ ග්ලෝබල් ජාත්‍යන්තර (පුද්ගලික) සමාගමේ සභාපති දීපාල් නෙල්සන් සහ බෙලෝස් රූපලාවන්‍ය නිශ්පාදන ආයතනයේකළමනාකාර අධ්‍යක්ෂ චතුර පෙරේරා මහත්වරු සහ ඇලේටා ලෑන්ඩ් සමූහ ව්‍යාපාරය වෙනුවෙන් හබ්ටමු සිලා මහතා මේ ගිවිසුමට අත්සන් කළහ. ඉතියෝපියා සහ අප්‍රිකා සංගමය සඳහා වන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී මේ ගිවිසුමට අත්සන් කිරීම සිදුකරනු ලැබුවේ ඉතියෝපියාවේ සහ අප්‍රිකා සංගමයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතාගේ සහ ශ්‍රී ලංකාවේ සහ ඉතියෝපියාවේ පිහිටි ඉසබෙලා සොක්ස් ව්‍යාපාරයේ සභාපති හේමන්ත කුමාර් මහතාගේ සහභාගිත්වය හමුවේය.

ඉතියෝපියාවේ වෙළෙඳපොලට ඇතුළුවීමට ඔගාබෝ ග්ලෝබල් ජාත්‍යන්තර (පුද්ගලික) සමාගමට අවස්ථාව උදාවූයේ දෙරට අතර පවත්නා දේශපාලනික, වෙළෙඳ හා ආර්ථික සබඳතා පුළුල් කිරිම මෙන්ම ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා නුවර පිහිටි අප්‍රිකා සංගම් මූලස්ථානය සමග සමීප සබඳතා ඇතිකරගැනීම උදෙසා වත්මන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එවකට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ ඉතියෝපියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම හේතුවෙනි. ඒ සම්බන්ධව අමාත්‍ය මංගල සමරවීර මහතාට සිය ස්තුතිය පුද කිරීමට ඒකාබද්ධ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවේදී ඔගාබෝ ග්ලෝබල් ජාත්‍යන්තර (පුද්ගලික) සමාගම අමතක නොකළේය.

නව අදහස දක්වන්න